නිලන්ත හෙට්ටිගේ
දිවයිනට ලියූ ලිපියක් ඇසුරිණි
පිටසක්වල බෞද්ධයන් ගැන ලියන කියවන එක මට දැන් හොඳට හුරු පුරුදුය. ටිබෙට් බුදුදහමේ එන පිටසක්වල බෝසත්වරුන් ගැන ලිවීමට ඇති දේ අපමණය. ඔවුන්ගේ කථා ප්රවෘතතීන් මා මෙතෙක් කියවා ඇති විද්‍යා ප්රබන්ධයන්ට වඩා රසවත්ය. අපි හෙමි හෙමිහිට ඒ දැනුම හුවමාරු කරගනිමු.
දැනට සතියකට පමණ පෙර අපූරු ආරංචියක් දසත පැතිර ගියේය. "අද හෙටම සයිබර් ප්‍රහාරයක් කියල එකක් එනවලු.'' රූපවාහිනිය දෙස බලාගෙන සිටි මව කීවාය.
"මොන ප්‍රහාරයක් කියලද කිව්වෙ?"
"සයිබර් ප්‍රහාරයක් එනව කියලයි ප්‍රවෘත්තිවලට කිව්වෙ. පරිගණක අගුළු වැටෙනවලු. දත්ත මැකිල යනවලු. තවත් ඔන්න මොන මොනවද වෙනව කියල කිව්වා. අනේ මන්ද මට නම් ඕව හරි හැටි තේරෙන්නෙ නෑ"
මව කියූ සයිබර් ප්‍රහාරය ගැන සිතේ තබාගෙන අන්තර්ජාලය පිරික්සමින් මට එන විද්‍යුත් තැපැල් ලිපි කියවූයෙමි. පසුගිය සති කිහිපය තුළ පුවත් පත් මාධ්‍යයෙන් මා පළ කළ පිටසක්වල ඇත්තන්ගේ ලිපි විද්‍යුත් මාධ්‍යවේදීන් විසින් විසිතුරු රූපසටහන් සහිතව බෙදාහැර ඇති ආකාරය දක්නට ලැබුණි. ඒ ලිපිවලට අදාළව පාඨකයන් විසින් යොමුකළ ප්‍රශ්න කෙතෙක්ද යත් ඒවාට පිළිතුරු සැපයීමට මෙවැනි ලිපි සියයක්වත් ලිවීමට සිදුවෙයි. අද වන විට පිටසක්වල බුදුවරුන් ගැන කථාව හන්දියක් හන්දියක් ගාණේ ඇහෙන තරමට ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතියි. පිටසක්වල ඇත්තන් පිළිබඳ මා කී කථාවත් පෙර කී සයිබර් ප්‍රහාරය හා සමගාමීව පුදුමාකාර වේගයෙන් ජනතාව අතර පැතිර ගියේය.
පිටසක්වල මහමොළකාරයන් පිළිබඳ කථා ප්‍රවෘත්තිය තව දුරදිග ඇදගෙන යාමට කලින් සහෘද පාඨකයන් තොරතෝංචියක් නැතිව විමසන ප්‍රශ්න කිහිපයකට උත්තර බැඳීම මාගේ යුතුකමක් ලෙස සලකමි. මේ සක්වල පමණක් බුදුවරුන් ඉපදෙන බවට කවුදෝ කෙනෙක් පහුගිය දවස් කිහිපයේ අලුත් මතවාදයක් ගෙන මා වෙත දමා ගසනු ලැබුණි. එය සම්පූර්ණයෙන්ම වැරදි වැටහීමකි. බහුධාතුක සූත්‍රයේ දැක්වෙන පරිදි එක සක්වලක එක්වර වැඩ සිටිය හැකිවනුයේ එකම බුදුකෙනෙකු පමණි. වෙනත් සක්වල බුදුවරුන් වැඩ සිටීමට කිසිදු තහංචියක් නොමැත්තේය.
