අපේ ගං රටවල්වල බොහෝ දෙනෙක් නඟන මැසිවිල්ල තමයි ඒ. අවුරුද්ද පුරාවට වෙහෙසිලා ආපහු හැරිලා බැලුවම කරපු දේකුත් නෑ. නොකරපු දේකුත් නෑ. හැබැයි හදිස්සියක් උනාම කාට හරි ණය වෙලා තමයි ඒක පිරිමහ ගන්න වෙන්නේ. මේ වගේ දෛවයක් තමයි බොහෝ දෙනෙකුට තියෙන්නෙ. කේන්දරයක් බලන්න එන බොහෝ අය අහන දෙයක් තමයි මහත්තයා... ස්විප් ටිකට් එකක් වත් ඇදෙන වාසනාවක් නැද්ද කියල අහන එක.
ඇත්තටම මේ විදියට පීඩනයක් හැමෝටම තියනවා. සමහර අයට තණ්හාව වැඩිකමටත් එහෙම දැනෙනවා. එහෙම අයත් වැඩිපුර ඉන්නවා. ඒ අයට නම් නිවනක් ඇත්තෙම නෑ. ගංවතුරට තම ගෙවල් යට වුණාම ඔවුන්ට ආධාර දෙන වෙලාවල්වල ඒ පිරිස අතරට අලාභ නොවුන පුද්ගලයොත් රිංගල අර ආධාර අරගන්නවා. ඒක තිරිසන් ක්‍රියාවක් වුණාට තන්හාව විසින් මිනිසා තිරිසනෙක් බව පත්කරන හැටි තමයි ඒ.
මේ වගේ කොච්චර තිබුණත් ලැබුණත් මදි කියල හිතන අයට මෙලොවදීම භයානක ප්‍රතිඵල වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් හෘද රෝග, ලේ පිළිකා, අංශභාග වැනි රෝග පීඩා ඇතිවෙලා මුළු ජීවිතයම අකර්මණ්‍ය වෙනවා. දෙවියන්ගේ පිහිට කෙසේවත් නොලැබෙන අතර මනුෂ්‍යයන්ගේ කරුණාවටද ලක් නොවෙනවා. මරණින් පසු ඥතීන් දෙන කිසිදු පිනක් වත් අනුමෝදන් කරගන්න බැරි දුර්දාන්ත ප්‍රේත ලෝකවල උපදිනවා.
''තණ්හාය ජායතී ශෝකෝ'' කියල බුදුරජාණන් වහන්සේ වදාළේ මේ තණ්හාව භයානක බව පවසමිනි. සිතෙන් කෙරෙන අකුසල් තුනෙන් එකක් තණ්හාව හැටියට පැහැදිළි කළා. එහෙම අයගෙ හිත් හිල්වෙච්ච කළගෙඩියක් වගෙයි. කොච්චර පිරෙව්වත් පිරෙන්නෙ නෑ. ඒ නිසා ඒ අයට දියුණුවක් නෑ කියනවනම් ඒක මහා බොරුවක්. ඔවුන් තුළ දියුණුවක් තියනවා කියල ඔවුන්ට හිතන්න බැරිකමයි තියෙන්නේ. මම දියුණුයි කියල හිතල සතුටක් විඳින්න බැරි හිතක් තමයි තියෙන්නේ. ලැබෙන්නේ දාහක් නම් කෝටියක් නැත්නම් වැඩක් නෑ කියන හිතක් තමයි තියෙන්නේ.
හැබැයි ඇත්තටම දියුණුවක් නැති අයත් ඉන්නවා. මාතෘකාවෙන් පැවසූ පරිදිම දියුණුව අඩු අයටයි මේ ලිපිය සකස් වෙන්නේ. විශේෂයෙන් එහෙම අයට තියෙන්නේ පෙර ආත්මවල දන්දීම දුර්වල වූ හේතුවයි. බුදු දහම අනුව දන්දීම තමන් කැමති දේවල් ලැබෙන පුණ්‍ය ඵලය සකස්වෙන ක්‍රමයයි. බොහෝ මිනිසුන්ගේ මෙම භවයේ ජීවිත දිහා බලන විටත් දන්දීම බොහෝ දුර්වල බව පේනවා.
දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි ශාක්‍ය වංශික තරුණයෙක් මෙසේ විමසුවේය. භවත් ගෞතමයන් වහන්ස, අපි ගිහි ගෙදර සිට වෙළඳාම් වැනි ව්‍යාපාර කරන අයයි. යම් කෙනෙක් මේ විදියට ව්‍යාපාර ආරම්භ කළ තැන් පටන් මහත් දියුණුවකට යනවා. සමහර අය ව්‍යාපාර පටන්ගෙන යාන්තමින් වගේ ඉදිරියට පවත්වාගෙන යනවා. සමහර අය ව්‍යාපාර පටන්ගෙන ටික දවසකින් වසා දමන්න සිද්ධ වෙනවා. ස්වාමීණි ඒ කරුණු තුනට බලපාන යම්කිසි කාරණාවක් පවතින්නේද? එය පහදා දෙන සේක්වා.
මේ ප්‍රශ්න තුනට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ මෙසේය. මානවකය, අර මුලින් කී ආකාරයට පටන්ගත් තැන් සිටම මහත් දියුණුවට යන්නේ ඔවුන් පෙර ජාතිවල උතුරා යන පරිද්දෙන්ම නිතර දන් දුන් නිසයි. දෙවනුවට කී අය දන් දුන් නමුත් අඩුපාඩු ඇති වන ලෙස කළින් කල දන්දුන් අයයි. ඉදින් මානවකය තුන්වෙනුව කී අය දන් නොදුන් අයයි.''
මේ කාරණාවෙන් අපට තේරෙන්නේ දන්දීම නිසා අපට කැමති දේ ලැබීමේ භාග්‍ය හිමිවන බව නේද? මේ ගතකරන භවය තුළ කොතෙක් වෙහෙසුනත් දියුණුවක් නැත්තේ ඒ නිසාය. එසේනම් ඒ දියුණුව අඩුවීම නම් ඵලයට හේතුව වූයේ පෙර ජාතිවල දන්දීමෙන් උපදවා ගත් පිං බලය දුර්වල වීමය. මනුෂ්‍යයාට එවිට සිදුවන්නේ තම කායික මානසික ශක්තියෙන් කැමති දේ ලබන්නට වෙහෙසීමය. ඒ නිසා වෙහෙසෙන තරමට ප්‍රතිඵල නොලැබෙන්නේ පිං මදි නිසාය. සමස්ත වශයෙන් කුමන වූ හේතු මත පදනම්ව කුමන වූ ආකාරයෙන් අපි අදින හෙළන හුස්ම නවතින්නේද ඒ මේ භවයට අපි ගෙනා පිං බලය අන්තිමට අවසන් වීමය. හරියට ගෑස් ටැංකියේ ගෑස් ඉවර වී ක්ෂණයකින් ලිප නිවී යන්නාක් මෙනි.
මනුෂ්‍යයා එසේ කැමතිදේ නොලබමින් දියණුව පිරිහී යන විට ඉතා ඉක්මණින් දියුණුවීමට දිනපතා ලොතරැයි පත් මිලදී ගැනීමටත් රේස් සූදු ආදියටත් වේගයෙන් ඇදී යමින් තව තවත් පිරිහීම්වලට ලක්වෙයි. ඒ අතර යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කාරයෝද පත්තර පිටුගනන් දැන්වීම් පළකර ඉක්මණින් දියුණුවීමට යන්ත්‍ර හඳුන්වා දෙමින් දහස් ගණන් ගසාකති. මේ නිසා බොහෝ අය තවත් පරිහානියට පත්වෙති.
මැණික් පැළඳුවාම දියුණුව ඇතිවීම, ජය සංඛ ළඟ තබා ගත්තාම දියුණුව ලැබීම යයි තවත් ක්‍රම තිබේ. ඒවායේ යම් සත්‍යතාවක් ඇතත් මූලික වන්නේ තමන්ට දියුණුව ලැබීමට නම් තමන් පෙර ජාතියෙහි දන් දී පිං කරගෙන තිබීම අනිවාර්යය වී තිබීමය. නැතිනම් ඒවායින් ද පලක් නොවන්නේය.
හරියටම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන ධර්මයා අවබෝධය ටික ටික ලබාගනිමින් පංච ශීලය මැනවින් ආරක්ෂා කරමින් තමන්ගේ ලෞකික දියුණුව මාස හත අටක් තුළ ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කර ගැනීමට නිවැරදි මඟක් ඔබට හඳුන්වා දෙන්නට මේ ලිපියෙන් බලාපොරොත්තු වෙමි. ඔබේ නිවසේ බුදු කුටියක් තනා බුදුරජාණන් වහන්සේට මල්පහන් ගිලන්පස බෙහෙත් ආහාර දිනපතා පූජාකරමින් ඔබ උපස්ථායකයෙක් ලෙස ශ්‍රද්ධා සම්පන්නව කටයුතු කරන්න.
