සමන් දෙවිඳුන් නිලන්තට දුන් පණිවිඩය

බෞද්ධයන් සිය පරිහානිය වැළැක්‌වීමට කළ යුත්තේ අන්‍යාගමිකයන්ට එරෙහිව දෙස්‌ දෙවොල් තැබීම නොවේ. ඔවුන්ගෙන් උගත හැකි යම් හොඳ දෙයක්‌ වේ නම් ඒ හොඳ දෙය අප විසින ද උගත යුතුය. හුදෙක්‌ම තමන්ගේ මතු ලාභය ඉලක්‌ක කොට ප්‍රදර්ශනාත්මක පින්කම් කිරීමෙන් ඔබට පමණක්‌ම ප්‍රයෝජන ලැබෙයි. බෞද්ධයන් එලෙස ආත්මාර්ථකාමීව හැසිරීම දෝෂදර්ශනයට ලක්‌ විය යුතු ක්‍රියාවකි. අද සිටවත් අන්‍යාගමිකයන්ගෙන් පාඩම් උගෙන නැති බැරි අයට පිහිට වන්න. එවිට දුප්පතුන් බුදු සසුන හැරදැමීම නවතිනු ඇත.''

මේ දිනවල කවුරුත් කථාබහ කරන වැදගත් මාතෘකාවක්‌ ගැන යමක්‌ සඳහන් කර තැබීම අගනේ යෑයි කල්පනා කරමි. ශ්‍රී ලංකාව බෞද්ධ රටක්‌ වන්නේද යන්න අද මෙරට විවාදයට බඳුන් වී ඇති ප්‍රධාන ප්‍රශ්නයයි. බොහෝ දෙනෙක්‌ ඒ ගැන විවිධ මතවාද පළකරති. මෙරට බෞද්ධ රටක්‌ බව ගරුතර සංඝරත්නයේ මතයයි. දේශපාලකයන්ගේ මතය ඊට හාත්පසින්ම වෙනස්‌ය. ඔවුන්ට අනුව මේ රට තුළ සෑම ආගමික මතවාදයකටම ඉඩකඩ තිබිය යුතුය.

මේ ගැන ඔබ හෝ මා දරන මතය දේශපාලකයන්ට වැදගත් නොවන බව මම හොඳාකාරව දනිමි. දේශපාලකයන් යනු පරපෝෂිත ගණයට අයත් ජීවී කොට්‌ඨාශයකි. තමන්ගේ ඡන්ද පදනම ආරක්‍ෂා කර ගැනීමට කවර හෝ මුසාවක්‌ හිරිකිතයකින් තොරව පුන පුනා කීම ඔවුන්ට සුළු දෙයකි. ඡන්දයක්‌ ළඟ එන විට බෞද්ධයන්ගේ හද පතුලෙන්ම අනුකම්පාව ලබා ගන්නා අයුරු ඔවුහු ඔබට වඩා හොඳින් දනිති.

සැබැවින්ම මේ රට බෞද්ධ රටක්‌ද යන්න පිළිබඳව දිය හැකි ප්‍රශස්‌ථම පිළිතුර සරල එකක්‌ නොවේ. එය මෙසේ පැහැදිළි කර දිය හැකිය.

"අප රට බොහෝ කලක්‌ බෞදධ රටක්‌ ලෙස පැවතුණි. අද එය අනාගමික රටකි. මේ යන විධියට වැඩ සිද්ධ වුවහොත් තව වසර කිහිපයක්‌ ගතවන විට ඒ හැඳින්වීමෙහි සුළු වෙනසක්‌ සිදුවනු ඇත. අනාගමික යන පදයේ zනාZ යන්න අත්හැරී ගොස්‌ ''න්‍යා'' යන්න එක්‌වීම ඒ සුළු වෙනසයි.''

