උදාවන ග්‍රහ බලය ඔබේ ලග්නයට සහ රටට බලපාන්නේ මෙහෙමයි

අපේ රටට මොකද වෙන්නේ? මේ ප්‍රශ්නෙ පහුගිය දවස්‌වල ඉදලම නිතරම අපෙන් අහනවා. ඒකට හේතුව අපි කවුරුවත් නොහිතපු විපත්ති ගොඩක්‌ සිද්ධවීම වෙන්න පුළුවන්. සාලාවේ පිපිරුම, අරණායක නාය යැම නිසා සිද්ධ වෙච්ච විපත. ඊළඟට මහා නියගය. ඊට පස්‌සේ රටේ එක පැත්තකට ගං වතුර, නාය යැම් ජීවිත විනාශ වුණා. රටේ උතුරු පැත්තට පානීය ජල හිඟයක්‌ එක්‌ක නියඟයක්‌. ඒ අතරේ මීතොටමුල්ලේ කුණුකන්ද මේවා ජනතා හිත්වල මහා කලකිරීමක්‌ ඇතිකරල වගේ. මොන මොන ප්‍රශ්නවලට හරි ශිෂ්‍යඅරගල. මේ අතරේ අවුරුදු නැකැත් චාරිත්‍ර පටලව ගෙන බොර දියේ මාළු බාන්න හදන අයත් ඉන්නවා. කොහොම වුණත් රටට හොඳ නෑ කියන අදහසයි සමහර අය කියන්නේ. මේක ඇත්තද? ජ්‍යෙතීර්වේදීන්ගෙන් මේ ප්‍රශ්න අහන එක ස්‌වාභාවිකයි.

ග්‍රහයෝ කීප දෙනෙක්‌ම මාරු වුණේ මේ අතරෙයි. පහුගිය ජනවාරි මාසේ සෙනසුරු හිටපු තැනින් මාරු වුණා. ඒ කියන්නේ වෘශ්චිකයෙන් ධනුවට. හැබැයි ජූනි 21 වැනිදා ආයිමත් පස්‌සට ඇවිත් හිටපු රාශියටම ආවා. ග්‍රහයෝ එහෙමත් පස්‌සට එනවද? කියලත් ප්‍රශ්නයක්‌ නැගෙන්න පුළුවන්. ඇත්තටම ග්‍රහයෝ එක පැත්තකටම යනව මිසක්‌ පස්‌සට ඒමක්‌ නෑ. ඒ වුණාට ඒ වගේ පේනවා. හරියට කෝච්චියක ජනේලය ළඟ ඉන්න කෙනෙකුට පා පැදියක්‌ පහුවෙන කොට පේන්නේ පස්‌සට යනව වගේ ඒකට කියන්නේ වක්‍ර වෙනව කියලා. ඉතිං සෙනසුරු ඒ හිටපු රාශියටම ඇවිත් ඔක්‌තෝබර් 27 වැනිදා වෙනකල්ම ඉන්නවා. ඕනම ග්‍රහයෙක්‌ වක්‍ර වෙනකොට බලය වැඩි වෙනව කියලයි කියන්නේ. සෙනසුරු වක්‍ර වුණේ අප්‍රේල් 06 වැනිදා. ඊට පස්‌සේ කරදර ගොඩක්‌ රටට ඇති වුණා.

මේ අතර ජූලි 15 දක්‌වා රවි මිථුන කෝණ මාසය උදාවෙලා. සිකුරු ජූනි 29 වෘෂභ රාශියට ඇවිත් බලවත් වෙනවා. අගෝස්‌තු 18 රාහු කේතු මාරුවක්‌ වෙනවා. ඒ අවුරුදු එක හාමාරකට පස්‌සේ. සැප්තැම්බර් 12 ගුරු මාරු වෙනවා.

