අපේ නිවස ආසන්නයේ වෙසෙන එක්තරා මිනිසෙක් කිසිදු රැකියාවක් සොයාගත නොහැකිව දුක්බරිත මුහුණින් යුතුව මා හමුවට ආවේය. රාත්රියේදී හිත සන්සුන් කරගෙන භාවනා කරන මෙන් උපදෙස් දී මම ඔහුව ගෙදර යෑවීමි. හේ පසු දින කඩිනමින් මා හමුවට පැමිණියේය.
"ඊයේ රාත්‍රි මම අර කිව් විධියට භාවනා කළා. හරි පුදුම දෙයක්නෙ මට සිදු වුණේ."
"ඇයි හීනෙන් බයවුණාවත්ද?"
"නැහැ. මම භාවනා කරන අතර හොඳ සිහියෙන් හිටියෙ. එහෙම ඉන්නකොට හරි ලස්සන බුද්ධරූපයක් පේන්න ගත්තා. ඒ බුද්ධරූපෙ දිහායින් ඉතා පැහැදිලි කටහඩක් ඇහුණා."
"මොනවද ඇහුණෙ"
"පින්වත. ඔබ කෙරෙහි හටගත් අනුකම්පාවෙන් මෙසේ දේශනා කරමි. කාම සම්පත් සොයන සත්වයාට ඒ තුළින් සැනසීමක් නොලැබෙන්නේමය. කාම සම්පත් අත්හැර දැමීම සැනසීමේ ආරම්භය වන්නේය. මම එය සනාථ කරනු පිණිස උපමා කථාවක් ඔබට කියමි.
එක්තරා මිනිසෙක් එළකිරි බීම ප්‍රිය කළේය. හේ කිරි එළදෙනක මිලයට ගෙන නිවසට රැගෙන ආවේය. තවද හේ මෙසේ කල්පනා කළේය. මේ රට හැම තැන සොරු වෙසෙති. මාගේ කිරි එළදෙන කවුරුන් හෝ සොරාගත හැකිය. මෙසේ සිතූ ඒ අඥාන මිනිසා එළදෙන නිවස තුළම බැද දැමීය. එළදෙන ඒ මිනිසා දෙන ආහාර සියල්ල කා දමා නිවස තුලම මළපහ කළාය. නිවස තුලම මූත්‍රා කළාය. ඔහු එතැන් පටන් සෑම දිනකම ගත කළේ කෝපයෙනි. හේ ඉවසීමේ සීමාව ඉක්ම ගොස් අසරණ සතාට ශාප කරන්නට පටන් ගත්තේය.
එම නිවස පසුකර යමින් සිටි ඥානවන්තයෙකුට අඥාන මිනිසාගේ ශාපය ඇසුණි. හේ එතැනට පැමිණ සියලු පවත් විමසා කොක්හඬලා සිනාසුනේය. වැස්සිය ගෙට ගෙනැවුත් බැඳගත්තේ නුඹම නේද? නුඹ විසින් ශාප කරගත යුත්තේ නුඹටම නේදැයි ඥානවන්තයා ඇසීය.
පින්වත, කාම සම්පත් සියලු විනාශයන්ට මුල වන්නේය. කම් සැපතෙහි ඇල්ම දුරලීම සැනසීමෙහි ඇරඹුම වන්නේය.
දැන් මම අතිශය තීරණාත්මක හා අතිශය සංවේදී ප්රශ්නය වෙත සෙමින් පිවිසෙමි. මේ කරුණු වල සදාචාරාත්මක වටිනාකමක් ඇති බව සැබෑය. යම් තරමක හෝ සාහිත්‍යමය රසයක් ඇති බවද සැබෑය. නමුත් ගැටලුව වන්නේ අමිතාභය බුදුන්වහන්සේ වැනි ආගන්තුක චරිත හරහා මෙවැනි දේ සන්නිවේදනය වන බව කීමේ යුක්ති යුක්තභාවයයි.