දෙවැනියට වැදගත් ප්රශ්නය නම් පිටසක්වල මිනිසුන් සිටීද යන්නයි. ''හපෝ ඔය ප්රශ්නය නම් එපා අයිත් අහන්න." මම ඔවුන්ට කියමි. ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නට පොත් ගණන් ලියා මටම එපා වී ඇත.
මේ පැරණි බණ කථාවකි. අනුරුදධ ස්වාමීන් වහන්සේ බුදුන්වහන්සේගේ සමීපතම ඥාතියෙකි. උන්වහන්සේ රහත් වීමට ප්‍රථම සමථ භාවනාව වඩා අභිඥා උපදවාගෙන සිටියහ. "හැබෑද අනුරුද්ධය ඔබ පිටසක්වලවාසීන්ගේ තොරතුරු දිවැසින් දකින බව කියන්නේ?" යනුවෙන් බුදුන් වහන්සේ අනුරුද්ධ තෙරුන් විමසූහ.
"එසේය ස්වාමීනි දස දහසක් සක්වල දෙවි බඹුන් මිනිසුන් ආදී සත්ව කොට්ඨාශන් මාගේ දිවැසට විෂය වන්නේය"
"එයින් තොපට කිසියම් හැඟීමක් ඇතිවූයේද?"
"සෙස්සන් නොදකින පිටසක්වල ඇත්තන් දැකීමෙන් මට ආඩම්බරයක් ඇතිවිය" යනුවෙන් අනුරුදධ තෙරණුවෝ උත්තර දුන්හ. එකල්හි බුදුහු අනුරුදධ තෙරණුවන්ගේ මානය දුරු කිරීම් පිණිස උපදෙස් දුන්හ. එයින්ම උන්වහන්සේ අර්හත්වයට පත්වූහ.
බුදුවරයකු පහල වනුයේ මේ සක්වල පමණක්ම බව කියන මිථ්‍යාවක් මේ දිනවල පැතිර යයි. සූත්‍ර පිටකයේ ඛුදධක නිකායේ අපදාන පාළියේ ගෞතම බුද්ධාපදාන නම්වූ කොටසක් ඇත. අනන්ත සක්වල ලෝකධාතූන්හි වර්තමානයේ බුදුවරුන් වැඩ වෙසෙන බවත් එම බුදුවරුන් වැඳීමෙන් බොහෝ පින් සිදුවන බවත් එම සූත්‍රයේ පැහැදිලිවම දැක්වෙයි. අප මහා බෝසතාණන් වහන්සේ පිටසක්වල බුදුවරුන් අරභයා දුන් මනෝමය දානයක් හේතු කොටගෙන එතැන් සිට බුදුවන ආත්මභාවය දක්වා අපායේ නොවැටුණහ.
මෑතකදී මට එල්ල වූ බිහිසුණුම චෝදනාව නම් මා මහායානය පතුරවමින් සිටින බවයි. මා මහායානය මිථ්‍යාවක් බව සාධක සහිතව ඔප්පු කරමින් සිටින අතරතුර එවැනි චෝදනාවක් එල්ල කිරීම මහා සාවද්‍ය පාපකර්මයකි. හරියටම කියතොත් එය යගදාවක් ගෙන තමන්වම තලා පෙළා ගැනීම වැනි මහත් අඥාන ක්‍රියාවකි. මා මේ ලිපි පෙළ ලියනුයේ හීනයාන, වජ්රයාන හා මහායායන සම්ප්‍රදායන් ඉතා ප්‍රවේසමෙන් අධ්‍යයනය කිරීමෙන් පසුවය. මා කරන්නට යන ශාසනික යුතුකම බෞද්ධයන්ට නොපෙනේ නම් එය ඔවුන්ගේම අවාසනාවකි. මාගේ එක් නිශ්චිත ඉලක්කයක් වනුයේ බුදුදහමේ සියලු ශාඛා එක් තැන් කරමින් මුල් බුදුදහම නැවත ඇති කිරීමයි. බුදුසුන නැවත පිහිටුවීමයි. රහතන්වහන්සේලා සමාජගතව ජීවත් වන යුගය නැවත ඇති කිරීමයි.