ඉතිං කුම්භ ලග්නය හිමි ලංකා කේන්දරේ දහවැන්නට තමයි ශනි ආවේ. දහයෙන් කියන්නේ රටක පාලක පක්‌ෂය ගැන මාරකස්‌ථානයේ තමයි ගුරු ඉන්නේ. මේ තත්ත්වය උඩ මහ ජනයා අතර කැළඹිලි තත්ත්වයක්‌ ඇති වෙන්න පුළුවන්. ඉදිරි මාසයක කාලය තුළ දෙහි, දොඩම්, අන්නාසි වගේ පලතුරු වර්ග බහුල වෙයි. විවාහ උත්සවත් බහුල වෙන බව පේනවා. වර්ෂාව මධ්‍යම තත්ත්වයෙන් පවතීවි. ඒ වුණත් ඔක්‌තෝබර්වලට ඉස්‌සර වෙලා ආයමත් නියඟයක්‌ වගේම සුළං වලින් පීඩාවක්‌ ඇතිවෙන බව පේනවා. ගුරු මාරක ස්‌ථානයේ ගමන් කිරීම පූජ්‍ය පක්‌ෂයට හොඳ බවක්‌ පේන්නේ නෑ. සැප්තැම්බර් 12 පහුවෙනකල්ම ස්‌වාමීන් වහන්සේලා ඇතුළු පූජ්‍ය පක්‌ෂයට අපලයි. සමහර විට පූජ්‍ය පක්‌ෂයේ උතුම් කෙනෙක්‌ අපවත් වෙයි. ස්‌වාමීන් වහන්සේලාට කරදර ඇති කාලයක්‌. ඒ වගේම ධනයටත් ආදායමටත් අධිපති ගුරු අට වැන්නේ ගමන් කරන කාලය රටේ වියදම් ඉහළ යන බව පේනවා. තැන්පත් වැය වේ. ආදායම් අඩු වේ. සැප්තැම්බර් 12 පහු වෙනකල් විශේෂයි. දරු උපත්වලට බාධා වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, වෛද්‍යවරුන්ට, ධනවතුන්ට, ගුරුවරුන්ට, අධිකරණ නායකයින්ට අපලයි.

ධාර්මික බව පහළ යැමත් මේකට හේතුවක්‌. සුඛෝපභෝගී ජීවිත, මේදය අධික ආහාර සීනි භාවිතය වැඩි වෙලා. මේ නිසා කොලෙස්‌ටරෝල්, දියවැඩියාව වගේ අසනීපවලින් පෙලෙන අය ඉහළ යයි. මේ අතරේ බුධ බලවත්ව ගමන් කරන සති කීපයක්‌. දරුවන්ට අකුරු කියවන්න නැකත් උදා වෙනවා. සමහර ලග්නවලට තමයි ඒක ලග්න පලාපල වලින් බලමු.

අගෝස්‌තුවලින් පස්‌සේ රටේ රහස්‌ සතුරු බලවේග ක්‍රියාත්මක වන බවක්‌ පේනවා. අන්තවාදී ආගමික සංවිධාන ගැන විශේෂයෙන් විපරම් කරන්න වෙයි. සතුරු ස්‌ථානයට රාහුගේ පැමිණීම රහස්‌ සතුරු කම් තමයි පෙන්වන්නේ. සැප්තැම්බර් දක්‌වා පවතින බ්‍රහස්‌පතිගේ දුර්වල වීම ඉන්පස්‌සේ ඒ කියන්නේ සැප්තැම්බර් 12 ට පස්‌සේ සුබ අතට හැරෙයි. එතකොට ආගමික අංශ වල ප්‍රබෝධයක්‌ ඇතිවෙයි. කීර්තිමත් සංඝයාවහන්සේලා ගැන දක්‌ෂ ධර්ම කථිකයින් ගැන අහන්න ලැබෙයි. ජනතාවගෙන් ශ්‍රද්ධා, ආගමික නැඹුරුව ඉහළ යයි. රටේ ආදායම් තත්ත්වයෙන් යහපත් වර්ධනයක්‌ ඇති වෙයි.

රටට මොකද වෙන්නේ කියල අහන අය නම් බලාපොරොත්තු වෙන්නේ අනාවැකි. තව තවත් ගංවතුර නැත්නම් සුළි සුළං ඇති වෙයිද? ඔය වගේ දේවල්. ඒ වුණත් ජ්‍යෙතිශයේ ප්‍රයෝජනය ඒක නෙවෙයි. මේවා වළක්‌වා ගන්නේ කොහොමද? කියන එකයි. ස්‌වාභාවික විපත්වලට හේතුව සොබාදහමට විරුද්ධ වැඩ කිරීමයි. සොබාදහමට විරුද්ධව වැඩ කරනවා කියන්නේ ගංඟාවල වැලි ගොඩ දැමීම නැත්නම් ගස්‌ කොළන් කපල දාන එක විතරක්‌ නෙවෙයි. ඒවත් සොබාදහමට විරුද්ධ වීමක්‌ තමයි. වනාන්තර විනාශ කිරීම නියඟයට වගේම මෙතෙක්‌ කාලයක්‌ ලංකාවේ තිබුණු වර්ෂාපතනය විෂම වෙන්නත් හේතුවනවා තමා. හැබැයි ඊට වඩා බලපානවා මිනිසුන්ගේ සිතිවිලි.