පෘථිවිවාසීන් දෙස බැලීමට අමිතාභය බුදුන්වහන්සේට හදිසියේම සිතුනේ ඇයි. බෝසත්වරුන් හදිසියේම පොළවට බැස ධර්ම දෙශනා කරන්නට පටන් ගත්තේ ඇයි. ඔන්න දැන් අහගන්න ඒ වැදගත් හේතුව. මම එය බෝසත්වරුන් කී දේ මගේ වචන වලින් ලියා තබමි.
"ගෞතම බුදුන්වහන්සේගේ ශාසනය තව වසර පන්දහසක් කල් පවතින්නට පූර්ව සැලැස්මක් විය. එම සැලැස්මෙහි කේන්ද්‍රස්ථානය ශ්‍රී ලංකාවයි. ඒ සැලැස්මෙහි වැදගත්ම හවුල්කරුවන් වනුයේ සිංහලයන්ය. සිංහල ජාතිය බුදුදහම සමඟ ඉපිද බුදුදහමේ අවසානයත් සමඟ අවසන්ව ඉතිහාසයට එක්වෙයි. සිංහලයෝ බුදුදහම රැක්මේ වගකීමෙන් බැඳුනාහු වෙති. යම් කලෙක සිංහලයන් බුදුදහම අත්හළේ ද එකල්හි බුද්ධ ශාසනයේ අන්තර්ධානය ද වෙයි. සිංහලයන්ගේ අවසානයද එයම වෙයි."
එනමුත් අමිතාභය බුදුන් හා බෝසත්වරුන් විසින් නිතර නිතර අවධාරණය කරන පරිදි මේ පූර්ව සැලැස්ම උඩු යටිකුරු කරවන කුමණ්ත්‍රණයක් ද වෙයි. ඒ කුමන්ත්‍රණය හරි යැමේ ඉඩක් ද ඇත.
"වසවර්ති මාරයා ඔහුගේ සේනාධිපතියන් සය දෙනෙක් ද දෙතුන් සීයක මාර සෙනඟක්ද දිවා රෑ නොබලා සේවයේ යොදවමින් සිංහලයන් බුදුදහමෙන් වෙන් කිරීමට කුමන්ත්‍රණය කරයි. හේ අලුත් ආගමික නිකායවල් නිර්මාණය කරවයි. අලුත් අලුත් පූජාවිධි බිහිකරවයි. ලෝකෝත්තර නිවන් සුවය අගය නොකරන නව පරම්පරාවක් බිහි කරවයි. වසවර්ති මාරයා සිය`ථ බෞදධ නායකයන් භේද කරවයි. දිවෙන් දිව ගාගෙන සිටි බෞදධ නායකයන් සියලු දෙන නයි පොළඟුන් මෙන් වෛරීව හැසිරෙන තෙක්ම භේද කරවයි. එකිනෙකා මරා ගන්නා තෙක්ම ඒ භේදය දුරදිග යවයි. බුදුදහම බේරා ගැනීමේ වැඩපිළිවෙළක් කවුරුන් හෝ ඇරඹුවොත් ඒ පිරිසට මතක හිටින පාඩම් උගන්වා අධෛර්ය කරවයි."
බෝසත්වරුන් විසින් හෙළිකර ඇති පරිදි තවත් විශාල අන්තරායක් ඉදිරියට පැමිණෙයි. එයත් වසවර්ති මාරයාගේම සැලසුම් සහගත වැඩපිළිවෙළකි. මේ වැඩපිළිවෙළ ගැන මම 2012 වර්ෂයේ මුලදී විද්‍යුත් මාධ්‍යයන්ගෙන් මුල් වරට හෙළිකළෙමි. 2012 දී මා කියූ අනාවැකිය ගැන බොහෝ දෙනෙක් සැක පහළ කළහ. මම 2012 වර්ෂයේ රූපවාහිනී නාලිකාවක් හරහා කියූ ඒ අනාවැකිය දින කාල වකවානු අනුව හරියටම සිදුවිය. මේ ගැන සැක පහල කරන කෙනකු වේ නම් ඒ වැඩසටහන සජීවී ලෙස විකාශය කෙරුණු නාලිකාවෙන් ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර දැනගත හැකිය. ඊට අදාළ පටිගත කිරීම් පිළිබඳ විස්තර ස්වර්ණවාහිනියේ වැඩ කළ හෝ වැඩ කරන ජයකොඩි නම් තරුණ මහතාගෙන් අසා දැන ගත හැකිය.