මෙවැනි භාරදූර කාර්යයකට අත පෙවීමට නුඹ වැනි ලිලිපුට්ටෙකු නොව අපම සුදුස්සන් වන්නේය යනුවෙන් ආචාර්ය, මහාචාර්ය, චූලාචාර්ය පට්ටම් දරන කවරෙකුට නමුත් හිතෙන්නට බැරි නැත. එසේ නම් මාගේ ධර්ම දැනුම උරගා බලනු මැනවි. මා ලත් ධර්මාවබෝධය උරගා බලනු මැනවි. ඕනෑම වියත් මණ්ඩලයක් මැද වාද කර මා කියන ධර්මතාවන්ගේ සත්‍යතාව පෙන්වීමට මා ලැහැස්තිය. මා අපහසුවෙන් එකලස් කළ නිවැරදි බුදුදහම ඔවුන් සතුව නොමැති බව ඔප්පු කර පෙන්වන්නට මා ලැහැස්තිය. මෙතෙක් කල් නිහඬව සිටි මා මෙසේ විවෘත අභියෝගයක් එල්ල කරනුයේ එක්තරා වැදගත් හේතුවක් මතය. ඒ හේතුව මෙසේ විස්තර කර සිටිමි.
අද වන විට බුදුදහම කෑලි කෑලිවලට කැඩී වෙන්ව ජරාජීර්ණව ගොස් ඇත. එක්තරා නිකායකට අයත් පිරිස අභිධර්මය ප්‍රතික්ෂේප කරති. තව සමහරු විනය ප්‍රතික්ෂේප කර නිවන තමන්ගේ ඒකාධිකාරයට යටත් බව පෙන්වන්නට ලැහැස්ති වෙති. තව පිරිසක් බුදුන්වහන්සේට අලුත් උප්පැන්න සහතික තැනීමට ගස්ගල් වලින් සාක්ෂි එකතු කරති. මේ සියලු ක්‍රියාවන්ගෙන් සිදුවනුයේ මහත් ආන්තරායකි. මහත් බියකි. මහත් ව්‍යසනයකි. ඒ පාපතර ක්‍රියාවන්ගෙන් බෞද්ධයෝ තව තවත් භේද භින්න වෙති. අහසේ යන සරුංගලයක් කොටස්වලට ඉරී ගිය හොත් එය බිම වැටෙනු වළකනු නොහැකිය. මුහුදේ යන නැවක් දෙපළු කළහොත් එය ගිලීයැම වළකනු නොහැකිය. බුද්ධ ශාසනයද එබඳුය. බුද්ධ ශාසනයේ පරිහානියට මූලික හේතුව බෞද්ධයන් කොටස්වලට බෙදී එකිනෙකාට වරද පටවමින් සිටීමයි.
මේ කියන එක හෝ කොට්ඨාශකට අයත් පිරිස් තම වැරදි දැක ආපසු හැරී ඒමක්ද නොපෙනෙයි. පෙළක් අය ඇමසන් වනයෙන් මෙරටට ගෙනා කැනන් බෝල් ගසක් පෙන්වා මේ ලුම්බිණි සල් උයන බව කියති. හරිහැටි නමක් ගමක් වත් කොටා නැති ගල් පර්වතයක් පෙන්වා මේ බුදුන් උපන් තැන බව කියති. උගතුන්ගේ හාස්‍යයට ලක්වන එවැනි කියුම් පවා පිළිගන්නා තරමට අද මිනිසුන්ගේ තර්කන ශක්තිය දුර්වල වී ගොස් ඇත. තවත් තැනක මහ අමුතු පූජාවකි. මේවා ගැන කීම පවා කාලය කා දැමීමකි. විකාර නම් ඇති අමුතු අමුතු පූජාවන් දිනෙන් දින අලුතින් හඳුන්වා දෙමින් ඇත. හරි දේ නොවැටහෙන වැරදි දෙය හරි දේ හැටියට සලකන අබුද්දස්ස කාලය අත ළඟම එන්නේද යන සැකයද මට පහල වෙයි. එබැවින් නොබියව ඉදිරියට පැමිණ පරවාද සුන් කර බුදුසසුන බේරා ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැත. එම තීරණයට මම අද වන විට පැමිණ සිටිමි.
