සද්ධර්මයේ බලයෙන් සහ අනුහසින් විස්මිත අනාවැකි පැවසීමේ හැකියාව දුරාතීතයේ පටන් පැවත එන්නකි. දියුණු චිත්ත ශක්තියක් සහිත පුද්ගලයන්ට පමණක් සිදුකළ හැකි මෙම විස්මිත ක්රියාවේ වර්තමාන කියවීමක් දකුණුලක ගාල්ල ඉමදුව ප්‍රදේශයෙන් වාර්තා වේ. පහත සඳහන් වන්නේ නවීන තාක්ෂණයට පවා නිවැරැදිව කිව නොහැකි මවු කුස වැඩෙන කලලය 'දුව' ද 'පුතා' ද යනුවෙන් නිවැරැදිව පැවසීමට සමත් විස්මිත මිනිසකුගේ කතාවකි.
ඉමදූව දීගොඩ පදිංචි සමරවීර ආරච්චිගේ ලයනල් මහතාගේ දැන් වයස අවුරුදු හැත්තෑ දෙකකි. ගම්මුන් මොහු හඳුන්වන්නේ දිගොඩ බාල මහත්තයා කියාය. නොඑසේ නම් ලයනල් උපාසක අප්පු යනුවෙනි. දිගොඩ බාල මහත්තයා ගැන මේ ප්‍රදේශයේ නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. හේ විස්මිත අනාවැකි කියන ගැමියෙකි. කුස තුළ සිටින දරුවා දුවෙක්ද පුතෙක්ද කියා, ඔහු කියන බව මිනිස්සු කීහ. ගැබිනි මව පමණක් නොව කුස තුළ සිටින දරුවා තිසරණ සහිත පංචශීලයේ පිහිටුවා බාල මහත්තයා මෙකී අනාවැකි කියන්නේ විස්මිත අයුරිනි.
ඉකුත් දිනක විස්මිත අනාවැකි කියන බාල මහත්තයා සොයා අපි ඔහුගේ නිවසට ගොඩ වැදුනෙමු. ඔහු සුදු පැහැති සරමකින් හා මේස් බැනියමකින් සැරසී සිටියේය. මුහුණ පුරා වැවී ඇති රැවුල සුදු පැහැ ගැන්වී ඇත්තේය. බැලූ බැල්මට මොහු තවුස්දම් පුරණ බ්‍රාහ්මණයකු වැනිය. අපි බාල මහත්තයා සමඟ කතා බහට වැටුනෙමු.
අපි බෞද්ධයන් වුණාට තිසරණ සහිත පන්සිල්වල වටිනාකම ගැන දන්නේ නැහැ. උදේටත් කියනවා. හවසටත් කියනවා. පන්සිල්වලට පුදුම හයියක් තියෙන්නේ. මව් කුසේ ඉන්න දරුවාට හය මාසයක් පසුවුණාට පසු තිසරණ සහිත පංච ශීලයේ පිහිටුවන්න පුළුවන්. දරුවාට තිසරණ සහිත පංචශීලය පිහිටුවූවාට පසු මව් කුසේ ඉඳන් ප්‍රතිචාර දක්වනවා. ඒ දක්වන ප්‍රතිචාරයේ වාර ගණන අනුව කුසේ ඉන්න දරුවා දුවද පුතාද කියලා කියන්න පුළුවන්. නවීන ස්කෑන් එකක් වරදින්න පුළුවන්. මව හොඳ සිහියෙන් දරුවා කෙරෙහි මනස යොමු කරගෙන පන්සිල් ගන්න ඕන. අම්මාගේ මනස දරුවාට යොමුවෙන්න ඕන යෑයි බාල මහත්තයා කියන්නේය.