"2014 වර්ෂයේ ජනවාරි මාසයේදී මැදපෙරදිගින් ඇරඹෙන ආගමික අන්තවාදීන්ගේ සටනක් කෙටි කලෙකින්ම රටවල් හයක් කරා ව්‍යාප්ත වනු ඇත. එම අරගලය ඉදිරියට ගෙන යැම හෝ මැඩ පැවැත්වීම පිළිබඳ අවසන් තීරණය ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය මතය. වෙනත් කිසිදු රටක් ඊට අත පෙවීමෙන් ඒ යුද ගිනි නිවිය නොහැකිය. යම් හෙයකින් එක්සත් ජනපදය ඒ යුද ගිනි නිවා නොදැමුව හොත් ලෝක යුද්ධයක් දක්වාම එම තත්ත්වය වර්ධනය වී කිව නොහැකි තරම් ජීවිත හා දේපළ හානි සිදුවනු ඇත."
බෝසත්වරුන් විසින් ඵල කළ ඒ අනාවැකියේ මුල් කොටස සිරියාව හා ඉරාකය දෙසින් අද වන විට සැබෑ වෙමින් පවතියි. මැදපෙරදිගින් ඇරඹුනු යුද ගින්න තුන්වන ලෝක යුද්ධයේ ආරම්භය බව බෝසත්වරු කියති. ඔවුන් කියන හැටියට ඒ ගැන ශ්‍රී ලංකාවාසි අපට කළ හැකි දෙයක් ද නැත. ඇමෙරිකා එක්සත් ජනපදය මැදිහත්ව යුදගිනි නිවාලීම සිදු නොකළහොත් අපට ඇත්තේ එකම එක විකල්පයක් පමණි. ආගමික අන්තවාදීන් නිවසටම පැමිණ හිසට තුවක්කුව එල්ල කිරීමට පෙර අඩුම ගණනේ සෝවාන් ඵලයටවත් පැමිණීමයි.
දැන් මගෙන් මෙබඳු ප්‍රශ්නයක් ඇසීමට ඔබට සිතෙනු ඇත. ඇයි මේ රහස් කියන්නට බෝසත්වරුන් ඔබ වෙතම ආවේ? අසවල් බෞද්ධ නිකායේ අධිපති අසවල් ස්වාමීන් වහන්සේ වෙත ඔවුන් පැමිණියේ නැත්තේ ඇයි දැයි ඔබ මගෙන් අසනු ඇත. දිහා මමත් භාවනා කරනවා මට එවැන්නක් පිළිබඳ හාංකවිසියක හෝ දැනුමක් නැතැ" යි කලාතුරකින් හෝ කෙනෙකු විසින් කියනු ඇත. නැති අවදානමක් මවා පා වාසි ගන්නට ප්‍රලාප කියන බව කලාතුරකින් හෝ කෙනකු කියනු ඇත. මා විසින් එවැන්නන්ගේද සිත් පහන් කළ යුතුය.
බුදුන්වහන්සේ කිඹුල්වත් නුවර වැඩවාසය කරන කල්හි දස දහසක් සක්වලවාසී සෘද්ධිමතුන් උන්වහන්සේගෙන් බණ ඇසීමට පැමිණි බව සූත්‍ර පිටකයේ මහා සමය සූත්‍රයේ දැක්වෙයි. සුඛාවතියේ අග්‍ර දායක මංජු ශ්‍රී බෝධිසත්වයන් වහන්සේ ද ඔවුන් අතර විය. මංජු ශ්‍රී මා හමුවට පැමිණියේ ගෞතම බුදුන්වහන්සේ විසින් පෙර සැලසුම් කරන ලද පරිදිය. එම වැඩ පිළිවෙළට අමිතාභය බුදුන්වහන්සේගේද පූර්ණ අනුග්‍රහය ලැබුණි.
