පන්සිය පනස් ජාතක පොතේ 195 කතාව වළාහස්‌ස හෙවත් වළාහක ජාතකයයි. එය ලංකාව පසුබිම් කර ගත් ජාතක කතාවකි. ජාතක කතාවක වර්තමාන කතාව අතීත කතාව පූර්වාපරසන්ධි ගැළපීම හෙවත් පෙර භවයන් දැක්‌වීම එයි.
වර්තමාන කතාව
දඹදිව සැවැත්පුර ඡේතවනාරාමයේ බුදු හිමි වැඩ වසන කල එක් භික්‌ෂුවක් ස්‌ත්‍රියක් කෙරෙහි ඇලුම් වී බණ භාවනාවන්ගෙන් තොරව උකටලීව කල් ගෙවයි. භික්‌ෂුහු ඒ පුවත බුදු හිමිට දන්වා සිටිති. මේ හිමිනම ස්‌ත්‍රීන්ට ලොල්ව දැන් නොව අතීතයේත් විනාශයට ගිය බව බුදු හිමි අතීත කතාව ගෙන හැර දක්‌වයි
අතීත කතාව
තාම්‍රපර්ණී දූපතේ තම්මැන්නා නුවර යක්‌ෂපුරයක යක්‌ෂණියෝ වාසය කරති. මුහුදේ යන එන නැව් අබලන් වී කැඩී වෙරළට පාවී එන වෙළෙඳුන් දුටු විට මේ යක්‌ෂණීහු ස්‌ත්‍රී වේශ මවාගෙන වෙළෙඳුන් සමඟ කල්ගත කරති. අලුතින් නැව් කැඩී වෙළෙඳුන් යක්‌ෂපුරයට පාවී එන විට මුලින් එහි සිටි වෙළඳුන් අල්ලා සිරකොට ඔවුන් තම ආහාරය පිණිස ගොදුරු කර ගැනීම මෙම යක්‌ෂණීන්ගේ පුරුද්ද විය. තම්මැන්නාවට පාවී එන වෙළෙඳුන් හිඟ වූ විට තාම්‍රපර්ණී දූපතේ නාගදීප සිට කැලණිය දක්‌වා වෙරළට නැව් කැඩී පාවී එන වෙළඳුන් අල්ලා ගොදුරු කර ගැනීම මේ යක්‌ෂණීන්ගේ පුරුද්දක් විය. එක් දිනක නැව් නැඟී වෙළෙන්දොaa පන්සියයක් තම්මැන්නාවට එන විට යක්‌ෂණීන් රූමත් මනුෂ්‍ය ස්‌ත්‍රීන්ගේ වෙස් මවා ගෙන මනුෂ්‍ය වාසයක ලකුණු එහි මවාපෑහ. දුටුවන් වශී කරන රූපය ඇති ප්‍රණීත ආහාරපාන සපයමින් වෙළෙන්දොa මේ ස්‌ත්‍රීන් සමඟ සැප සම්පත් අනුභව කරති. ඔවුහු වෙළෙඳුන්ට රසවත් කැවිලි පෙවිලි සාදා දෙති. තම හිමිවරුන් පිටරටවල වෙළෙඳමේ ගොස් තුන් අවුරුද්දක් ගත වුණත් තවම පෙරළා නොආ බව ස්‌ත්‍රීහු කියති. මේ යක්‌ෂණීන් බව නොදැන වෙළෙන්දො කල්ගත කරති. නායක යක්‌ෂණිය නායක වෙළෙන්දා සමඟ වාසය කරයි. දිනක් නායක වෙළෙන්ද මැදියම් රෑ අවදි වන විට බිරිය නැති බව දකියි. නායක යක්‌ෂණිය රෑ අවදිව පිටට ගොස් මිනීමස් කා ආපසු වෙළෙදා ළඟට එයි. කිසිවක් නොදත්තාක් මෙන් නායක වෙළෙන්දා නිහඬව සිටියි. යක්‌ෂණියගේ ඇඟ ඇල්ලු විට ඇඟ කිළිපොලන සීතලක් දැනෙයි. මේ ස්‌ත්‍රීන් වෙස්‌වලාගත් යක්‌ෂණීන් බව නායක වෙළෙන්දා දැනගනියි. පසුදා උදය වෙළෙඳුන් මුහුණ කට සෝදා ගැනීමට ගිය විට නායක වෙළෙන්දා මේ රහස තම පිරිවරට පහදා දෙයි. මෙම පන්සියයක වෙළෙඳුන් කණ්aඩායම දෙසිය පනහ බැගින් කණ්‌ඩායම් දෙකකට බෙදී ඇත. නායක වෙළෙන්දාගේ කීම ඔහුගේ අනුගාමික දෙසිය පනහ පිළිගනිති. ස්‌ත්‍රී රූපයට කෑම බීමට වශී වී සිටි ඉතිරි දෙසිය පනහ ඒ නායක වෙළෙන්දාගේ කීම ඉවතලති.