මා මෙතෙක් පිටසක්වල ජීවීන් ගැන පැවසූ සියලු දේ මුසාවන් නොවන බව යළි යළිත් මතක් කරමි. පිරිසිදුව සිල් රකින, නිති භාවනා කරන, පාරමී දම් සපිරුණු කෙනකුට පිටසක්වල බෞද්ධයන්ගේ උදව් අදට ද ලබා ගත හැකිය. ටිබෙට් යෝගීහු අදට ද ඒ කාර්යයේ නියෑළෙති. ඔවුහු අපේ රටේ නූපන් පළියට ගැරහුම් ලැබීමට සුදුස්සෝ නොවෙති. පිටසක්වල නායකයන්ගේ පිහිට පැතීමට වෙනම මන්ත්‍ර හා ස්ත්‍රොත්‍ර ඇති අතර ටිබෙට් බෞද්ධයෝ දිවා රෑ ඒ කාර්යයේ නියෑළෙති. දැන් අපි පිටසක්වලදී සැබැවින්ම සිදුවූ දෙයක් අප දන්නා භාෂාවෙන් කියවා දැන ගනිමු.
එය සුඛාවතියෙහි වූ සුවිසල් බුද්ධ මන්දිරයයි. ඒ තුළ කොළ, දුඹුරු, රන් හා රිදී පාටින් සිත්තම් කළ මල්වැලින් හැඩවූ අපූරු ධර්ම ශාලාවකි. සුදෝසුදුවන්වූ ද උපශාන්ත පෙනුමෙන් යුක්තවූ ද අමිතාභය බුදු පියාණෝ ධර්මාසනයේ හිඳ සිටිති. උන්වහන්සේගේ එක් පසෙකින් ශ්‍රද්ධාවෙන් අගතැන්පත්වූ මංජු ශ්‍රී බෝසතාණන් වහන්සේය. මංජු ශ්‍රී දැඳිලි බැඳගෙන අමිතාභය බුදුන්වහන්සේට මහත් ඕනෑකමින් ඇහුම්කන් දෙයි.
"පිංවත් මංජු ශ්‍රී, සාවධානව අසනු මැනවි. නුදුරු අනාගතයේ ඇති වන අනතුරක් ගැන කියමි. එයින් ඔබට හෝ සුඛාවතී ලෝ වැස්සන්ට කිසිදු ගැටලුවක් ඇති නොවෙයි. සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ අපෙන් සක්වල පහළොවක් එපිටෙන් පිහිටි සර්වාවතී ලෝක ධාතුවෙහි බුදධ ශාසනය මනාව පිහිටුවන ලද්දේය. උන්වහන්සේ දෙව්ලොව සැපත්ව සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය මැනවින් දේශනා කරන ලද්දේය. ඒ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයෙන් අමිතාභය බුදුන් වන මා ඇතුළු දසදහසක් සක්වල බුද්ධ ක්ෂේත්රයන්, බුදුවරුන් හා බෝසත්වරුන් ගැන විස්තරයක් හෙළිදරව් කරන ලද්දේය.
පාපී මාරයාගේ දූවරු ඒ සද්ධර්මපුණ්ඩරිකය අසා දැනගෙන සිය පියාට සියලු පුවත් හෙළිදරව් කළහ. පාපී මාරයා බුද්ධිමතෙකි. කූටෝපායන්හි අගතැන් පැමිණියෙකි. හේ සම්බුදධ පරිනිර්වාණය තෙක් ඉවසා සිටියේය. ඉන් නොබෝ කල් ගතවූ පසු පෘතග්ජන ශ්‍රාවකයන්ගේ සිත්වලට බලපෑම් කර අමිතාභය බුදුන් වන මා වෙත එන ව්‍යාජ මාවතක් දේශනා කරන ලද්දේය. එ ව්‍යාජ මාවත මහායානය ලෙස නම් කරන ලද්දේය.