කවුරු පිළිගත්තත් නැතත් දේශපාලන බලවතුන්ගේ අනුග්‍රහයෙන් අද මෙරට සිදුවන ශීඝ්‍ර ශාසන අන්තර්ධානය ගැන සම්‍යග්දෘෂ්ඨික දේවිදේවතාවෝ දැඩි සේ සිත් තැවුලට පත්ව සිටිති. මම දැනට වසර පහකට පමණ පෙර දවසට පැය දෙකක්‌ පමණ භාවනා කරන්නට පුරුදුව සිටියෙමි. ඒ කාලයේ මට ධර්මකථක දිව්‍යපුත්‍රයා ඇතුළු සම්‍යග්දෘෂ්ඨික දෙවිවරුන්ගෙන් බොහෝ ආධාර උපකාර ලැබුණි. කතරගම දෙවියන් උපුල්වන් දෙවියන් වැනි අය සැබෑවටම වෙසෙන බව මම එයින් දැනගතිමි. නමුත් ඔවුන්ට අද සිදුවන විනාශයෙන් රට බේරා ගැනීමට තරම් සුවිශේෂී බලතල නැත. සමනොළ අඩවියේ වසන සමන් දෙවියන්ද මෙවැනිම හිත හොඳ අමනුෂ්‍යයෙකි.

දිනක්‌ සවස්‌ වරුවේ මා වෙසෙන නිවස අසල ඉතා ප්‍රසන්න විලවුන් සුවඳක්‌ දැනෙන්නට විය. ඒ හා සමඟ අමනුෂ්‍යයෙක්‌ ඉතා පැහැදිලි හ`ඩින් මා අමතන්නට විය.

''මම සමනොල අඩවියට අධිපති සමන් දෙවියො''

''එතකොට අද මා හමුවෙන්න ආවෙ?''

''මම අද රටේ බෞද්ධයන්ගේ වැඩ ගැන කලකිරිලයි ඉන්නෙ''

''මට ටිකක්‌ පැහැදිළි කරල දුන්නොත් කදිමයි''

සමන් දෙවිඳු මාගේ ඉල්ලීම අනුව අපූරු ධර්මානුශාසනයක්‌ කළේය.

''පින්වත, අද මේ යන විධියට ඉදිරියටත් වැඩ සිද්ධ වුවහොත් නොබෝ කලකින්ම ශාසන අන්තර්ධානය සිදුවීම වළකනු නොහැකිය. බෞද්ධයන්ගේ අදූරදර්ශී වැඩපිළිවෙල නිසාම බුදුදහම දිනෙන් දින අපකීර්තියට පත්වෙයි. අද මෙරට බෞද්ධයෝ බුදු දහමේ උසස්‌ පරමාර්ථයන්ගෙන් බැහැරව සිටිති. ඒ වෙනුවට ඔවුහු ප්‍රදර්ශනාත්මක හා සන්දර්ශනාත්මක ඇදහිලි ක්‍රම අනුගමනය කරමින් තම ශාස්‌තෘවරයා හෑල්ලුවට ලක්‌ කරති.

බුද්ධ ශාසනයේ අන්තර්ධානය දකිනු කැමති අන්‍යාගමිකයෝ වඩ වඩාත් බුද්ධිමත්ව වඩ වඩාත් සක්‍රියව යහපතෙහි යෙදෙති. ඔවුහු දිළින්දන්ට දන් දෙති. නැති බැරි අයට පිහිට වෙති. විපතෙහිදී පිහිට වෙති. ඔවුන්ගේ ඒ ක්‍රියාවන් දෝෂ දර්ශනයට ලක්‌ නොකළ යුත්තේය. ඔවුහු බෞද්ධයන්ට වඩා ඥානාන්විතව හා අවස්‌ථානුරූපීව ක්‍රියා කරති.