මේ නිසා අනාගතයේ සිදුවිය හැකි පුද්ගලික නැත්නම් පොදුවේ රටට වෙන විපත්ති වළක්‌වා ගන්න, නැත්නම් අනාගතය වෙනස්‌ කරන්න මිනිසුන්ට පුළුවනි. ඒකට සිතිවිලිත් ඒ නිසා සිදුවෙන ක්‍රියාත් වෙනස්‌ කරන්න ඕනි. පුද්ගලික දියුණුවට ධනය නැත්නම් සෞභාග්‍යය ලබා ගන්න ඒ පුද්ගලයන්ගේ හිත, සිතිවිලි , බලපානව වගේම රටක සෞභාග්‍යයට රටේ ජනතාවගේ පොදු සිතිවිලිවල බලපෑම ඉහළයි. මෙයින් කියෑවෙන්නේ ජනතාව අතර වෛරය ඊර්ෂ්‍යාව, පළි ගැනීම වගේ දූෂිත සිතිවිලි වැඩිනම් ඒකත් රටට බලපානව කියන එක. පත්තර රූපවාහිනී නාලිකා ගුවන් විදුලියෙන් නිතර අහන්න ලැබෙන්නේ වෛරය ගැන දේශපාලන ක්‌ෂේත්‍රය ගත්තත් පාර්ලිමේන්තුව ඇතුළේ වෙන විවාද ගන්නත් හරයට වඩා වෛරයට බර බව පේනව නේද කියලයි මට නම් හිතෙන්නේ. මේ තත්ත්වය වෙනස්‌ විය යුතුයි. කරුණාව, මෛත්‍රිය අවශ්‍යයි. සහයෝගය, අනුන්ට උපකාර කිරීම, නීති ගරුක බව, ජනතාව අතර පැතිරෙන්න ඕන.

හැම ආගමික සිද්ධස්‌ථානවලම පිරිත් නැත්නම් තමන්ගේ ආගමට අදාල ස්‌තෝත්‍ර, ඇහෙන්න ඕන හැබැයි ආගමික ස්‌ථානවල ශබ්දවාහිනී වලින් පිරිත් ශ්‍රවණය වෙන එක නොවෙයි වෙන්න ඕන. තේරුම දැනගෙන කියන එක වචනවල වගේම සිතිවිලිවල බලය එකතු වෙන්න ඕන. ගෙවල්වලත් හවසට - උදේට ආගමික කටයුතු කරලා බෞද්ධයෝ නම් පිරිත් කියනවා ඇහෙන්න ඕන. පංච ශීල ප්‍රතිපදාව තමයි මේ ලෝකෙ ශිෂ්ටාචාරයට මුල් වුණේ. පංච ශීල ප්‍රතිපදාවේ වටිනාකම කවුරුත් තේරුම් ගන්න ඕන. ජීවිතය ගැන, දේපළ ගැන, පවුල ගැන විශ්වාසය නැතිවෙලා තියෙන්නේ පංචශීල ප්‍රතිපදාව නැති වුණ නිසයි. සත්ත්ව ඝාතනය, බොරුකීම, වැරදි කාම සේවනය, වංචාව වගේම මත්ද්‍රව්‍ය බහුල නම් ඒ සමාජයේ අයගේ සිතිවිලිත් දූෂිතයි. දූෂිත සිතිවිලිවලින් දූෂණය වන පරිසරය ඒ සමාජයට එරෙහි වෙනවා. මේක තමා ඇත්ත. 