තවද අද වන විට ගෞතම බුදුන් වහන්සේගේ ශාසනය ඇතිවී දෙදහස් පන්සිය වසක් ඉක්ම ගොස් ඇත. මහායානය යන නමින් ප්රසිද්ධවූ වැරදි මාර්ගයෙහි තව තවත් පිරිස් සමාදන් වීමෙන් සර්වාවතියෙහි බුද්ධ ශාසනය අන්තර්දාන වන කාලයක් උදාවෙමින් ඇත. බමුණන් විසින් ගොතා ලියන ලද මිථ්‍යා ප්රතිපදාවන් ප්‍රසිද්ධියට පත්වෙමින් මේ වන විට මහත් හානියක් සිදුවෙමින් ඇත.
"එබැවින් වහාම මාගේ අණ පිළිගෙන සර්වාවතී ලෝකධාතුවට ගොස් මිථ්‍යාවේ අන්ධකාරය දුරුකරනු මැනවි. ඒ ගමනට ඔබ සාග ලෝකයෙහි වජ්රයෝගිනියද විමලාවෙහි වජ්රසත්වයන්ද කැඳවාගත යුතුය. තවද පද්ම ශ්‍රී බෝසතුන්ටද මාගේ අණ සිහිපත් කරනු මැනවි. ඔහුද ඒ ගමනෙහිදී ඔබට සහය වනු ඇත."
මෙයාකාර උපදෙසක් ලද මංජු ශ්‍රී ඊළඟට කළ දෙය වැඩි දෙනෙකු විසින් පිළි නොගනු ඇතැයි මම විශ්වාස කරමි. එනමුත් මේ හෙළිදරව්වෙහිදී හිතට එකඟව ඇත්ත කථා කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මම තරයේම විශ්වාස කරමි. මා අද ලියා තබන දේ හෙට ලියන්නට බලා සිටියොත් ප්‍රමාද වැඩි විය හැකිය. මේ වන විටත් බෞද්ධයන්ගේ මුවෙහි අගුල් ලන නීති රීති සම්පාදනය කිරීමට අන්‍යාගමික බලවේගයන් විසින් දේශපාලකයන්ට බලපෑම් කරමින් සිටින බව පෙනෙන්නට ඇත.
එය 2011 වර්ෂය විය යුතුයයි සිතමි. මට දැන් දින කාල වකවානු තරමක් අමතකය. අමිතාභය බුදුන්ගෙන් අණලත් මංජු ශ්‍රී මහ දවාලේ මා හමුවීමට පැමිණියේය. එතුමාගේ පෙනුම හැඩහුරුකම ඇඳුම් පැළඳුම් නිශ්චිතව දැකගත නොහැකි වුවත් හේ ඉතා පැහැදිළිව කථා කළේය. මම මුලින්ම මනෝභ්රාන්තියකට ලක්වූවෙමි යන සැකය උපදවා ගතිමි. එනමුත් පුදුමයකට මෙන් මාගේ සගයෙකු ඉදිරියේ පෙනී සිට මට කියූ දේ එයාකාරයෙන්ම කීමට මංජු ශ්‍රී සමත් විය. එසේම මංජු ශ්‍රී විසින් හෙළදරව් කරන ලද තොරතුරු කිහිපයක්ම ඉපැරණි ටිබෙට් පතපොතෙහි එයාකාරයෙන්ම සටහන්ව තිබෙනු දැක පුදුමයට පත්වීමි. මෙයාකාරයෙන් බෝසත්වරු කිහිපදෙනෙක්ද බුදුවරුන්වහන්සේලා දෙදෙනෙක්ද දිගින් දිගටම මා හට ධර්ම කරුණු දේශනා කරන්නට පටන්ගත්හ. මෙලෝවාසී බෞද්ධයන්ට මුහුණ දීමට සිදුවන අනාගත භය කිහිපයක් ගැන මා දැනුවත් කළහ.