සෑම දිනකම බුද්ධ වන්දනා කර පන්සිල් සමාදන් වී පහත දක්වන විස්තරය උදේ සවස බුදුකුටිය අසල සඡ්ජාධායනා කරන්න.
''වන්දනීයාති වන්දනීය වූ පූජනීයාති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි සත්යසහස්රයෙහි රැස්කළ අපරිමිත පාරමිතා කුශල බලයෙන් පස්මරුන් පරදවා සම්‍යක් සම්බෝධි සමධිගමයෙන් ලෝකයේ අග්‍ර දක්ඛිනෙයිය (සියලු ලැබීම්වලට) භාවයට පැමිණ වදාළසේක. ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට දොaත නගා වඳින්නෙකුට ද අපමණ දෙව් මිනිස් සැප ලබාදෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වන සේක. එබැවින් උන්වහන්සේට දෝත නගා පුදනු පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන්සේ ජනයෝ ගලා ආහ.
එසේ උන්වහෙන්සේ වෙත ක්ෂත්රීයයෝද, බ්‍රාහ්මණයෝද පැමිණියහ. දිව්‍ය බ්‍රාහ්මයෝ පැමිණියහ. නාග යක්ෂයෝ පැමිණියහ. අනුන්ගෙන් නොයෙක් පුද පඬුරු ලබන නර රාජ, දේව රාජ. බ්‍රාහ්ම රජ වරු උන්වහන්සේ පුදන්නට පැමිණියහ. පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්මී ගියද, අදත් උන්වහන්සේට මල් පහන් ආහාර පාන වස්තු සම්පත් පුද පඬුරු පිදෙන්නේය.
මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ආදී ලෝක වාසී සැමදෙනා විසින්ම වැඳීමට පිදීමට සුදුසු වූ ඒ බුද්ධ මහෝත්තමයාණන් වහන්සේව මම සරණ යමි. මම උන්වහනසේගේ ශ්රාවකයා වෙමි. ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ පාද පද්මයන් මම අත්‍යාදර ගෞරවයෙන් නමස්කාර කරමි. ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.''
මේ වැකි උදේ සවස බුදු කුටිය අභියස සංගායනා කරන්න. නොබිඳෙන පංච ශීලයක සිටින්න. පැන් ගිලන්පස ආහාර දිනපතා නොවරද්දවා පූජා කරන්න. එසේම තවත් දෙයක් අවබෝධ කළ යුතුය. ඔබ කාර්ය බහුල කෙනෙක් නම් උදේට පැන් ආහාරද සවසට පැන් හෝ ගිලන්පසද පමණක් පූජා කළ ද වරදක් නැත.
වැඩේනම් හොඳයි. ඒත් කරගන්න අමාරුයි කියා ඔබේ සිත ඔබට කියන්නේනම් ඒ ඔබේ දියුණුවට එරෙහි ඔබම පෙර ජාතියේ අකුසල්ද උපදවා ඇති බව අවබෝධ කරගන්න. දියුණුව ලැබීමට දන් නොදුන්නා පමණක් නොව තමන්ගේ දියුණුව ශුන්‍ය කරගන්නා තැනට ඊර්ෂ්‍යාදී අකුසල් තදේටම පෙර ජාතියේ උපදවා ඇති බව ඒ අයුරින් ඔබේ සිත ඔබට පවසයි.
හැකි අය මෙසේ කටයුතු කරමින් මාස හත අටක් ගෙවී යද්දීම සාර්ථක අත්දැකීම් ලබන්න. වසර ගණන් ඒ ප්‍රතිපදාව තුළ නියෑලෙන විට ඔබට විශාල දියුණුවක් ඒකාන්තයෙන්ම භුක්ති විඳීමට ලැබෙනු ඇත. මෙය උපුටාගත්තේ පූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි ලියූ "පුෙණ්යාපදේශය නම් පොතිනි. උන්වහන්සේ මාර්ග ඵල ලැබූ උතුමෙකි.
වැඩි දුර විස්තර සදහා 077-4547797
ජ්‍යෙතිෂවේදී - අගලවත්තේ බී. හේරත්
දිවයින ඇසුරිණි
Post a Comment