අඹු සැමියන් දික්කසාද වෙන ප්‍රධාන හේතුව මෙන්න - ශ්‍රියානී ද සේරම්

අද මුලු ලෝකයේම දික්කසාද ප්‍රතිශතය 50% කින් ඉහල ගොස් තිබේ. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ගැහැණිය පිරිමියාවත් පිරිමියා ගැහැණිය වත් හරි හැටි හදුනා නොගැනීමයි. පිරිමියා සහ ගැහැණිය විවිධ සිතුම් පැතුම්, විවිධ ගති පැවතුම්, ඇති ශාරිරික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද වෙනස්වු පුද්ගලයන් දෙදෙනෙකි. එකම සමානත්වය වන්නේ ඔවුන් දෙදෙනාම මනුෂ්‍ය වර්ගයට අයත් වීම පමණකි. ඔබට මතක ඇති මීට ටික කලකට ඉහත මංගල උත්සව වලදි වැඩිහිටියන් කරන ඉතා ජනප්‍රිය කථාවක් තමයි ඔබ දෙදෙනා දැන් දෙදෙනෙක් නොව එක් කෙනෙක් බව සිතාගන ක්‍රියා කල යුතුයි යන්නයි. නමුත් එය සිදු කල නොහැකි බව එකල වැටහීමක් නොතිබෙන්නට ඇති. 

අනාදිමත් කාලයක සිට පිරිමියා සහ ගැහැණිය පරිණාමය වී තිබෙන්නේ වෙනස් කෘත්‍යයන් සදහායි. පිරිමියා දඩයක්කරුවෙකි. ඔහුගේ කාර්ය ආහාර සැපයීමයි. ගැහැණිය ගේ කාර්ය ඔහු සපයන ආහාරයෙන් දරුවන් පෝෂණය කර ආරක්ෂා කර ගැනීමයි. ඒ සදහා ස්වභාව ධර්මයෙන්ම ඇයට අනතුරු කල් කියා හදුනාගැනීම සදහා ඉව නම් සුපිරි සංවේදී බවක් ලබා දී තිබෙනවා. සමහරු මෙය හැට හතර මායම් ලෙසත් හදුන්වනවා. පිරිමියෙකුට දික් අවකාශයකුත් ගැහැණියට පුලුල් පරාසයකට අවකාශයකුත් ලැබී තිබෙන්නේ මේ කාර්යන් සාර්ථකව ක්‍රියාත්මක කිරීමටයි. පිරිමින්ට රාත්‍රි කාලයේ වඩාත් හොදින් වාහන පැදවීමේ හැකියාවක් ඇතිවී ඇත්තේ මෙම අවකාශ වල වෙනස හේතුවෙන්

පිරිමින් සහ ගැහැණුන් යන දෙවර්ගයේම සිරුරු වල ඊස්ට්‍රජන් සහ ටෙස්ටොස්ටොරොන් හෝමොන තිබුනත්, ගැහැණුන්ගේ සිරුරේ ඊස්ට්‍රජන් යන හෝමෝනය වැඩියෙන් ක්‍රියාත්මක වන අතර පිරිමින්ගේ සිරුරේ ක්‍රියාත්මක වන්නේ ටෙස්ටොස්ටොරොන් යන හෝමෝනයයි. මේවා එකිනෙකට හාත්පසින්ම වෙනස් ලෙස ක්‍රියා කරයි. පිරිමින්ට ශක්තිමත් බවත් ගැහැණුන්ට සියුමැලි බවත් උරුම කර දී ඇත්තේ මෙම හෝමෝන වල ක්‍රියාකාරිත්වයයි.

ගැහැණුන් පිරිමින්ව විවේචනය කරන්නේ තමන් ගැන වැඩි අවධානයක් නොදැක්විම, සවන් නොදීම, ආදරය නොපෙන්වීම, සම්බන්ධතා වෙනුවෙන් කැප නොවීම උපන් දින විවාහ සංවත්සර අමතක කිරීම, ආදරය කිරීමට වඩා ලිංගිකව එක්වීමට ප්‍රිය කිරීම යන මෙකී නොකී කරුණු නිසායි. පිරිමින් ගැහැණුන්ව විවේචනය කරන්නේ වැඩිපුර කථාකිරීම, ඕපාදූවලට ඇති කැමැත්ත වේලාවට වැඩ නොකිරීම, සුලුදෙයක් මහ ලොකු දෙයක් ලෙස හුවා දැක්වීම, ලිංගික එක්වීමට එතරම් උනන්දුවක් නොදැක්වීම වැනි කරුණුයි.