මෙකල බෝසතුන් වහන්සේ අජානීය සෛන්ධවයෙකු ලෙස ඉපිද තාම්‍රපර්ණී දූපත හරහා අහසින් යයි එයි. නායක වෙළෙන්දා කී දේ පිළිගත් වෙළඳුන් දෙසිය පනහ අජානීය සෛන්ධවයාගේ පිටේ - වලිගයේ - එල්ලී යක්‌ෂණීන්ගෙන් බේරී තාම්‍රපර්ණී දූපතෙන් පළා යති. ස්‌ත්‍රීන්ට වශී වී එහි රැඳුණුq වෙළඳුන් දෙසියපනහ යක්‌ෂණියන්ට ගොදුරු වෙයි. එදා අජානීය සෛන්ධවයා ලෙස උපත ලබා සිටියේ බෝසතුන්ය.
විවරණය
පන්සියපනස් ජාතක පොතේ 195 කතාව වළාහස්‌ස හෙවත් වළාහක ජාතකයයි. ගුණසේන සමාගම මුද්‍රිත විශාල ජාතක පොතේ 479- 480 පිටුවල මේ කතාව එයි. දඹදිව අජන්තා බිතු සිතුවමක මේ කතාව චිත්‍රයට නඟා ඇත.
ජාතක පොතේ ලංකාව ගැන කියවෙන එකම ජාතක කතාව මෙයයි.
සංස්‌කෘතික "ලංකාවතාර සූත්‍රය" අනුව රජුගේ ආරාධනාවෙන් බුදු හිමි ලංකාවට වැඩි බව කියවෙයි.
තම්මැන්නාව යක්‌ෂ ජනාවාසයක් බව මෙහි කියවෙයි. මහාවංශයේද තම්මැන්නාව යක්‌ෂ ජනාවාසයක් බව කියයි.
මේ කතාව අනුව ආර්යයන්ට පෙර ස්‌ත්‍රී මූලක යක්‌ෂ ගෝත්‍රය ගැන තොරතුරු මේ කතාවෙන් එළිවෙයි. මහාවංශය අනුව ඔවුන්ගේ නායිකාව කුÝවණ්‌නා හෙවත් කුවේණීය එහි අර්ථය අයහපත් වර්ණ ඇති හෙවත් කළු වර්ණ කාන්තාව බවයි.
වෙළඳුන් නිසා ලංකාව ජනාවාස වූ බව වළාහස්‌ස ජාතක කතාවේ ඓතිහාසික හරයයි. මේ අනුව ලංකාවට ආ මුල්ම ආර්ය පිරිස වෙළෙඳුන් බව පෙනෙයි. චීන ජාතික හියුංසාං ලංකාව ජනාවාස වීම ගැන මෙම ජාතක කතාවට සමාන පුවතක් ඉදිරිපත් කරයි. එය මේ ලිපි පෙළේ ඉදිරි ලිපියකදී ඔබට කියවිය හැකිය.
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන
අධ්‍යක්‍ෂ එස්. කේ. ජයවර්ධන
දිවයින
Post a Comment