නීතිය රත්වෙයි අවුල් වියවුල් වෙයි - සම්පත් එස්. කල්පගේ

ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රය තුළ ලග්නාධිපති සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා රවි හා සිකුරු සමඟින් යෝගව 11 වැන්න හෙවත් අයස්‌ථානගත වීම පසුගිය වසරට වඩා බාධක ඉවත් වී මෙම නව වසර සුබදායක වීමට පෙර නිමිත්තක්‌ වීමට ඉඩ ඇත. ලැබීම් අතින් යහපත් වූ වසරකි. ගුරු හා භූමිකාරක කුජ 9 වැන්න හෙවත් පුණ්‍යස්‌ථානගත වීම පෙර පින හා භූමිය සම්බන්ධයෙන් මෙන්ම මැණික්‌ කර්මාන්තයට යහපත් වූ තත්ත්වයකි. සඳු 5 වැන්නේ හා බුධ 10 වැන්නේ ගෝචර වීම තුළ ඉදිරි 2018 වසර මුල භාගය තුළ කාන්තාවන්ටත් දරුඵල බලාපොරොත්තු සැමටත්, දරුවන්ටත් යහපත් වනු ඇත. අධ්‍යාපනයට යහපත් වන්නේය. රාහු හා කේතු ලග්නයෙන් 6 හා 12 ගෝචරය නම් එතරම් යහපත් නොවේ. මෙම තත්ත්වය රටට ලැබෙන ජාත්‍යන්තර සහායට බාධාවක්‌ වනු ඇත.

කෙසේ වෙතත් ඉදිරි 2018 වසරේ මැද භාගයේදී අප රටට පමණක්‌ නොව මුළුමහත් ලෝකයටම දේශගුණය හා කාලගුණය සම්බන්ධයෙන් යම් පීඩාකාරී හා කරදරකාරී කාලයකට මුහුණදීමට සිදුවනු ඇත. විශේෂයෙන් කාන්තාවන්ට හා ළමුන්ට මෙම වසර මුල් භාගය යම් පමණකට සුබදායක වනු ඇත. එසේම මෙම වසරේදීත් ස්‌වාභාවික විපත් බහුලවම සිදුවී හැකියාව පවතී. වසරේ මුල් මාස කිහිපය තුළ පාරිසරික උෂ්ණත්වය ඉහළ යැම නිසා දරාගත නොහැකි රස්‌නයකට මුහුණ දීමට සිදුවනු ඇත. වසරේ මැද භාගය තුළ ගංවතුර, නායයැම්, භූමිකම්පා, සුළිසුළං තත්ත්ව මුහුදු විපත්, හදිසි අනතුරු, රථවාහන හා ගුවන් අනතුරු කැපී පෙනෙන ලෙස වර්ධනය වන කාලයකි. එසේම මෙම වසර මැද භාගයේ රහස්‍ය කටයුතු බහුලව සිදුවන කාලයකි. ජනතාවගේ මානසික සෞම්‍ය බිඳවැටීම හේතුවෙන් ජනතාව අතර නොයෙක්‌ වසංගත රෝග හා නොසන්සුන්තා ඇති වනු ඇත. විශේෂයෙන් පරිපාලන ක්‌ෂේත්‍රයේ හා අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ ගැටලු හා ප්‍රශ්න බහුල වන කාලයකි. උසස්‌ ප්‍රභූන්ට මෙන්ම කුඩා දරුවන්ට අපලදායකය. විශේෂයෙන්ම අප රටේ ගව සම්පතට අපලදායක වනු ඇත. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොයෙක්‌ ගැටලු හා කරදර ඇති වනු ඇත. 

වසර ආරම්භයේදීම මැතිවරණ උණුසුම සමගින් කාලයක්‌ බලා සිටි මැතිවරණයක අවස්‌ථාව ජනතාවට උදාවනු ඇත. ඒ සමඟින් නව දේශපාලන පක්‌ෂයකට වැඩි වාසි අත්වනු ඇත. දේශපාලන ලෝකය තුළ නොසිතූ නොපැතූ හැලහැප්පීම් ඇතිවේ. උද්ඝෝෂණ, උපවාස වැඩ වර්ජන ඇතිවන කාලසීමාවකි. රට තුළ සිදුවන මංකොල්ල හා මිනීමැරුම් හා දුරාචාර ඉහළ යන අතර ඒවාට නීතියද ක්‍රියාත්මක වනු ඇත. නමුත් පොලිසියේ යම් යම් ක්‍රියා පිළිබඳ ජනතාව සෑහීමකට පත් නොවනු ඇත. රථවාහන අනතුරුවල කැපීපෙනෙන වැඩි වීමක්‌ සිදුවනු ඇත. ආහාරපානවල මිල ඉහළ යනු ඇත. පැවිදි පක්‌ෂයට මෙම 2018 නව වසර සුබදායක නැත. භික්‌ෂුන් වහන්සේලාට නොයෙක්‌ ප්‍රශ්න හා ගැටලු ඇති වන වසරකි. පසුගිය වසරේ සේම මෙම වසර පුරාවටද කෘෂි කර්මාන්තය ආශ්‍රිත ප්‍රශ්න කැපීපෙනෙන ලෙස ඉහළ යනු ඇත. නීති අංශයේ කැපීපෙනෙන ප්‍රගතියක්‌ හා වර්ධනයක්‌ උදාවන වසරකි. අපරාධ කරුවන්ට හා අයුතු ක්‍රියාවල යෙදුණු ජනප්‍රිය පුද්ගලයන්ට නිසි දඬුවම් හිමිවනු ඇත. 