ග්‍රහ බලය පෙන්නන්නේ විය හැකි දේ ග්‍රහ බලය චිත්ත බලයට යටයි. ලෝකෙ තියෙන සියලුම බලවේගවලට වඩා චිත්ත බලය - සිතිවිලිවල බලය - ඉහළයි. මේ නිසා ස්‌වභාවික විපත් වළක්‌වා ගන්න සිතිවිලිවලට පුළුවන්. ඒ වගේම ජනතාවගේ සිතිවිලි විෂම නපුරු බවට පත් වුණහොත් රටක්‌ විනාශ කරන්න ඒ සිතිවිලිවලට පුළුවන්. මේක තිත්ත වුණත් ඇත්ත තත්වයයි. හැබැයි බුදු දහමට අනුව නම් රටක්‌ ධාර්මික සෞභාග්‍යමත් වෙන්න නම් ඉහළ ඉඳලා පහළට හැදෙන්න ඕන. රජුගේ සිට ජනතාව දක්‌වා. පහළ සිට ඉහළට හදන්න බෑ.

ඉතිං අපි ටිකක්‌ වැඩිපුර කතා කළා වගෙයි. උදාවන ග්‍රහ මාරු අපට කොහොම වෙයිද? කියලා ඔබත් හිතනවා ඇති. ඒ කියන්නේ උපන් ලග්න අනුව තත්ත්වය කොහොමද කියන එක. ජන්ම පත්‍ර පරීක්‌ෂාව පුද්ගලික දෙයක්‌ වුණත් පොදුවේ ලග්නවලට උදාවන සුබා සුබ දැන් බලමු. මේ සුබාසුබ වුණත් වෙනස්‌ කරගන්න වළක්‌වා ගන්න පුළුවන් බව මතක තියා ගන්න.

මේෂ

මේෂ ලග්න හිමියන්ගේ ඒරාෂ්ටක අපල තත්ත්වයක්‌ නිමා වෙලා තමයි තිබුණේ. ඒ වුණත් සෙනසුරු මාරුව නිසා ආයෙමත් තරමක අපල කාලයක්‌ උදාවෙලා. ඔක්‌තෝබර් වෙනකල් තියෙනවා. ඉතිං ඔබ නිවාස ඉදිකිරීම්, ව්‍යාපාර ආරම්භ කිරීම් වගේ දේවල් කරනවා නම් කල්පනාකාරී වෙන්න. අවශ්‍යම නම් හොඳම සුබ නැකතින් ආරම්භ කරන්න. නැත්නම් කල් දමන්න. ගෘහ ජීවිතය සම්බන්ධව සිත් තැවුල් මව්පියන්ට අපල වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. රැකියා ව්‍යාපාර අංශවල සේවක සේවිකාවන්ගේ ගැටළු ඇතිවෙන්නත් හේතුවෙයි. ඔබ වාතාබාධ සෙම්රෝග වගේ අසනීපවලින් පෙලෙනවා නම් සෞඛ්‍ය රැකගන්න ඕන. විවාහ මංගල කටයුතු නම් මාස හතර කල් දැමීම වඩා හොඳයි. විශේෂයෙන් ඔක්‌තෝබර් දක්‌වා ආගමික ජීවිතයක්‌ ගත කරන්න. ටික වෙලාවක්‌වත් මෛත්‍රී භාවනාව කරන්න. කළු/නිල් පාට ඇඳුම් පැළඳුම් සුබ නෑ. වතුරෙන් පරිස්‌සම් වෙන්න. 

වෘෂභ

වෘෂභ හිමියන්ගේ උදාවෙලා තිබුණු ඒරාෂ්ටක අපලය තරමක්‌ දුරට අඩු වුණා. ශනි ග්‍රහයා ආයෙමත් තුන්වැන්නටයි ආවේ. අගෝස්‌තු 18 සිදුවන රාහු මාරුවෙන් පස්‌සේ නිවාස වැඩවලට හොඳයි. හැබැයි ඔක්‌තොබර් අගදී ආයෙමත් ශනි ඒරාෂ්ටකය උදාවෙනවා. සුබ කටයුතු ඊට ඉස්‌සර වෙලා කරන්න. අලුත් අධ්‍යාපනයක්‌ ගැන හිතනවා නම් වගේම වෘෂභ හිමි දරු දැරියන්ට අකුරු කියවනවා නම් සැප්තැම්බර් 27, ඔක්‌තෝබර් 13 අතරේ විශේෂ සුබ නැකැත් උදාවෙනවා. ව්‍යාපාර ආරම්භයටත් ඒ කාලය හොඳයි. ඒ වගේම ජුලි 26 දක්‌වා ලග්නාධිපති බලවත්ව ගමන් කරන කාලය සුබදායකයි. හිතේ සතුට ඇති වෙයි. දූ දරුවන්ගෙ කටයුතු සාර්ථක වෙයි. කලා කටයුතු කරන අයටත්, ව්‍යාපාරිකයන්ටත් විශේෂයෙන්ම සුබයි. සැලසුම් සකස්‌ කරගෙන ආරම්භ කරන්න. 