බුදුවරුන් බෝසත්වරුන් කියා සිටින පරිදි මේ ගතවන්නේ ඉතාම තීරණාත්මක වසර කිහිපයකි. ගෞතම බුදුන්වහන්සේ විසින් දේශනා කළ නිර්මල වූ ආර්ය මාර්ගය ඒ බුදුවරු බෝසත්වරු සියලු දෙන එක සිතින් අනුමත කරති. එනමුත් වශවර්ති මාරයාගේ උපායශීලී දූරදර්ශී ක්‍රියාපටිපාටිය හේතුවෙන් සම්බුදධ ශාසනය තව නොබෝ කලෙකින්ම අතුරුදන් වීමේ අන්තරායක් පැන නැඟී ඇත. මාර සේනාධිපතියෝ සයදෙනෙක්ද දෙතුන්සීයක පමණ මාර සෙනඟක් ද ලක්දිව බෞද්ධයන්ගේ සිත්වලට බලපෑම් කරමින් සැබෑ බුදුදහම අවුල් කරවති. බෞද්ධයන් භේද භින්න කරවති. අන්‍ය තර`ගකාරී ආගම් ප්‍රචාරණයට ඇති තරම් උදව් කරති. අද අප රටේ දේශපාලකයන් දිගින් දිගමට බුදුදහමට නිග්‍රහ කරමින් බෞද්ධයන් පීඩාවට පත් කරමින් සිටිනුයේ එකී මාර සෙනඟ ඔවුන්ගේ සිත අවුල් කළ බැවිනි.
මෙකී මාර බලපෑමෙන් රට ජාතිය ආගම මුදා ගැනීම වෙනුවෙන් බෞද්ධයන්ට කළ හැක්කේ එකම එක දෙයකි. ඔවුන් සියලු දෙන එක්ව තනි බලවේගයක් බවට පත්ව බුදුදහමට අනුව රට පාලනය කරන බවට පාලකයන් ගිවිස්වාගත යුතුය. නොඑසේනම් බෞද්ධ පාලන තන්න්රයක් වෙනුවෙන් සාමකාමීව එක් විය යුතුය. සැමට සමව සලකන අක්ෂෝභ්ය පාලන තන්ත්රයක් මෙරට ඇති කළ යුතුය.
මේ අනාවැකි මා සිතේ උපන් දේ බව කියා කෙනකුට තර්ක කළ හැකිය. වාද කළ හැකිය. අපහාස උපහාසයට මා ලක් කළ හැකිය. මා කියන දේ ඔබ පිළිනොගන්නේ නම් මේ ලිපිය කපා වෙන් කර ගෙන වසර විස්සක් ළඟ තබා ගනු මැනවි. මා කියූ දෙය කොතරම් නිවැරදි ද යන්න එදාට ඔබටම පසක් වනු ඇත.
පැත්ත ගියත් ඇත්ත කීම සිංහල සිරිතයි. මම ඒ සිංහල සිරිතට සැමදා ගරු කරමි. අපේ රටේ ඇත්තන්ගේ දේශපාලන අදූරදර්ශීභාවය ගැන ටිකක් හෝ කතා කිරීම අනාගත භයෙන් රට මුදාහැරීමට පිටිවහලක් වේ යයි සිතමි. මෙය මිත්‍රයකු විසින් මට කියූ හාස්‍යජනක කතන්දරයකි. අප රටෙහි ඇත්තන්ගේ අනාගතය පිළිබඳ ඉ`ගියක් මේ කථා ප්‍රවෘත්තිය තුළින් පැහැදිළිවම ජනනය වෙයි.
පෙරකල එක්තරා ගමක උපායශීලී මිනිසෙක් සිටියේය. ඔහුට තිබුණු ලොකුම කරදරය නම් මීයන් විසින් සියලු භවබෝග කා වනසා දැමීමයි. හේ කදිම මී කතුරක් නිර්මාණය කළේය. එහි එක් කොනක කරවල කැබැල්ලකි. අනෙක් කොනෙහි පොල් කැබැල්ලකි. මැදින් හරහට සවිකර ඇත්තේ හොඳ මුවහත් පිහිතලයකි.