විශේෂයෙන් අප ලංකා ජන්ම පත්‍රයේ ලග්නාධිපති ග්‍රහයා වන ශනි හෙවත් සෙනසුරු 11 වැන්න හෙවත් ධනු සම රාශිගතව 2020 ජනවාරි දක්‌වා ගමන් කිරීම මත අප රටට පසුගිය වසරට වඩා යහපතක්‌ උදා වුවත් තවදුරටත් යම් පමණක කාලගුණ හා දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. රටට ලැබෙන ආදායම් තත්ත්වයේ පහත වැටීමක්‌ මෙන්ම අප රටට විදේශයන්ගෙන් ණය හා ආධාර ගැනීමට සිදුවනු ඇත. එසේම විශේෂයෙන් අධ්‍යාපන හා විශ්වවිද්‍යාල ක්‌ෂේත්‍රයේ අර්බුද හා ගැටලු වරින් වර ඇති වන වසරකි. මහජනයා අතර තවදුරටත් උද්ඝෝෂණ වැඩ වර්ජන ඇතිවනු ඇත. මත්ද්‍රව්‍ය, මංකොල්ල, මිනීමැරුම්, විවිධාකාරයේ අපචාර දූෂණ පසුගිය වසරට වඩා යම් ප්‍රමාණයකට අඩු වනු ඇත. 

එසේම පසුගිය වසරේ සේම මෙම වසර පුරාවටම දේශපාලන කරලිය තුළ සුවිශේෂී පෙරළි රැසක්‌ද සිදු විය හැකිය. පාර්ලිමේන්තුව මෙන්ම මුළු දේශපාලන කරළියම උණුසුම් වන වසරක්‌ ලෙස අපට මෙම 2018 වසරද හඳුන්වා දිය හැකිය. පවතින රජයට කැපී පෙනෙන අර්බුද රැසකට මෙම වසර තුළ තවදුරටත් මුහුණ දීමට සිදු වනු ඇත. කෙසේ වෙතත් මෙම වසරේ මුල් කාලසීමාව තුළ නව අණ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇත. විපක්‌ෂය යම් යම් අවස්‌ථාවල කැපී පෙනෙන ලෙස ඉදිරියට එන නමුත් මත ගැටුම් නිසා එම තත්ත්වය එක දිගට පවත්වා ගත නොහැකි වනු ඇත. 

මේෂ ලග්න ලෝකායන ජ්‍යෝතිෂය අනුව තවදුරටත් සෙනසුරු ලග්නයෙන් 9 වැන්නේ ගමන් කිරීම හේතුවෙන් මෙම වසර සමස්‌ත ලෝකයටද සුබඵල යම් පමණකින් උදා වන්නා වූ වසරකි. ලෝකය කෙරෙහි අවධානය යොමු කිරීමේදී තවදුරටත් දැනට පවතින ත්‍රස්‌ත තර්ජන ලෝකයේ යම් යම් රටවල් ආශ්‍රිතව පවතිනු ඇත. ගුවන් යානා අනතුරු හා මගී යාත්‍රා අනතුරු වසරේ මැද භාගයේ සිදු වීමේ අවදානමක්‌ පවතිනු ඇත.

එළඹෙන නව වසර ලග්න 12 ආශ්‍රිතව විමසා බැලීමේදී මේෂ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, කුම්භ හා මීන යන ලග්න 8 ට බොහෝ අංශවලින් සුබදායක ප්‍රතිඵල උදාවන අතර වෘෂභ, වෘශ්චික, මකර හා ධනු යන ලග්නවලට යම් පමණක අසුබ ප්‍රතිඵල මෙම 2018 වසර පුරාවට උදාවනු ඇත. 

වැඩිදුර විස්‌තර සදහා සම්පත් එස්. කල්පගේ 0382293771 / 0772753100

දිවයින ඇසුරිණි




ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රය තුළ ලග්නාධිපති සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා රවි හා සිකුරු සමඟින් යෝගව 11 වැන්න හෙවත් අයස්‌ථානගත වීම පසුගිය වසරට වඩා බාධක ඉවත් වී මෙම නව වසර සුබදායක වීමට පෙර නිමිත්තක්‌ වීමට ඉඩ ඇත.