බෞද්ධයන් සිය පරිහානිය වැළැක්‌වීමට කළ යුත්තේ අන්‍යාගමිකයන්ට එරෙහිව දෙස්‌ දෙවොල් තැබීම නොවේ. ඔවුන්ගෙන් උගත හැකි යම් හොඳ දෙයක්‌ වේ නම් ඒ හොඳ දෙය අප විසින ද උගත යුතුය. හුදෙක්‌ම තමන්ගේ මතු ලාභය ඉලක්‌ක කොට ප්‍රදර්ශනාත්මක පින්කම් කිරීමෙන් ඔබට පමණක්‌ම ප්‍රයෝජන ලැබෙයි. බෞද්ධයන් එලෙස ආත්මාර්ථකාමීව හැසිරීම දෝෂදර්ශනයට ලක්‌ විය යුතු ක්‍රියාවකි. අද සිටවත් අන්‍යාගමිකයන්ගෙන් පාඩම් උගෙන නැති බැරි අයට පිහිට වන්න. එවිට දුප්පතුන් බුදු සසුන හැරදැමීම නවතිනු ඇත.''

මම සමන් දෙවියන්ගේ අනුශාසනාව අසා බොහෝ සෙයින් සතුටට පත්වීමි. දුප්පත් බෞද්ධ දරුවන්ට පිහිට වීමට ''සදහම් සරණ'' යන නමින් යුතු වැඩ සටහනක්‌ අරඹන මෙන් සමන් දෙවියෝ මගෙන් ඉල්ලා සිටියහ. මම කල් නොයවාම එවැනි වැඩපිළිවෙළක්‌ ඇරඹීමි. මම ඊළඟ පොහෝ දින මාතර දිස්‌ත්‍රික්‌කයේ පිටිසරබද ප්‍රදෙශයක පන්සලකට ගොස්‌ එහි සිල් සමාදන් වන ළමයින්ට තෑගි බෝග දීම ඇරඹීමි. මුල් දිනයේ එහි සිටියේ ළමයින් සිව් දෙනකු පමණි. ඊළඟ පොහෝ දින ළමයි දහදොළොස්‌ දෙනෙක්‌ සිල් සමාදන් වූහ. වසරක්‌ පමණ ගතවන විට ඒ කුඩා පන්සලේ පොහෝ දිනට සිල් ගන්නා ළමුන් සංඛ්‍යාව සියයක්‌ ඉක්‌මවා වර්ධනය විය.

අන්‍යාගමිකයන්ට නිතර දෙවේලේ දෙස්‌ දෙවොල් තැබීමෙන් බුදු දහමට අබමල් රේණුවකවත් සේවයක්‌ නොවන බව සමන් දෙවියන්ගේ මතයයි. බෞද්ධයන් සවිමත් කරන-දිරිමත් කරන-එක්‌සත් කරන වැඩපිළිවෙළකින් බුදුසසුන යළි නඟාසිටුවිය හැකි බව සමන් දෙවියෝ අපට කියති. අද අටේ පන්සල්වල දේවාල වල එකතු වන මුදල් ආධාර වලින් කොටසක්‌ හෝ දිළිඳු බෞද්ධයන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට යොදවන්නේ නම් නිසරු මාධ්‍ය සංදර්ශන හෝ කා කොටා ගැනීම්වලින් තොරව ධර්ම රාජ්‍යයකට යන පාර එළි පෙහෙළි කරගත හැකිය.

සම්‍යග්දෘෂඨික දෙවිවරු අද අපේ රටේ බෞද්ධයන් යන ගමන ගැන විමසිල්ලෙන් බලා සිටිති. කරුණු තුනකින් එක්‌වන තෙක්‌ බෞද්ධයන් ධර්ම රාජ්‍යයක්‌ කරා යන ගමන වැළැක්‌වෙන බව ඔවුහු අනතුරු අඟවති. පොදු ඉලක්‌කයක්‌ මතට පැමිණීම, පොදු ප්‍රතිපත්තීන් වෙත පැමිණීම හා එකම මාර්ගෝපදේශකයකු අනුගමනය කිරීම යන ත්‍රිවිධ සම්මුතීන්ට පැමිණෙන තෙක්‌ බෞද්ධයන්ගේ නිදහස්‌ අරගලය දවල හීනයක්‌ම වනු ඇත.

මම පුංචි උපමා කථාවකින් ඒ කරුණු පැහැදිළි කර දෙමි.