බාල මහත්තයා භාවනායෝගීව සිටියදී ඇතිවූ සිතුවිල්ලකට අනුව මේ ක්‍රමය සොයාගෙන තිබේ. බාල මහත්තයා හමුවීමට පැමිණෙන මව්වරුන්ට ඔහු පළමුව සිදු කරන්නේ මව තිසරණ සහිත පංචශීලයේ පිහිටුවීමයි. දෙවනුව කුස තුළ සිටින දරුවා පංචශීලයේ පිහිටුවීමට කටයුතු කරන්නේය. මේ සඳහා ආගම් බේදයක් නැත. කුස තුළ සිටින දරුවා තිසරණ සහිත පංචශීලයේ පිහිටුවූ විට දරුවා චලනය වීමට පටන්ගන්නේය. චලනය වන වාර ගණන අනුව කුස තුළ සිටින දරුවා දුවෙක් ද පුතෙක් ද කියා බාල මහත්තයා කියන්නේය. ඔහු පවසන පරිදි ඒ අනාවැකිය තක්කොට නිවැරැදිය.
කුසේ ඉන්න දරුවා පංචශීලයේ පිහිටුවූ විට සෙලවෙන වාර ගණන අනුව ඔත්තේ ගාණක් වුණොත් පිරිමි දරුවෙක් ඉරට්ටේ ගාණක් වුණොත් ගැහැනු දරුවෙක් නිවුන් දරුවෙක් වුණොත් ගැටලුවක් තියෙනවා. කුසේ ඉන්න දරුවා සෙලවෙන වාර ගණන මව විසින් මතක තියා ගන්න ඕන සිහි බුද්ධියෙන්. නිවුන් දරුවන්ගේ චලනය මවට අල්ලා ගන්න බැහැ. මේ ක්‍රමය තිතටම හරි. දරුවා කුස තුළ සිටියදී චලනය වෙනවාද කියලා සිහි බුද්ධියෙන් ඉන්න නැති නම් අපට කියන්න කියලා. දොස්තර මහත්වරු මවට උපදෙස් දෙනවා. වෛද්‍යවරුන්ට දරුවෙක් සොලවන්න ශක්තියක් නැහැ. නමුත් බුදු ගුණයට පුළුවන් කුසේ ඉන්න දරුවා සොලවන්න. බුදු දහමේ තිසරණ සහිත පංචශීලයට පුළුවන් දරුවා සොලවලා පෙන්වන්න. දහමට අනුගත වෙන්න ඕන. දහම දකින්න ඕන. නුවණින් දැක ගන්න ඕන. මා ගැන දන්න විශාල මව්වරු මාව හමුවෙලා තියෙනවා.
වෛද්‍ය විද්‍යාව කියන්නේ එකක්. බුදු දහම කියන්නේ එකක්. භෞතික ලෝකයට වෛද්‍ය විද්‍යාව අවශ්‍යමයි. ආධ්‍යාත්මික ලෝකයට තමයි දහම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශරීරයටත් ජීවක කියන වෙදෙක් වෙදකම් කළානේ. ඒ නිසා වෛද්‍ය විද්‍යාව අද උත්තරීතර තැන තියෙන්නේ. ඒක අපි අගයන්න ඕන. මානසික ලෝකය තමයි තේරුම් ගන්න ඕන යෑයි බාල මහත්තයා කීවේය.
තිසරණ සහිත පංචශීලයේ පිහිටුවීමෙන් පසුවද කුස තුළ සිටින දරුවා අත් පා සොලවන්නේ නැති නම් ඒ සඳහා බාල මහත්තයා ළඟ බෙහෙතක් ඇත්තේය. බාල මහත්තයා හැම දෙයක්ම කරනු ලබන්නේ දළදා සමිඳුන් මුල්කරගෙනය. කොටින්ම කිවහොත් බාල මහත්තයාගේ ජීවිතය දළදා හාමුදුරුවන්ට කැප කොට තිබේ. ඔහුගේ ඉෂ්ට දේවියන් වන්නේද දළදා හිමියන්ය. බාල මහත්තයා කියන බෙහෙත දළදා අෂ්ඨකයයි.
