මිනිස්සු දහසකුත් එකක් බලාපොරොත්තු මැද ජීවත් වෙති. එයින් වැඩි කොටස ඔවුන්ගේ දෑස් ඉදිරිපිටම බිද වැටී යනුයේ වැල්ලේ තැනූ මාළිගා රළ පහරට හසුවී සුණු විසුණු වී යන්නාක් මෙනි.
සම්බුදධ පරිනිර්වාණයෙන් දෙදහස් පන්සිය වසක් ඉක්මවූ තැන අමුතුම තාලයේ ආධ්‍යාත්මික නායකයකු ලක්දිව පහළවී බුදුදහම ලෝක ව්‍යාප්ත කරනු ඇත යන බලාපොරොත්තුව කලෙක පටන් අප අතර පැවතුණි. අප වැඩිදෙනෙකු අසා ඇති පරිදි ඒ ආධ්‍යාත්මික නායකයා දියසේන නම් වෙයි. ලෝක නායක නැතහොත් ලෝකය ජය ගන්නා යන අර්ථයෙන් දියසේන නම් වෙයි.
දියසේන යනු දේශපාලන නායකයකුද නැතිනම් දේශපාලනයෙන් තොරවූ ආධ්‍යාත්මික නායකයකුද යන ප්රශ්නය මෙතෙක් කිසිවකු හෝ විසදා දීමට උත්සාහ කර නැත.
අද වන විට මුළු ලොවම ආගමික දේශපාලන රැල්ලකින් වෙළී යමින් පවතින බව දකින්නට හැකිය. දැනට ආගමික දේශපාලන රැල්ල වඩාත්ම ඉස්මතුව ඇත්තේ මැදපෙරදිග කලාපයෙහිය. බාගෙවිට දියසේන යනු ''ආධ්‍යාත්මික දේශපාලන නායකයකු'' විය හැකිය.
එනමුත් නූතන ''ආගමික දේශපාලන රැල්ල'' තුළින් කිසිදු බෞද්ධ නායකයකු මෙතෙක් ඉස්මතු වූයේ නැත. ලෝකප්‍රකට පුවත් මවන්නෙකු වන දලයි ලාමා බෞද්ධයන්ගේ ආගමික දේශපාලන නායකයෙකු ලෙස ඉස්මතු වනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූහ.
එනමුත් අදවන විට දලයි ලාමාගේ ජනප්‍රියතාවය ශීඝ්‍රයෙන් පසුබසිමින් ඇත. ඔහු විසින් වරින් වර කරනු ලබන එකිනෙකට පටහැනි ප්‍රකාශයන් හේතුවෙන් ඔහු වටා සිටින පිරිස් අද වන විට බලාපොරොත්තු සුන් කරගෙන සිටිති. එවන් වාතාවරණයක් තුල ''බෞද්ධ ආධ්‍යාත්මික නායකත්වය'' සම්බන්ධ රික්තයක් ජාත්‍යන්තර තලය තුළ හටගෙන ඇතැයි කීම නිවැරදිය. ඒ රික්තය පුරවන්නට සරිලන ජවයක් හා සිහිබුද්ධියක් ඇති කෙනෙකු ඉදිරිපත් නොවීම වත්මන් කල්හි හටගෙන ඇති දැවැන්ත අර්බුදයකි.
අපි දැන් සිංහල බෞද්ධයන්ගේ කල්පිත ගැලවුම්කරුවා ගැන යළි අවධානය යෙමුකරමු.
දෙදහස් පන්සීයේ බුද්ධ ජයන්තිය ගෙවී ගොස් දශක හයක් අවසන් වන්නට ආසන්න වූවද ඔය කියන දියසේන අප අතරින් මතුවූයේ නැත. ඉදහිට කෙනෙකු දියසේන චරිතයට අදින්නට උත්සාහ කළද ඔහුට දෙශපාලන රංගභූමිය තුල වැඩිකලක් සිය ජවනිකාව රගදක්වන්නට හැකි නොවීය.
හැබෑට කෝ මේ දියසේන? බොහෝ දෙනෙක් මේ ප්රශ්නය මගෙන් අසති. එයින් බහුතරයක්ම දියසේන පුරාවෘත්තය පිළිබදව සති අන්තයක දිවයින පුවත්පතෙහි පලවූ ලිපිය කියවූ අයයි.
ඔය කියන දියසේන ගැන මට දැන් පුංචි පුංචි හෝඩුවාවන් ගණනාවක්ම ලැබෙමින් පවතියි. පසුගිය දිනක සන්ධ්‍යා භාගයේ එක්තරා මහත්මයෙක් දුරකථනයෙන් මා අමතමින් දියසේන පුරාවෘත්තය ගැන බොහෝ දේ තමන් දන්නා බව කීය.
''ඔබට දියසේන කුමාරයා ගැන කීවෙ කවුද?'' මම ඔහුගෙන් ඇසීමි.
''මට කීවෙ වෙන කවුරුවත් නොවෙයි. ශාසනාරක්ෂක දෙවිදේවතාවො සමූහයක්''
''දේවතාවො ඔබට කීවෙ මොකක්ද?''