ඔබ දන්නවා ඔබ ගමනක් යන විට කෙනෙකුගෙන් පාර අහනවට ඔබේ සැමියා අකමැති බව එය ඔහුට හැගෙන්නේ ඔහුගේ දුර්වල කමක් ලෙසයි. ගැහැණියට මෙය තේරුම් ගත නොහැක. අතරමග රස්තියාදු වනවාට වඩා දන්න කෙනෙක් ගෙන් පාර ඇසීමේ වරදක් ඇයට නොතේරේ. මෙය සමහර විටක ආරවුලක මුලාරම්භය වන්නට පුලුවන. ගැහැණිය තම වැදගත්ම දිනය වන උපන් දිනයදා පාන්දරින්ම සැමියා තමන්ට වටිනා ත්‍යාගයක් දී සුභ පතනු ඇතැයි ඇය අපේක්ෂා කරයි. නමුත් සැමියාට එය අමතක වී ඇත. එය ඇයට මහත් වේදනාවකි. ඇයට සිතෙන්නේ සැමියා තමන්ට ආදරන නොකරන බවයි. ආදරය කරන්නේ නම් මෙතරම් වැදගත් දිනයක් ඔහුට අමතකවන්නේ කෙසේද ඇගේ සිතුවිල්ලයි. නමුත් පිරිමියාට එය එතරම් වැදගත් යයි නොතේරේ.

පිරිමින් පාපන්දු බොක්සිං වෙස්ලින් වැනි ක්‍රිඩා ප්‍රියකරන්නේ ඇයි? ඔබ මොහොතක් සිතුවාද? ඔබේ සැමියා සහ පුතණුවන් දෑස් දල්වාගෙන අතින් පයින් නරඹන අතර ඔබත් දියණියත් පහරක් වදින ගානේ දෑස් පියා ගන්නේ ඇයි? ඒ තමයි හෝමෝන ක්‍රියා කාරිත්වයේ වෙනස. ගැහැණු දරුවන් බෝනික්කන් ප්‍රිය කරද්දි පිරිමි දරුවන් වාහන ආයුධ ප්‍රිය කරන්නේ ඇයි ? පිරිමින් තිත්ත රස සහ සැර බීම ප්‍රිය කරද්දී ගැහැණුන් මිහිරි රස බීම ප්‍රිය කරන්නේ ඇයි? ගැහැණියක් අසතුටින් හො වේදනාවෙන් සිටින විට තවත් ගැහැණියකට එය සැනෙකින් හදුනාගත හැකි වුවත් පිරිමියෙකුට එය හදුනාගත නොහැකි වන්නෙ ඇයි? පිරිමියෙකුට එය හදුනාගැනීමට හැකිවන්නේ කදුලු වැනි බාහිර ලක්ෂණයක් තිබුනොත් පමණයි.

ගැහැණියකට තම සැමියාගේ කමිසය මත තැවරුනු සුවද විලවුන් වල වෙනස ක්ෂණයකින් හදුනාගත හැක. ගැහැණියකගේ නෙත් දෙස එක එල්ලේ බලා බොරු කීම ඉතා අපහසු කටයුත්තකි. ගැහැනියකට බොරුවක් කියන්නේ නම් දුරකථනයෙන් හෝ ලිපියකින් එය කීම වඩාත් සුදුසු යැයි කථාවක් තිබේ. ගැහැණියක ගේ ඇති ලොකුම දුර්වලතාවයක් ලෙස පිරිමින් දකින්නේ කලට වේලාවට වැඩ නොකිරීමයි. මේ නිසා බිදී ගොස් ඇති විවාහ බොහෝය. ගමනක් යෑමට සූදානම් වන විට මෙය වඩාත්ම කැපි පෙනෙන අතර එම ගමන අන්තිමට යන්න වෙන්නේ සිත්තැවුලකිනි.