පෙරකල එක්‌තරා දුරු රටක සර්වභක්‍ෂක නම් සිවලෙක්‌ වාසය කළේය. ඒ සිවලා කිසියම් අහරක්‌ සොරකම් කරනු පිණිස ගම්මානයකට වැදුනේය. ඒ ගමෙහි එක්‌තරා මිනිසකුට අයත් කුකුළු කොටුවක්‌ විය. සිවලා කුකුළු කොටුව දැක ඒ දෙසට සෙමින් සෙමින් පියනැඟුවේය. එවිටම කුකුළු කොටුවෙහි 

රැකවලට සිටි සුනඛයා මහ හ`ඩින් බුරාගෙන ඌ දෙසට දිව ආයේය. 

''අය්යණ්‌ඩිය, කලබල නොවනු මැනවි. මාගෙන් කිසිවකුට කරදරයක්‌ නොවන්නේය. මම අහිංසක සංචාරකයකු වන්නෙමි.''යි සිවලා කීය. සුනඛයා ද එය අසා ''යහපති. කැමැති පරිදි සංචාරය කරන්නැ''යි කියා ආපසු හැරී ගියේය.

දැන් සර්වභක්‍ෂකයාට කුකුළු මස්‌ වල රස බලනතුරු ඉවසිල්ලක්‌ නැත. හේ ඊට කදිම උපායක්‌ පිළියෙළ කොට පසු දින කුකුළු කොටුවෙහි හිමිකරු යන මඟ සිට හ`ඩන්නට විය.

''ස්‌වාමීනි, මා හ`ඩනුයේ මට ඇතිවූ යම් ආපදාවක්‌ නිසා නොවේ. නුඹ ගැන මට බොහෝ දුක හිතෙයි. මේවා කියාත් බැරිය. නොකියාත් බැරිය.'' 

''පින්වත කඳුළු පිසදා ගනු මැනවි. මගෙන් තට කරදරයක්‌ නැත. කිවයුත්තක්‌ වේ නම් නොවළහා කියව මැනවැ''යි මිනිසා කීය.

''ඔබගේ කුකුළු කොටුව පාලනය කරන සුනඛයා සොර තක්‌කඩියෙකි. හේ ඊයේ රාත්‍රියෙහිදී කුකුළෙකු මරා කෑවේය. පෙරත් එයම සිදුවිය. මෙය මා දැනගත්තේද ඒ සුනඛයාගෙන්මය.''

මිනිසා බොහෝ කෝපයට පත්ව සුනඛයා හමුවී පෙර දින සිවලකු නුඹ හමුවට ආවේදැයි ඇසීය. 

''එසේය ස්‌වාමීනි, සිවලා සහ මා අතර මිත්‍රත්වයක්‌ ඇතිවීයෑ''යි සුනඛයා පිළිතුරු දුන්නේය.''

මතු සම්බන්ධයි

නිලන්ත හෙට්ටිගේ

දිවයින



බෞද්ධයන් සිය පරිහානිය වැළැක්‌වීමට කළ යුත්තේ අන්‍යාගමිකයන්ට එරෙහිව දෙස්‌ දෙවොල් තැබීම නොවේ. ඔවුන්ගෙන් උගත හැකි යම් හොඳ දෙයක්‌ වේ නම් ඒ හොඳ දෙය අප විසින ද උගත යුතුය. හුදෙක්‌ම තමන්ගේ මතු ලාභය ඉලක්‌ක කොට ප්‍රදර්ශනාත්මක පින්කම් කිරීමෙන් ඔබට පමණක්‌ම ප්‍රයෝජන ලැබෙයි. බෞද්ධයන් එලෙස ආත්මාර්ථකාමීව හැසිරීම දෝෂදර්ශනයට ලක්‌ විය යුතු ක්‍රියාවකි. අද සිටවත් අන්‍යාගමිකයන්ගෙන් පාඩම් උගෙන නැති බැරි අයට පිහිට වන්න. එවිට දුප්පතුන් බුදු සසුන හැරදැමීම නවතිනු ඇත.