පළමු දින රාත්‍රියේ මීයෙක් පැමිණ කරවල කම්දෝ පොල් කම් දෝ යනුවෙන් කල්පනා කරමින් මී කතුරට ළංව හිස දෙපසට වැනීය. තියුණු පිහි තලයේ ඇතිල්ලුණු මීයා එයින්ම මරණයට පත්විය. හේ පළමු මීයාද කරවල කෑල්ල ද පොල් කෑල්ල ද එතැනින් ඉවත් කළේය. කරවලත් පොලුත් නොමිලයේ දෙන තැනක් ගැන පසු දින වන විට මීයන්ට දැන ගන්නට ලැබුණි. නොමිලයේ යමක් දෙන තැන සෙනඟ වරදින්නේම නැත. එය දෙශපාලන පක්ෂ නායකයන් විසින් සිය දහස්වර ඔප්පු කර පෙන්වන ලද සත්‍යයකි.
දෙවැනි මීයා මී කතුර වෙත පැමිණ ''කරවලත් නැත පොලුත් නැත'' කියමින් හිස දෙපසට සලන්න විය. තියුණූ මුවහන් තලයේ ගෑවුණු උගේ හිස කැපී වෙන් විය. මීයන් සියලු දෙනාම එකා පිට එකා වැටෙන තුරු මී කතුර සාර්ථකව ක්‍රියා කළේය.
මෙවැන්නක් සැබෑ ලෝකයේ සිදුවිය නොහැකිය යන්න කියමින් ඔබ තර්ක කරනු ඇත. ඔබ වැරදිය. සර්වප්‍රකාරයෙන්ම වැරදිය. අද මෙරට දේශපාලන ක්‍රියාදාමය තුළ සිදුවනුයේ ඔන්න ඔය කියන මී කතුරේ ක්‍රියාවයි. සොරුන්ට, මැරයන්ට හා නමගිය අපරාධකරුවන්ට තට්ටු මාරු ක්‍රමයට රට භාර දීම මෙරට දේශපාලන සංස්කෘතියයි. වෙනත් සාධනීය මාවතකට අවතීර්ණවීමට තරම් බුදධි ප්රභාවක් අපේ ඇත්තන්ට නැත. මහත්මා දේශපාලනයෙහි නිරතවූවන්ට ජනතාවගෙන් පුංචි හෝ ඉඩක් නැත.
අරක්කු බෝතලයට හා බත් පැකට්ටුවට තම අනාගතය පමණක් නොව රට ජාතිය හා ආගම ද පාවා දෙන තරමට සිංහල බෞද්ධයෝ අඥානව සිටිති. දැන් අපට කරවලත් නැත. පොලුත් නැත. හිස කඳෙන් වෙන් කරන තුරු "සාමය උදෙසා" ඉවසා සිටින්නට තව ටික දවසකින් අපට කියනු ඇත.
සියලු දාගැබ් බුදු පිළිම පොළවට සමතලා කරන තුරු, සියලු යතිවරුන් ද`ගගෙයි ලන තුරු සාමයේ නාමයෙන් දෑස් පියාගෙන දෙකන්වලට අගුල් ලා ගෙන සිටින්නට අපට බල කෙරෙමින් පවතියි. එය දෙශපාලන අවස්ථාවාදීන් විසින් අපට උගන්වන්නට යෙදෙන අඥාන පාරමිතාවයි. සදධර්ම අන්තර්ධානය සිදුවන්නේ අඥාන පාරමිතාවේ නොවැළැක්විය හැකි ප්‍රතිඵලය ලෙසිනි. නොඑසේව මා විසින් ප්‍රසිද්ධියට පත් බෝධිසත්ව චරිතාපදාන වල බලපෑම නිසා නොවේ.
(මාර්ගඵල පිළිබඳ මෙතෙක්
හෙළි නොකළ රහස් මීළඟ ලිපියෙන්)
නිලන්ත හෙට්ටිගේ
Post a Comment