ඔබට සමහරවිට ඔබේ සැමියා ගිය ගමනක් පිළිබද විස්තර ඇසූ විට ඉතා කෙටියෙන් පිළිතුරු සැපයීම නිසා ඔහු සමග නුරුස්වන්නට ඇත. නමුත් එය පිරිමි ගතියකි. ඔවුන් විස්තර කීමට අකමැතිය. ගැහැණු අප මෙන් විස්තර කිරීමට ඔහුට ස්වභාවයෙන්ම හැකියාව නැත. පිරිමින් යමක් මිලදී ගැනීමේදී කේවල් කිරීමට අකමැතිය. එබැවින් වෙළද සැලකට ගිය විට පරීක්ෂවෙන් තොරව භාණ්ඩ හෝ නිෂ්පාදන ගෙන එයි. බොහෝවිට ඒවා ඉතා තත්වයෙන් පහල ඒවා විය හැක. මෙය කාන්තාව කෝපකරවන්නකි. ඕන කුණු ගොඩක් උස්සගෙන එනවා කියමින් ඇය ආරවුලකට මුල පුරයි.

පිරිමින් තමන් කොතරම් දුර්වල වුවද ස්වභාවයෙන්ම තමන්ව විවේචනය කරනවාට හෝ අනිකුත් පිරිමින් සමග සංසන්දනය කරනවාට බෙහෙවින් අකමැතිය. එබැවින් ඔබේ සැමියා කොතරම් මුග්ධ ක්‍රියාවක් කලද පවුලේ සමගිය රැකගැනීමට නම් ඔබට කල යුත්තේ නිහඩවීමය. පිරිමින් බොහෝ විට වරද පිළිගන්නේ ම නැත. ඔබ ඔහුට යම් කාර්යක් කිරිම සදහා වඩාත් හොද යෝජනාවක් ඉදිරිපත් කලහොත් ප්‍රථමයෙන්ම ඔහු කරන්නේ එය අව තක්සේරු කිරීමය. නමුත් අන්තිමට ක්‍රියාත්මක කර තිබෙන්නේ ඔබේ යෝජනාවම වුවහොත් ඔබට පුදුම වීමට හේතුවක් නැත. එය පිරිමි ගතියය. ඔවුන් ගැහැණියකට දෙවැනි විමට අකමැතිය. 

පිරිමින් තම හැගීම් එලි දක්වන්නේ ඉතා අඩුවෙනි. ඔබේ සැමියා ඔබට පණ වගේ ආදරය කරන්නෙකු විය හැක. නමුත් ඔහුට එම හැගීම ඔබට දැනෙන ලෙස දක්වන්නට හැකියාවක් නැත. බොහෝ විවාහ බිද වැටෙන්නේ මෙම නොතේරුම් ගැනීම නිසාය. ඔබ පෙම්වතියක් වන කාලයේදී ඔහු ඉතා විශාල ලෙස ඔබට ආදරය කරයි. නමුත් විවාහයෙන් පසු එසේ නොවන්නේ දඩයක්කාරයා ගොදුර පසුපස ගොස් එය අයිතිකරගෙන හමාර බැවිනි.

කිසිම පිරිමියෙක් තම පෙම්වතිය හෝ බිරිද වෙනත් පිරිමියෙකු දෙස අවධානය යොමුකිරීම සහ අගය තිරීම නුරුස්සති. මෙය ගැහැණියකට තේරුම් ගැනීමට අපහසුය. 