මිථුන 

සෙනසුරු මාරුවනම් මිථුන ලග්න හිමියන්ට සුබයි. ලග්නයෙන් හය වැන්නට මාරු වුණ සෙනසුරු නිසා ඔබේ රැකියා ව්‍යාපාරවල සේවක සහයෝගය ලැබේවි. සතුරු කරදර වලින් ජය ගන්නත් පුළුවන් වේවි. ඒ වගේම ජූලි 11 කේන්ද්‍රයේ දෙවැන්නට කුජ ඇවිත් නීච වීම නම් ඒ තරම් සුබ නෑ. පවුලේ වියදම් ඉහළ යන්න පුළුවනි. සමහර විට තැන්පත් මුදලක්‌ පවා වැය වෙන්න ඉඩ තියෙනවා. ආදායම් මාර්ගවලට බාධා ඇතිවෙයි. සහෝදරයෙකුට අපලදායකයි. සැප් 27 - ඔක්‌ 13 කාලය ඇතුළත ඔබේ ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වෙයි. නිවාස, ඉඩකඩම්වල දියුණුවට කරන වැඩ වගේම ලිපි ලේඛණ පිළිබඳ කටයුතුවලට සුබයි. එවැනි වැඩ ආරම්භය ඒ කාල සීමාවට සැලසුම් කරගන්න. විදේශ ගමන්වලට නම් මේ ජූලි මාසෙ සුබයි.

කටක

සෙනසුරු මාරුව වුණේ කටක ලග්න හිමියන්ගේ කේන්දරේ පස්‌වැන්නට ඒ වගේම රවිත් ජූලි 15 දක්‌වා දොලහේ ගමන් කරනවා. ඉතිං දරුවන් නිසා කරදර ඇති වෙන්න ඉඩ තියෙනවා. දරුවකුට අපලයි. අනිත් අතට 15 දක්‌වාම වියදම් වැඩි තත්ත්වයක්‌ තමයි පෙන්නේ. ඒ වුණත් මේ මාසෙ 26 වෙනකල්ම යහළු යෙහෙළියන්ගෙන් ආධාර උපකාර නිසා බොහෝ දේවල් සාර්ථක කරගන්න ලැබෙයි. කාර්ය බහුලව දවස ගෙවයි. ජූලි 11 න් පස්‌සේ උදාවන අගෝස්‌තු 27 දක්‌වා කාල සීමාව ලග්නෙ කුජ නීච වෙනවා. එතකොට හිසේ ඌෂ්ණාධික රෝග වගේම ඉක්‌මන් කේන්තිය නිසා අනවශ්‍ය ගැටලූ අතිවෙන්න ඉඩ තියෙනවා. මේ ගැන සැළකිලිමත් වෙන්න. ඉවසීම ප්‍රගුණ කරගන්න. කටක ශිෂ්‍ය ශිෂ්‍යාවන් අලසකම, වැඩ කල් දැමීම වගේ පුරුදු ජය ගන්න ඕන. ඔක්‌තෝබර් 27 වෙනකල් ඒ ගැන හිතල උත්සාහයෙන් කටයුතු කරන්න.

සිංහ

සෙනසුරු හතරවැන්නේත් රවි එකොළහෙත් ගමන් කරමින් තමයි සිංහ ලග්න හිමියන්ට ජූලි මාසය උදාවෙන්නෙ. ඉතිං ජූලි 15 වෙනකල්ම ලග්නාධිපතීත් බලවත්ව ගමන් කරන නිසා රැකියා ව්‍යාපාර අංශවල තත්ත්වය සතුටුදායකයි. ප්‍රධානීන්ගේ උදව් උපකාර ලැබේවි. රැකියා බලාපොරොත්තු සාර්ථක වෙයි. නායකත්ව ගුණාංග ඉස්‌මතු වෙයි. ව්‍යාපාර සාර්ථක කරගන්න පුළුවන් වෙයි. හැබැයි 15 වැනිදාට පස්‌සේ රවි මාරුව නිසා ගෘහ ජීවිතය ගැන කරදර සහිත මාසයක්‌ උදාවෙන බව පේනවා. විදේශ ගමන්වලටත් බාධා එල්ල වෙන්න පුළුවනි. නිවාස වැඩ වගේ දේවල්වලට ඒ තරම් සුබ නෑ. ගෙදර වැඩිහිටියෙකුට අපලයි. සිංහ හිමි කුඩා දරුවන්ට අකුරු කියවන්න හොඳ නැකත් සැප්තැම්බර් 27 ඉදල ඔක්‌තෝබර් 13 දක්‌වා කාලය තුළ උදාවෙනවා. අනෙක්‌ අයටත් ඒ කාලය සුබ වැඩවලට හොඳ කාලයක්‌.