දළදා හාමුදුරුවෝ දෙනමයි ලංකාවේ වැඩ ඉන්නේ. ඒ දෙනම සිහි කරලා තමයි මේ දේවල් කරන්නේ. කවදාවත් වරදින්නේ නැහැ. සෙතක් යහපතක් වෙන්න කියලා යම්කිසි ප්‍රාර්ථනාවක් සත්‍ය ක්‍රියාවක් තමයි මා කරන්නේ. දළදා අෂ්ටකය කියනවා එක හරි බලගතුයි. කුසේ ඉන්න දරුවා තිසරණ සහිත පංචශීලය කියලා වඩවනවා. එහෙම සෙලවූයේ නැත්නම් දළදා අෂ්ඨකය කියනවා. එහෙම වූ විට කුසේ ඉන්න ඕන මළ කුණක් වුණත් සොලවනවා. පුදුම ශක්තියක් දළදා අෂ්ඨකයේ තියෙනවා. මව්වරුම කියනවා දරුවා හමුවූ හැටි මමවත් දන්නේ නැහැ කියලා.
බුදුරාජාණන් වහන්සේගේ කාලයේ තිබුණා ගැබ් පෙළහර කියලා. උන්වහන්සේගේ කාලයේ පටන් ගැබිනි මව්වරුන්ට බුදු දහමේ ආශිර්වාදය දීලා තියෙනවා. දරු සම්පතක් බලාපොරොත්තුවෙන් ඉන්න මව්වරුන් පංචශීලයේ පිහිටුවලා ආශිර්වාද කරලා තියෙනවා. ඒවා අදටත් කරන්න පුළුවන්. මම මේ හොයාගත්තු දේ කිසි කෙනෙක් මෙතෙක් කල් කරලත් නැහැ. කරපු බවක් අපට දැන ගන්නත් නැහැ. එහෙම කරපු කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත්වෙලා අභියෝගයක් කළත් තමාගේ අකමැත්තක් නැති බවද බාල මහත්තයා කියන්නේය.
බාල මහත්තයා මේ සියලු ආගමික කටයුතු සිදුකරනු ලබන්නේ කළුගල මලල්ගොඩපිටිය ගුණවර්ධනාරාම විහරාස්ථානයේය. විහාරාධිපති හිමියන්ගෙන් ද බාල මහත්තයාට මේ සඳහා ලැබෙන්නේ සුවිශාල වූ සහයෝගයෙකි. බාල මහත්තයා අනාවැකි කියන්නේ කුස තුළ සිටින දරුවා ගැන පමණක් නොවේ. දරුවන් පල නොමැති මව්වරුන් වෙනුවෙන්ද ඔහු ආශිර්වාද කරන්නේය. දරුපල නොමැති මව්වරු විශාල වශයෙන් බාල මහත්තයා සොයා පැමිණෙති. බාල මහත්තයා ඒ ගැන කීවේ මෙවැනි කතාවකි.
දරුපල නැති මව්වරුන්ට බෝධිපූජා කරලා පිරිත් දේශනා කිරීමෙන් පසු දරුපල ලැබිලා තියෙනවා. පිරිමියෙක් සහ ගැහැණියක් එක්වූ විට පිරිමි ශුක්‍රාණුවක් හා ගැහැනු ඩිම්බයක් එකතුවෙලා යුක්තානුවක් හැදෙනවානේ. යුක්තානුවක් හැදුණු පමණින් දරු සම්පතක් මෙලොවට බිහිවන්නේ නැහැ. යුක්තානුවට විශ්ව ශක්තිය එකතුවෙන්න ඕන. ග්‍රහණය ධාරණය මනුෂිකාවය භව කියන මෙන්න මේ ශක්ති විශ්වයෙන් එන්න ඕන. කුසල අකුසල පින පව අනුව තමයි ජීවී ළමයකු මෙලොවට බිහිවන්නේ. විශ්වයෙන් ගන්න ජීව ශක්තිය ගන්න පුළුවන් දහම අනුසාරයෙන්. දහමට අනුගතවෙලා බුදුරදුන්ගේ නවඅරහාදී ගුණ සඡ්Cධායනා කරලා. පිරිත් සඡ්ධායනා කරලා, විශ්ව ශක්තියට අපි ආරාධනා කරනවා මේ මොහොතේ විශ්වයේ දිව්‍ය හා බ්‍රහ්ම ලෝක වලින් චුතවන නැණ ගුණ බලයෙන් යුත් පිංවත් ජීව ශක්තියක් මව් කුසට ඇතුළු වේවා කියාල ප්‍රාර්ථනා කරනවා.