මංජු ශ්‍රී ෙත්‍රෙනිකායික නායක ස්වාමීන් වහන්සේලා හමුවීමට නොපැමිණ මා හමුවට පැමිණිමේ හේතුව මා විසින් පහදා දිය යුතුය. රට කරවන මහ බලධාරීන් මඟහැර මා හමුවට පැමිණිමේ හේතුව මා විසින් පහදා දිය යුතුය. මම එය පළමුව උපමා කථාවකින් පහදා දෙමි. ඉන් පසුව විස්තර කර දෙමි.
එකෝමත් එක කාලයක දුරු රටක මහානෝන්ජල් නම් වූ රජකෙනෙක් දැහැමෙන් සෙමෙන් රජ්‍යය පාලනය කළේය. මහානෝන්ජල් රජතුමාට සුරූපී දියණියක් විය.
ඈ කෙතෙක් රූමත්ද යත් ඇගේ රූ සිරි දුටු වනදෙව්ලියෝ ලැඡ්ජාවෙන් පසුබා ගියහ. සුරූපී රාජකුමරිය ගැන අසල්වැසි රටවල තේජවන්ත කුමාරයන්ට දැනගන්නට ලැබුණි. ඔවුහු රජ කුමාරිය තමන්ට ඉල්ලා පියරජුට දූතයන් යෑවූහ. නැති නම් යුද කර යටත් කරන බව කීහ.
ඉන් එක් කුමරුවෙකුට දුව දුන්නොත් අනෙකා සතුරු වෙයි. යුද කර රට අල්ලයි. දුවගේ විවාහ මංගල්‍යයෙන් පසු එක් රටක් හැර සියලු රටවල් සතුරු රටවල් වේ. මහානෝන්ජල් රජු උපක්‍රමශීලී අයෙකි. හේ තම දියණිය සරණපාවා ගන්නට කැමති කුමාරවරුන් සියලු දෙනාට සහභාගි විය හැකි සාධාරණ තරගයක් ඇති බවට දැන්වීම් යෑවීය.
තරග දිනයෙහි සුරූපී දූ කුමාරිය කිඹුලන් ගහන විලක් මැද පිහිටි කුඩා ගල් පර්වතයක් උඩ තනි කරනු ලැබීය. කුමාරවරු සුරූපිණිය ගැන සිත් ඇතිව විල් තෙරට වී නොඉවසිලිමත්ව සිටියහ.
"කුමාරවරුනි, නුඹලාගේ තරාතිරම මට වැඩක් නැත. මේ තරගය කා හටත් සාධාරණය. නුඹලාගෙන් නිර්භීතම කුමාරයා තෝරා මාගේ දියණිය සරණ පාවා දෙන්නෙමි. කුමරිය කෙරෙහි සිත් ඇති අයකු වේ නම් කිඹුලන් ගහණ විලට පැන පීනා ගොස් ඇය බේරාගෙන එනු මැනවි"
එය කිසිවකු විසින් හෝ භාර ගැනීමට අසීරු, සිතා ගැනීමට වත් නොහැකි තරම් දුෂ්කර අභියෝගයකි. කුමාරවරු විල් තෙරට වී එකිනෙකාගේ මුහුණු දෙස බලමින් පැයක් හමාරක් නිකරුණේ ගෙවා දැමූහ. රටවැසි බොහෝ පිරිස් ද විදේශ රටවලින් පැමිණි නියෝජිතයෝ ද විල් තෙරට පැමිණ එකිනෙකා මත තෙරපෙමින් ඊළඟ ඇසිල්ලේ කුමක් සිදුවෙන්නේ ද යන කුතුහලයෙන් යුතුව බලා සිටියහ.
මේ අතර "ජබෝස්" යන හ`ඩක් විල් තෙර පිහිටි බැම්මක් දෙසින් ඇසුනි. පිරිස අතර සිටි වයස අසූවක් පමණ වෙතැයි අනුමාන කළ හැකි මහල්ලෙක් විලට පැන දිය දෙබෑකර පීනා ගොස් කුමරිය බේරාගෙන ගොඩට පැමිණියේය.
සිතූ දෙය සිදු නොවේ. නොසිතූවක්ම සිදුවේ. මහානෝන්ජල් රජු වහාම ඉදිරියට ගොස් මහල්ලා පිළිගත්තේය.