කන්‍යා 

සෙනසුරු කන්‍යා හිමියන්ගේ තුන්වැන්නට මාරු වීමත් සිකුරු රවි බුධ බලවත් වීමත් සුබපල දායකයි. උත්සාහය ධෛර්යය වැඩිවෙයි. රැකියා ව්‍යාපාරවල සතුටුදායක තත්ත්වයක්‌ ඇති වෙයි. උසස්‌ අයගේ ආධාර උපකාර ලැබෙයි. වාසනාවන්ත බව පේනවා. ඉතිං මේ මාස දෙක තුන ඔබේ සියලු සුබ වැඩ ආරම්භයට යොදා ගන්න. කන්‍යා ලග්නපති උච්ඡ වෙන සැප්තැම්බර් 27 ඉදල සති දෙකක්‌ විතර විශේෂ සුබ කටයුතුවලට සුබදායකයි. රැකියා ලාභ ලැබෙයි. අධ්‍යාපන කටයුතු සාර්ථක ගන්න හැකියාව ලැබෙයි. ආදායම් සතුටුදායක වෙයි. ඔබ ඉඩම් ගෙවල් පිළිබඳ කටයුතු කරනවනම් ඔක්‌තෝබර්වලට ඉස්‌සර වෙලා ආරම්භ කරන්න. සැප්තැම්බර් 12 සිද්ධ වෙන ගුරු මාරුවත් ඔබට සුබදායකයි. විවාහ, ගෘහ නිර්මාණ කටයුතුවලට සුබ කාලයක්‌. 

තුලා

තුලා ලග්න හිමියන්ගේ සෙනසුරු අපලයත් නිමවෙලා තිබුණද ආයෙමත් ඔක්‌තෝබර් 27 දක්‌වා දෙවැන්නේ ගමන් කරන නිසා තරමක වියදම් ඉහළ යැමක්‌ බලාපොරොත්තු වෙන්න පුළුවනි. පවුලේ වියහියදම් ඉහළ යයි. දරුවන්ට කරන්න සිද්ධ වෙන වියදම් ඉහළ යන්න පුළුවනි. මේ අතරේ සැප්තැම්බර් 12 දක්‌වා උත්සාහයේ තරමට ප්‍රතිපල නැති බවත්, තද බල විදියට කාර්යබහුල බවත් පේනවා. සමහර විට අසනීප තත්ත්වයක්‌ ඇති වෙන්නත් පුළුවනි. දියවැඩියාව, කොලෙස්‌ටරෝල් වගේ රෝගවලින් පෙළෙනවා නම් ප්‍රවේශම් වෙන්න ඕන. කොහොම වුණත් අගෝස්‌තු 17 සැප්තැම්බර් 17 අතරේ නම් සුබ තත්ත්වයක්‌ පෙන්වයි. රවි බලවත් වෙන ඒ මාසේ ඇතුළත කරන කියන බොහොම දේ සාර්ථක කරගන්න පුළුවන්. විශේෂ සුබ කටයුතු ඔක්‌තෝබර්වලින් පසුව ආරම්භ කිරීම හොඳයි. 