''එයාල කීවෙ දියසේන කියන්නෙ වෙන කවුරුවත් නොවේ මමයි කියල.''
අමුත්තා දියසේන තනතුරෙහි පත්වීම් ලිපිය අතැතිව සිටින්නෙකු බව ඔහුගේ කතා බහෙන් මට වැටහුණි. හේ තම බල පරාක්‍රමය ගැන හිතා ගන්නටවත් බැරි තරමේ විශ්වාසයකින් සිටියේය.
''මහත්මයගේ දැන් වයස කීයද?''
තමන් දැනට පනස් අට වන වියේ පසුවන බව ''දියසෙන් කුමරු'' කීය.
''මගෙ අම්මෝ අවුරුදු පනස් අටක් වෙනකන් ඔබතුමා හැංගිලා හිටියෙ අහවල් කාරණාවකටද? අද වෙනකොටත් බුද්ධාගම කෑලි කෑලිවලට කැඩිල ඉවරයි. එක පැත්තකින් අසපුවයි පන්සලයි අතර මතගැටුම්. අනිත් පැත්තෙන් තව තවත් වාද විවාද. ඔබතුමාට නිකමටවත් හිතුනෙ නැද්ද මැද්දට පැනලා මේ වාද විවාද සංසිදවන්න ඕන කියලා. නිකමටවත් හිතුනෙ නැද්ද තව අවුරුදු කිහිපයකින් ආපහු ගොඩගන්න බැරි විධියට බුද්ධාගම පරිහානියට පත්වෙලා යයි කියලා.''
''දියසේන කුමරු'' මදකට නිශ්ශබ්ද විය. හේ උගුර පාදා යළි සිය දේශනය ඇරඹීය.
''දෙවිදේවතාවො මට කියල තියෙන්නෙ, හරියටම නියමිත මොහොත එනතුරු සැගවිලා ඉන්න කියලා. මම එතකන් ජනතාව අතර හැංගිලා ඉන්නවා. හරියට නියම මොහොතෙදි මම ඉදිරියට ඇවිත් මගේ අනන්‍යතාවය රටට හෙලි කරනවා. එතකොට මගේ පූර්වකෘත කුශල බලයෙන් සියලු සතුරු බලවේග යටපත්වෙලා මුළු රටම දැපනෙ වැටෙනවා.''
''දියසෙන් කුමරු'' අධිතාත්වික ක්‍රමවේදයක් තුළින් සියල්ල එක රැයකින් උඩුයටිකුරු කරන්නට සූදානමින් සිටින බව පෙනෙන්නට තිබුණි. හෙA පැයක් හමාරක් එක දිගට මා හා දුරකථන සංවාදයේ යෙදුනේය. හේ පසුදිනෙක යළි දුරකථනයෙන් මා ඇමතීය.
''මහත්තයො මම අද කථා කළේ ලොකු උදව්වක් බලාගෙන.''
''මොකද්ද අප්පේ ඔය කියන ලොකු උදව්ව.''
''මම ඔය කියන දියසේන කුමාරයාම තමයි. ඒකෙ ආයෙ දෙකක් නෑ. මහත්තයො කොහොම හරි මාව සමාජය තුල ජනප්‍රිය කරවල දෙන්න. මහත්තයටම තමයි ඔය දේ හරියට කරන්න පුළුවන්. මොකද අද වෙනකොට උගත් බෞද්ධ පිරිස් මහත්තයා කියන දේ පිළිගන්න ගතියක් තියෙනවා. එහෙම ප්‍රසිද්ධියක් අරන් දුන්නොත් මගේ ශාසනික සේවාව ඉක්මනින්ම අරඹන්න පුළුවන්.''
''දියසෙන් කුමරු'' මා ඉදිරිපිට කන්නලව් කරන්නට විය. ඔහු සැබෑම දියසේන කුමරු විය හැකිද? මම ප්‍රවේශමෙන් කරුණු කාරණා ගලපමින් සලකා බලන්නට වීමි. ඔහු සැබෑ දියසෙන් කුමරු නම් ඔහුගේ සියලු වැඩ රාජකාරි භාරව සිටින දෙවිදේවතාවුන් විසින් මාධ්‍ය ප්රචාරක කටයුතු මට වඩා හොදින් ඉටු කරනු ඇත.
ඔය කියන දියසෙන් කුමරුගේ අනන්‍යතාවය ගැන මට සියුම් සැකයක් ඇතිවෙයි. අපි දැන් මොහොතකට ඉන්ද්‍රියගෝචර වූ යථාර්ථය සමග සමීප වෙමු.