ඒ ප්‍රාර්ථනාව හරියනවා. නමුත් කරවාගන්න අය තුළ ශ්‍රද්ධාව තියෙන්න ඕන. කරන පුද්ගලයාත් මෙත්තා මුදිතා කරුණා උපේක්ෂා යන කාරණා හතර උඩ ඉඳගෙන කරන්න ඕන. මේ කිසිදෙයක් මිල මුදලට කරන්නේ නැහැ. වතුර උගුරක් හැරෙන්න කිසි දෙයක් ගන්නේ නැහැ. මේකේ තියෙන බලය ශක්තිය දන්නේ නැහැ. මා අත්දැකීම් ලබපු දේවල් විතරයි කියන්නේ. මේක මහා බලගතු දෙයක්. දළදා සමිඳුන් වැඳ නමස්කාර කරලා මේක කියන්න ඕන. ඒ අයගේ කටින්. ඒ දළදා අෂ්ඨකය. බෝධි ශාන්ති ගාථා නවඅරහාදී බුදුගුණ තුන් සූත්‍රය කියනවා සෙත් පිරිත් කියනවා. කිසිදු බෙහෙතක් දෙන්නේ නැහැ. ඒ අයගේ කාලපරිච්ඡේදය අනුව නිදුක් නිරෝගී නැණ ගුණ බලයෙන් යුත් දරු සම්පතක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. විශ්ව ශක්තිය ආවොත් විතරයි ජීවියකු මෙලොවට බිහිවෙන්නේ. දරු සම්පත් නැති මව්වරු ඕන තරම් මගෙන් ප්‍රතිකාර අරගෙන තියෙනවා. මා කරන්නේ නිහඬ සේවයක් බවද බාල මහත්තයා කීවේය.
ඒ විතරක් නොව බාල මහත්තයා ලෙඩ රෝගවලට ද බුද්ධ ශක්තියෙන් ප්‍රතිකාර කරන්නේය. ඒ ගැන බාල මහත්තයා කීවේ මෙවැනි කතාවකි.
වාත රෝග ලෙඩ රෝගවලට තෙල් බෙහෙත් කරනවා. පෙර භවයේ කරනු ලැබූ කුසල් අකුසල් අනුව ඇතිවන ආබාධ සුව කරන්න බැහැ. කර්මජ රෝගවලට බුද්ධ ශක්තියෙන් හොඳ කරන්න බැහැ. මව් කෙනකුට පයින් ගහලා පාදයක් තුවාල වූ අයෙක් ආවා මගෙන් ප්‍රතිකාර ගන්න. මා ඔහුට කීවා මෙය හොඳ කරන්න බැහැ කියලා. ඔහු මියයන තෙක් ඒ තුවාලය පාදයේ තිබුණා. පිළිකා රෝගීන්ට වුණත් පිරිත් ශ්‍රවණය කිරීම ඉතා වැදගත්. ලංකාවට ඉන්න හොඳම සැලසුම් ඉංජිනේරුවරයකු හෘද සැත්කමක් කරගන්න ශල්‍ය වෛද්‍යවරු දෙන්නා ළඟට ගියා. නමුත් ඒ වෛද්‍යවරු දෙදෙනා සැත්කම කරන්න භාරගත්තේ නැහැ. පසුව ඉංජිනේරුවරයා සිංගප්පුරුවේ ගිහින් ජපන් දොස්තර මහත්තයකු හමුවුණා. ලක්ෂ 40 ක මුදලක් යනවා කියලා කීවා. පසුව ඔහු මාව හමුවෙන්න ආවා මට පෙරැත්ත මොනව හරි කරන්න කියලා. පසුව හොඳ පිරිතක් කීවා පරගොඩ රජමහා විහාරයේ බෝධි පූජා දින තුනක් කළා. තුන්වැනි දවසේ බෝධි පූජාව කරන විට පපුවේ තද වීමක් ඇතිවෙලා ක්ෂණිකවම හොඳවුණා හෘද වස්තුවට හොඳින් ලේ පොම්ප වෙනවා. ඔහු පසුව ජපානයට ගිහින් දොස්තර මහතා හමුවුණා. දොස්තර මහත්තයා කියලා තියෙනවා සැත්කමක් කරන්න අවශ්‍ය නැහැ කියලා. අදටත් ඔහු දිනකට කිලෝමිටිර් හතක් ඇවිදිනවා. යෑයි ද බාල මහත්තයා කීවේය.