වෘශ්චික 

වෘශ්චික ලග්න හිමියන්ට ශනි මාරුව වෙලා තිබුණත් ආයෙමත් ලග්නෙට ආවා. ඉතිං මාස 04 ක්‌ ඒරාෂ්ටකය පවතියි. ගෘහ ජීවිතය ගැන කරදර වගේම වාසනාව භාග්‍යය යටපත් වන බවක්‌ පේනවා. උත්සාහය ධෛර්ය ගැන හිතලා වැඩ කරන එක තමා වැදගත් වෙන්නේ. කොහොම වුණත් විවාහ සහකරුට සුබපල දායක කාලයක්‌ ජුලි මාසේ ඇතුළත තියෙනවා. අවිවාහක අයට මංගල යෝජනා ලැබෙන්නත් තියෙනවා. ඒ වුණත් විවාහ මංගල කටයුතුවලට සුබ වෙන්නේ නම් ඔක්‌තෝබර් වලින් පස්‌සෙමයි. වෘශ්චික හිමි දරුවන්ට අකුරු කියවන වයස ලබලා නම් සැප්තැම්බර් 27 ඔක්‌තොබර් 13 අතර හොඳ සුබ නැකැත් යෙදෙනවා. ඒ කාලයට අනික්‌ අයට උසස්‌ අධ්‍යාපන කටයුත්ත ආරම්භය හොඳයි. වාශ්ච්ක ලග්න හිමි අය ආගමික ජීවිතයක්‌ ගත කරන ගමන් මෛත්‍රී භාවනාව කරනවා නම් ගොඩක්‌ සුබ පල ලබා ගන්න පුළුවන්. 

ධනු 

ධනු ලග්න හිමියන්ගේ ලග්නාධිපති ගුරු සැප්තැම්බර් 12 වෙනකල් ගමන් කරන්නේ දහවැන්නේ. ශනි 12ට මාරු වුණ නිසා ටිකක්‌ කරදර තියෙනවා. උත්සාහ කරන තරමට ප්‍රතිඵල නෑ කියලා හිතෙයි. සමහර විට අධික වියදම් යෙදෙන්න පුළුවනි. වාතාබාධ, සෙම් රෝග වගේ අසනීප තියෙනවා නම් ප්‍රවේශම් වෙන්න. අගෝස්‌තු 18 රාහු අටවැන්නට මාරු වීමත් හොඳ මදි. මානසික ආතතිය, හිතේ චංචල බව, එක හිතකින් වැඩක්‌ කරන්න අමාරුකම, ගැස්‌ට්‍රයිටීස්‌ වගේ රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වුණත් ආහාර පාලනය වගේ දේවල්වලින් මේක අඩු කර ගන්න පුළුවනි. කොහොමත් විශේෂ සුබ කටයුතු රවි බලවත් වෙන අගොස්‌තු 16 සැපිතැම්බර් 15 අතර හොඳයි. ඒ කාලයට රැකියා ලාභ, තනතුරු ලාභ ලැබෙන්න පුළුවන්. උසස්‌ අයගේ ආධාර උපකාර ලැබෙයි.

මකර

සෙනසුරු එකොළහට මාරු වෙලා ඔක්‌තෝබර් දක්‌වාම ගමන් කරන එක මකර ලග්න හිමියන්ට සුබපල දායකයි. රැකියා ව්‍යාපාරවල සේවක සේවිකාවන්ගේ සහයෝගය නොඅඩුව ලැබේවි. සේවක ගැටළුවලට විසඳුම් ලැබෙන්නත් හේතුයි. උත්සාහය, ධෛර්යය වැඩිවෙයි. රාහු දශා ගත කරන අයට නම් අගෝස්‌තු 18 වෙනකල් එච්චර හොඳ නෑ. හිතේ කලබල ගතිය, ඉගෙනුමට අවධානය යොදන්න තියෙන අපහසුව නිතර වැඩකට නැති ගමන් බිමන් වගේ අපල යෙදෙන්න පුළුවන්. ගැස්‌ට්‍රයිටීස්‌ වගේ රෝග තත්ත්වයන්ගෙන් ප්‍රවේශම් වීම හරිම වැදගත්. මකර හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අකුරු කියවන්නත් විශේෂ ඉගෙනීමක්‌ ආරම්භ කරන්නත් බලාපොරොත්තු වෙනවා නම් සැප්තැම්බර් 27 ඔක්‌තෝබර් 13 අතර සුබ පල දායකයි. සියලු සුබ කටයුතු ඔක්‌තෝබර් 27 ට පෙර ආරම්භකිරීමට සැලසුම් කර ගන්නවා නම් සාර්ථක වෙයි. 