පිරිමියෙකුට එකවර කල හැක්කේ එක කාර්යක් පමනි. නමුත් ගැහැණියකට එකවර කාර්ය රැසක් කල හැක. හොදම නිදසුනක් නම් පිරිමියෙකු දුරකථනයෙන් කථාකරන්නේ නම් වෙන කිසිවකට අවධානය යොමු කල නොහැක. නමුත් ගැහැණියකට දුරකථනයට පිළිතුරු දෙමින් තවත් කාර්ය රැසක යෙදිය හැක. පිරිමියෙකු පුවත් පතක් කියවන්නේ නම් ඔබ කොතරම් උච්ච ස්වරයෙන් ඔහු ඇමතුවද ඔහු බිහිරිය. ඔහු ඔබට බොහෝවිට කියන්නේ කියන්න තියන දෙයක් වටින් ගොඩන් කියන්නේ නැතුව කෙලින් කියන්න කියලයි එය සත්‍යකි. ඔහුට යමක් තේරුම් ගන්න හැකි වන්නෙ එවිටය. නමුත් ගැහැණුන් බොහෝ විට යමක් කියන්නේ ව්‍යාංගයෙන් හෝ වක්‍රයෙනි. එය ගැහැණු ගතියය. බොහෝ පිරිමින් යම් කාර්යයක් කර දෙන ලෙස ඉල්ලූ විට එය කල්දැමිමද සිරිතකි. මෙය ගැහැණියට කෝප ගන්වන්නකි. මා මේ සදහන් කරන දේවල් සුලු දේවල් යැයි ඔබට සිතෙනු ඇත. නමුත් මේවා දුරදිග ගොස් කෙලවරවුන විවාහ බොහෝය.

පිරිමින් තම රැකියා සදහා තෝරාගන්නේ තම අවකාශ හැකියාවන් ඉස්මතු කරන රැකියාවන්ය. ආරක්ෂක හමුදාවන් වල, පියාසර, ඉන්ජිනේරු. මෝටර්රථ තාක්ෂණික වැනි ක්ෂෙත්‍රවල රැකියාන් ඔවුන් ඉතා ප්‍රිය කරති. නමුත් ගැහැණුන් වඩාත් ප්‍රිය කරන්නේ ගුරුවෘත්තිය, රූපලාවන්‍ය ක්ෂෙත්‍රය වැනි ඒවාය

පිරිමින් හඩන්නේ ඉතා කලාතුරකිනි. ඒ වගේම ඔවුන් තම වේදනාව දුක අන් අය දැන ගන්නවාට කැමති නැත. මේ බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇත. නමුත් ගැහැණිය හඩනු දැකීමට ඔවුන් ඉතා අකමැතිය. ඔබ ඔබේ සැමියා පුතා පෙම්වතා සොහොයුරා පිරිමියෙකු ලෙස තේරුම් ගත යුතුවා සේ ම ඔබවද ගැහැණියක ලෙස ඔවුන් තේරුම් ගත යුතුය. පිරිමියෙකුට ලොව ඇති ලස්සණම දෙය ගැහැණියයි. ගැහැණියටද එසේමය 

පිරිමියෙකුට ආදරය සහ ලිංගික සම්බන්ධතාවය කරුනු දෙකකි. නමුත් කාන්තාවකට එය එකම කරුණති. පිරිමියෙකු ගණිකා ඇසුරට යන්නෙ ආදරය නිසාම නොවේ. තම සැමියා අනියම් ඇසුරක නිරතවන්නේ යයි සැකයක් ඇතිවු වහාම ඇය ඔහුට නිවස මිහිපිට අපායක් කරයි. මෙයින් වනුයේ ඔහු වඩ වඩාත් එම අනියම් ඇසුරට යොමුවීමයි. ඔබේ සැමියා අනියම් ඇසුරක නිරතවන්නේ නම් පළමුව එයට හේතුව කුමක්දැයි සොයාබැලිය යුතුයි. සමහර විට එය ඔබගේ ලිංගික උදාසීන කමක් නැත්නම් වෙනත් යම් කරුණක් නිසා විය හැක. කෙතරම් වරද කළත් බොහෝ පිරිමින් තම පවුල් සංස්ථාව කඩා බිද දමා ගැනිමට කැමැත්තක් නොදක්වති. එම නිසා එම අවස්ථාව ඔබ බුද්ධිමත්ව ප්‍රයෝජනයට ගත යුතුය. තවද බොහෝ ස්වාමිපුරුෂයන් තම බිරින්දෑන් අදින පළදින විලාශයට අකමැතිවුවද ආරවුලක් ඇතිකරගැනිමට ඇති දැඩි අකමැත්ත නිසා නිහඩව සිටිති. ඔහුගේ නිසල හැගීම් තේරුම් ගන්නට ඔබ සමත් විය යුතුය.