"ඔබ කළ ඒ වීර ක්‍රියාව ගැන මම පුදුමයෙන් පුදුමයට පත්වීමි. රජවරුන් වන අප කා හට වුවත් දුන් පොරොන්දු එලෙසම ඉටු කළ යුතුවෙයි. එබැවින් මම දූ කුමරිය ඔබට සරණ පාවා දෙමි. බෑණනුවනි, ඔබගේ පැල්පතෙන් අදම නික්ම විත් මාගේ මාළිගයේ වාසය කරනු මැනවි. එහෙත් මට ඔබෙන් ඇසිය යුතු එක් ප්‍රශ්නයක් ඇත. නුඹ මෙවැනි නිර්භීත තීරණයක් ගත්තේ කෙලෙස ද යන්න මට දැන් පහදා දිය යුතුය"
ඒ වන විට මහල්ලා දියබත්ව හොඳටම වෙවුලමින් සිටියේය. හේ වෙව්ලමින් බිඳුනු හඬින් යුතුව මෙසේ කීය.
"මහරජ තුමනි, අසූවයස් පිරුණු මහල්ලෙකු වන මට නුඹගේ දූ කුමරියගෙන් පලක් නැත. එහෙත් මට මේ උදව්ව කරනු මැනමි. මා විලට තල්ලු කළේ කවුදැයි සොයා බලා ඔහුට සුළු තරවටුවක් කරනු මැනවි."
මහල්ලාගේ ප්‍රකාශය ඇසූ මහානෝන්ජල් රජු එවේලේම ළය පැළී මිය ගියේය.
මටද කීමට ඇත්තේ එවැනි කථාවකි. සමාජයේ වෙසෙන උගතුන් යයි කියාගන්නා පිරිස් බුදුදහම ගැන කියන කථා විමසිල්ලෙන් කියවූයෙමි. ඔවුන්ගේ තර්ක විතර්ක විචාරයන් ආදිය ප්‍රවේශමෙන් සලකා බැලීමි. බුදුදහම ගැන මා සතු ගැඹුරු අන්තර්ඥානය සමඟ හැරෙන්නටවත් ඔවුන්ට නොහැකි බැව් මම කෙටි කලෙකින්ම පසක් කර ගතිමි.
එක් එක් සූත්‍ර ධර්මයන් ගැනත් බෞදධ නිකායයන්හි එන ඉගැන්වීම් ගැන මා සතු දැනුමට අභියෝග කරනු තබා ප්‍රශ්නයට ගැලපෙන උත්තරයක් දීමේ හැකියාව පවා කට කියවන බොහෝ දෙනෙකුට නොමැති බව පසක් කර ගතිමි.
වාද විවාද වලදී අනෙකාට ගරහා ලකුණු දා ගැනීම සැබෑ දිනුමක් නොවේ. මැර බලය යොදා වාද විවාදවලට එන්නන් දුර්මුඛ කිරීම දක්ෂකමක් ද නොවේ. ඕනෑම ජගතෙක් ඕනෑම වියතෙක් බුදුදහම ගැන මා හා විවාදයට එන ලෙස මා විසින් මින් පෙර වාර කිහිපයකදී අභියෝග කර ඇත. ඒ අභියෝගය භාරගත් පිරිස් වට දෙකක් තුනක් යන විට පරුෂ වචන වලින් මට බැනවැදී හෙමිහිට ලිස්සා ගියහ.
කිසිවෙකු හෝ ඉදිරියට පැමිණ බුදුදහම බේරා ගනීවි යෑයි මම විශ්වාස කළෙමි. බුදුදහම බේරා ගන්නට ඉදිරියට පැන්න අය එක්කෝ තමන් වටේ සෙනඟ රැස්කරගෙන බුදුදහම කැබලිවලට ඉරා දැමූහ. නැතිනම් ඔවුහු මහ සද්දයෙන් පටන්ගෙන අවසානයේ හීන් කෙඳිරියකින් ගමන අවසන් කළහ.
මතු සම්බන්ධයි
නිලන්ත හෙට්ටිගේ
දිවයින
Post a Comment