කුම්භ 

ගුරු අටෙත් ශනි දහයෙන් සිකුරු හතරෙන් ගමන් කරමින් ඉන්න මේ දවස්‌වල මිශ්‍රපල දායක තත්ත්වයක්‌ තමයි පේන්නේ. ගෙදර දොර දියුණුවට කරන කටයුතු නිවාස වැඩ වගේ දේවල්වලට නම් ජූලි අග දක්‌වා සුබදායකයි.පවුලේ අයත් එක්‌ක සතුටින් කල්ගත කරන්න ලැබෙයි. ස්‌වයං රැකියා ගෘහ නිර්මාණ කරන අයට සතුටුදායක ආදායම් මාර්ග ඇතිවෙයි. ඒ වුණත් රැකියා ව්‍යාපාරවල සේවක සේවිකාවන්ගේ ගැටලු ඇති වෙන්න පුළුවනි. ඒ ගැන සැළකිලිමත් වෙන්න. ගුරු දුර්වලව ගමන් කරන නිසා තැන්පත් මුදලක්‌ වියදම් වෙන තරමටම ගෙදර වැය පක්‌ෂය ඉහළ යයි. කාර්යබහුලව තමා ජීවිතේ ගතවෙන්නේ. ඔබ දියවැඩියාව කොලෙස්‌ටරෝල් වගේ රෝගයකින් පෙලෙනවනම් ප්‍රවේශම් වෙන්න. සැප්තැම්බර් 12 ගුරු මාරුව ඔබට සුබපලදායකයි.

මීන

මීන ලග්න හිමි අයගේ සෙනසුරු නවයට මාරු වීම හොඳයි. දැනට ගුරු හත්වැන්නෙන් ගමන් කරන නිසා මිශ්‍රපලදායක කාලයක්‌ ගතවෙන බව පේනවා. විවාහ සහකරුට සුබදායකයි. හවුල් ව්‍යාපාරවලින් සාර්ථක ප්‍රථිපල ලැබෙයි. උත්සාහය ධෛර්යය ඉහළ යයි. උසස්‌ අධ්‍යාපන කටයුතුවලටත් තියන බාධා ඉවත්වේ. අවිවාහක අයට මේ මාසේ මංගල යෝග උදාවෙන්න පුළුවන්. අසල්වාසීන් සහෝදරයින් එක්‌ක තියෙන අමනාප දුරුවෙලා සුහදතාවය වැඩිවෙයි. අගෝස්‌තු 15 අතරේ ණය මුදලක්‌ ගන්න බලාපොරොත්තු වුණා නම් ඒකට පහසුකම් සැළසෙයි. උසස්‌ අයගේ උදව් උපකාර ලැබෙයි. චිත්ත ධෛර්යය වැඩිවෙයි. මීන ලග්න හිමි දරුවන්ට අකුරු කියවන්නද සැප්තැම්බර් 27 - ඔක්‌තෝබර් 13 අතර සුබ නැකත් උදාවෙනවා. සියලු සුබ කටයුතු සැප්තැම්බර් 12 වැනිදා ගුරු මාරුවට ඉස්‌සර වෙලා සාදාගන්න බලන්න.

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්

වැඩි විස්‌තර සදහා - 035 2232084/ 077 1234313



පහුගිය ජනවාරි මාසේ සෙනසුරු හිටපු තැනින් මාරු වුණා. ඒ කියන්නේ වෘශ්චිකයෙන් ධනුවට. හැබැයි ජූනි 21 වැනිදා ආයිමත් පස්‌සට ඇවිත් හිටපු රාශියටම ආවා. ග්‍රහයෝ එහෙමත් පස්‌සට එනවද? කියලත් ප්‍රශ්නයක්‌ නැගෙන්න පුළුවන්. ඇත්තටම ග්‍රහයෝ එක පැත්තකටම යනව මිසක්‌ පස්‌සට ඒමක්‌ නෑ. ඒ වුණාට ඒ වගේ පේනවා. හරියට කෝච්චියක ජනේලය ළඟ ඉන්න කෙනෙකුට පා පැදියක්‌ පහුවෙන කොට පේන්නේ පස්‌සට යනව වගේ ඒකට කියන්නේ වක්‍ර වෙනව කියලා. ඉතිං සෙනසුරු ඒ හිටපු රාශියටම ඇවිත් ඔක්‌තෝබර් 27 වැනිදා වෙනකල්ම ඉන්නවා. ඕනම ග්‍රහයෙක්‌ වක්‍ර වෙනකොට බලය වැඩි වෙනව කියලයි කියන්නේ. සෙනසුරු වක්‍ර වුණේ අප්‍රේල් 06 වැනිදා. ඊට පස්‌සේ කරදර ගොඩක්‌ රටට ඇති වුණා