තම මව බිරිද සොහොයුරිය වැඩකාරයන් හෝ සේවිකාවන් නොවන බව සෑම පිරිමියෙක්ම තේරුම් ගත යුතුය. තම බිරිද අපේක්ෂා කරන පරිදි ඇයට සිතින් ආදරය කරනවාට වඩා එය වචනයෙන් සහ ක්‍රියාවෙන් ඇයට දැනෙන්නට සැලැස්විය යුතුය. සමාජය ඉදිරියේ ඇය අගය කල යුතුය. අද ගැහැණියක අතින් කෙරෙන කාර්ය සුලු පටු නෙවේ. නිවසේදී ඇය ශ්‍රමිකයෙක් වී ඇත. දරුවන්ගේ දහසකුත් රාජකාරි සමග ඇයට කල යුතු දෑ බොහෝවී ඇත. ඇයට ශ්‍රම දායකත්වය සැපයිම පිරිමියෙකුගේ යුතුකමකි. පිරිමියකු ගෘහමූලිකයා වූ පමණින් සාර්ථක ගෘහයක් ඇති නොවේ. අද සමාජයට ගැලපෙන ලෙස ඔහුද සමානව ගෘහයේ රාජකාරි බෙදා හදා ගෙන කල යුතුය. අද පිරිමි සහ ගැහැණු බොහෝ දෙනෙක් සමාන රැකියාවල නියුක්ත වීම නිසා මෙය වෙනස්වී ඇත. තම බිරිදට සහාය වීම පිරිමි කමට නිගා දෙන්නක් නොවේ.

මෙහිදී මා ගැහැණු සහ පිරිමි ගැන සදහන් කර ඇත්තේ සමස්ථයක් වශයෙන් පමණි. සෑම ගැහැණියක්ම පිරිමියෙක්ම මේ වගේ යැයි කීමට නොහැක. කිමද ඔවුන්ගේ හෝමෝන ක්‍රියාකාරිත්වය අඩු වැඩි වීම් අනුව ගැහැණු ගති සහ පිරිමි ගති වෙනස් විය හැක. නිදසුනක් වශයෙන් කාන්තාවක ගේ ටෙස්ටොස්ටොරොන් ක්‍රියාකාරිත්වය වැඩිවු විට ඇය තුල පිරිමි ගති වැඩිවන්නටත් ඊස්ට්‍රජන් වැඩිවු විට ගැහැණු ගති වැඩි වන්නටත් පුලුවන. එය සමාජයේ බහුලව දක්නට ලැබේ. අප එවැනි අය ගැහැණු වගේ පිරිමි සහ පිරිමි වගේ ගැහැණු ලෙස හදුන්වමු.

අද අපේ රටේද දික්කසාද ප්‍රතිශතය ඉහල යමින් පවතී. මේ තත්වයට මුලික හේතුව අප මේ ගැහැණු ගතිය සහ පිරිමි ගතිය නිසි ලෙස හදුනාගන නොමැති වීමයි යන්න මගේ හැගීමයි. ගැහැණියක් පිරිමියෙකු ගේ පැත්තෙන් සිතන්නත්, පිරිමියෙකු ගැහැණියකගේ පැත්තෙන් සිතන්නත් හුරුපුරුදු වී ඒ අනුව එකිනෙකාට ගැලපෙන ලෙස අනුවර්තනය වීමෙන් සාර්ථක යුග දිවියක් ගත කිරීමට හැකිවනු ඇත. 

(Why men don’t listen & women can’t read maps byAllan & Barbara Pease) යන පර්යේෂණාත්මක ග්‍රන්ථය ඇසුරිනි

ශ්‍රියානී ද සේරම් විසිනි



අද මුලු ලෝකයේම දික්කසාද ප්‍රතිශතය 50% කින් ඉහල ගොස් තිබේ. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ගැහැණිය පිරිමියාවත් පිරිමියා ගැහැණිය වත් හරි හැටි හදුනා නොගැනීමයි. පිරිමියා සහ ගැහැණිය විවිධ සිතුම් පැතුම්, විවිධ ගති පැවතුම්, ඇති ශාරිරික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද වෙනස්වු පුද්ගලයන් දෙදෙනෙකි.