බාල මහත්තයා දියණියන් දෙදෙනකුගේ පියෙකි ඔහු. 66 වර්ෂයේ දී ඉමදුව තැපල් කාර්යාලයේ ආදේශක තැපල් සේවකයකු ලෙස සේවය කොට තිබේ. 76 වර්ෂයේ සිට ගාල්ල කොටුව තැපල් කාර්යාලයේ විදුලි පණිවුඩකරුවකු ලෙස සේවය කළේය. ඔහු දහම් මඟට යොමුවූ අයුරු විස්තර කළේ මේ අයුරිනි.
මා සේවය කරමින් සිටියදී ගාල්ල කළේගාන නාගරුක්ඛාරාම විහාරස්ථානයේ දී 77 දී මට හමුවුණා කළු හින්දැරි නායක හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුවෝ කොටුවේ වයි. එම්. බී. එකේ බණක් කීවා. මම ඒ බණ ඇසුවා ඒ බණ දහම් අහලා තමයි බුදු දහම පැත්තට යොමුවුණේ. 'ඊට පස්සේ මම නිර්මාංශ වුණා. පළමු වැනි සිල් පදය හා අන්තිම සිල් පදය මගෙන් බිඳුණා. අනික් සිල් පද තුන මම රැක්කා. ඒ හාමුදුරුවන්ගේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් පසු මම එදා නැගිට්ටේ මේ වැරදි එකක්වත් කරන්නේ නැහැ කියලා. එදා ඉඳලා අද වනතුර පන්සිල් පද පහ මා කීයටවත් බිඳ ගන්නේ නැහැ. ඒක මගේ පණ වාගේ රකිනවා.
වැරදි කරන අයට වැරදිවලින් බේරෙන්න කාලය තියෙනවා. දහමත් එක්ක හිටියා. පොත්පත් බැලුවා. ධර්මය ශ්‍රවණය කළා. මගේ දැහැමි ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවන්ගේ දහම් ලිපි මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඤාණානන්ද හාමුදුරුවන් ධර්ම ප්රබෝධයක් ඇති කළා. පානදුරේ ආරියධම්ම හාමුදුරුවන්ගේ ධර්මය ශ්‍රවණය කළා. ඒවා තුළින් මගේ මනස අවදිකර ගන්න පුළුවන් වුණා අදටත් ලංකාවේ රහතන් වහන්සේලා ඉන්නවා. මගේ හිත දියුණු කර ගන්න ආනාපානා සති භාවනාව තමයි මා කළේ. නින්දට යන්නෙත් ආනාපානා සති භාවනාව කරමින් ආශ්වාස ප්රාශ්වාස රැල්ල කයක් හැටියට තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. සිහිය ඇතිව දැනුවත්ව ආශ්වාස ප්රාශ්වාස කරන එක තමයි ආනාපානා සති භාවනාව කියලා අපි වඩන්නේ. කෙනකුට අහන්න පුළුවන් මම සෝවාන්ද සකෘදාගාමිද කියලා. මම ඒක දන්නේ නැහැ. මගේ කටින් මා ඒක කියන්නෙත් නැහැ. යම් දියුණුවත් තියෙනවා නම් අහන ශ්රාවකයා හා දකින පුද්ගලයා මැන ගන්න ඕන. එහෙම නැතිව අහවල් පළ ලබලා කියන්න බැහැ. පන්සිල් පද පහ හරියට රැකගන්න ඕන. පන්සිල් පද පහ හරියට රැක්කොත් ධර්මයේ විස්මිත දේවල් කරන්න පුළුවන්.
මම මරණයට භය නැහැ. වතුරේ පාවෙන්න පුළුවන් ඇඟ හීතල වෙලා ගල් වෙනකම් අතපය සොලවන්නේ නැතිව වතුරේ ඉඳගෙන භාවනා කරන්න පුළුවන් යෑයි ද බාල මහත්තයා අපට සමුදෙමින් කීවේය.
ලලිත් චාමින්ද
දිවයින
Post a Comment