සැබෑ ආධ්‍යාත්මික නායකයෙකු පහලවී මරණ මංචකයේ සිටින බෞද්ධ ජනසමාජය ගොඩට ගනු ඇත යන්න සකල ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවගේ ප්‍රධානතම බලාපොරොත්තුවයි. සිංහල බෞද්ධයෝ ඔය කියන බලාපොරොත්තුව පෙරදැරිව කිහිප විටක්ම සිය වටිනා ඡන්දය මෙහෙය වූහ. සිංහල බෞද්ධ ඡන්දදායකයන්ගේ පිහිටෙන් කිහිප දෙනෙක් නොව රොත්තක්ම දේශපාලන ක්ෂේත්රයට අවතීර්ණ වූහ. ඒ සියලු දෙනාම පාහේ දේශෙද්‍රෝහී බලවේග ඉදිරියේ දුර්මුඛවූයේ රැවටිලිකරුවන්ගේ නම් ලැයිස්තුව තව තවත් දීර්ඝ කරමිනි. එබැවින් දියසේන චරිතයට යමෙකු බෞතීස්ම කරන්නට පෙර අප වරක් දෙවරක් නොව සියවරක් සිතා බැලිය යුතුමය.
මෙලෙස දෙගිඩියාවෙන් කල් ගෙවන අතර පසුගිය දිනක රාත්‍රී හතාමාරට පමණ තවත් අපූරු දුර ඇමතුමක් ලැබුණි. එවර මා ඇමතුවේ කාන්තාවකි. ඈ තරුණ විය පසුකර මැදිවියේ එළිපත්තෙහි සිටින්නියක බව ගැඹුරු හා ස්ථාවර කටහඩින් අනුමාන කළ හැකිවිය.
''මම කතා කරන්නෙ වැලිවේරියෙන්.''
''ඔබගේ අවශ්‍යතාවය?''
''මම තමයි දියසේන කුමාරයාගෙ රැකවරණය සලසන්නෙ.''
''ඒ කියන්නෙ දියසේන දැන් ඉන්නෙ ඔබ ලගද?''
''ඔව් මගේ ළග තමයි එතුමා වැඩ සිටින්නෙ. නිකම්ම නිකං දියසේන කියල පව්පුරෝගන්නෙපා. දියසේන බෝධිසත්වයන් වහන්සේ යන නමින් එතුමා හදුන්වන්න.''
අලි මදිවට කොටි කීවාක් සේ තවත් දියසේනයෙකු ලොව පහලවී ඇත. ඒ මදිවාට දියසේනයන්ට ආමන්ත්‍රණය කරන අයුරු ඈ මට උගන්වන්නට යයි. ඇත්තම කීවොත් මට තරමක කේන්තියක්ද ඇතිවිය. කාන්තාව කියන පරිදි දියසේන කුමරු දැනට ඇගේ රැකවරණය යටතේ රහසිගතව සැගවී සිටියි. ඈ පැයකට අධික කාලයක් තිස්සේ දියසෙන් පුරාවෘත්තයේ හිස්තැන් පුරවන්නට වූවාය.
''දියසේන කියන්නේ බෝධිසත්වවරයෙක්. උන්වහන්සේ පළමුවෙන්ම විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේදී විවරණ ලබාගෙන තිබෙනවා, ගෞතම බුදුන් වහන්සේගේ ශාසනය යළි නගා සිටුවන්න. එයාකාරයෙන් උන්වහන්සේ සත්බුදුන්වහන්සේලාගෙන් විවරණ ලබාගෙන අන්තිමේ තුසිත දිව්‍යලෝකයේ ඉපදිලා තියෙනවා. ඉන් පස්සෙ හරියටම කල් බලලා බුද්ධ ශාසනය අන්තයටම පිරිහෙන්න ආසන්න කාලයේදී උන්නාන්සෙ තුසිත දෙව්ලොවෙන් චුතවෙලා ලංකාවෙ ඉපදුනා. දැන් උන්නාන්සෙ ඉන්නෙ මගේ රැකවරණය යටතෙ.''
ඒ කාන්තාව නොඉවසිලිමත්ව දියසේන කුමරු ගැන තවත් බොහෝ විස්තර කියාගෙන කියාගෙන ගියාය. ඇගේ ස්වරයේ දැඩිබවක් විය. ස්ථාවර බවක් විය. තේජාන්විත බවක් විය. අප දෙදෙනා අතර සාකච්ඡාව පැයකට අධික කාලයක් තිස්සේ අතිශය කුතුහලය දනවමින් ඉදිරියට ඇදී ගියේය. ඈ කියූ තවත් පුදුම කතාවක් මෙහි සටහන් කරනු වටී.
''දියසේන කුමාරයා අද මා කැදවල කීවා අද විශේෂ දෙයක් දැන ගන්න පුළුවන්. ඒ නිසා ඉරිදා පත්තරේ අරගෙන එන්න කියල.''
''ඉති ඉතිං''
''මම කඩේට ගිහින් කොයි පත්තරේ ගන්නද කියල විපරං කර කර හිටියා. එහෙම පත්තර පෙරල පෙරලා ඉන්නකොට මුදලාලි මට කියපි ඔන්න නෝනා ගන්නවනං අද දිවයිනම ගන්න.
ලබන සතියට
නිලන්ත හෙට්ටිගේ
දිවයින ඇසුරිණි
Post a Comment