මියගිය අක්ක නගෝ නිවුන් දැරියන් වී උපදිති - තවත් පුනරුප්පත්ති සාක්ෂියක්

වෙළෙඳ ව්‍යාපාරිකයෙකු වූ ජෝන් සහ ඔහුගේ බිරිය දරුවන් තිදෙනකුගේ මාපියෝ වූහ. කතෝලිකයන් වූ ඔවුන් පදිංචිව සිටියේද දේවස්ථානයට නුදුරුව නිවසකය. ඔවුන්ගේ වැඩිමහල් දියණිය එකොළොස් හැවිරිදි වූ අතර ඇයට නම් දී තිබුණේ ජොහානා යනුවෙනි. දෙවන දියණිය ජැකොලයින් නම් වූ අතර ඇය සය වන වියේ පසු වූවාය. එකම පාසලේ ඉගෙනීම ලැබූ මෙම දියණියන් දෙදෙනාගෙන් ජැකොලයින් තරමක දඟකාර දැරියක වූවාය. වරක් ඇය නිවසේදී බාල්දියක් මත වැටිණි. එම වැටීම නිසා ඇගේ නළල පැලිණි. එය සුවපත් කිරීමට මැහුම් යෙදීමට ද සිදුවිය. තුවාලය සුවපත් වුවද නළලේ තිබූ එම කැළල නොමැකී පැවතිණි. ඇගේ මුහුණ දකින විට එම කැළල දිස්වන්නට විය. 

ජොහානා සහ ජැකොලයින් අතර තිබූ වයස් පරතරය වසර පහකි. සෑම ඉරු දිනකම පල්ලියේ පැවැත්වෙන ආගමික පාසලට යෑමද මෙම දැරියන්ගේ සිරිත විය. නිවසේ සිට දේවස්ථානයට යෑමට ඔවුන් ගමන් කළේ පදික වේදිකාව දිගේය. ඔවුන් සමග තවත් මිතුරු පිරිමි දරුවෙක්ද පන්ති යෑමට එක් වී සිටියේය.   

එදා 1957 මැයි 5 වැනිද‌ාය. සිරිත් පරිදි ඉරිද‌ා පාසල් යෑමට එම දරු තිදෙනා එක්ව මහා මාර්ගයේ පදික වේදිකාවේ ගමන් කරමින් සිටියහ. හදිසියේම වේගයෙන් පැමිණි මෝටර් රථයක් වේදිකාවට කඩා වැදුණි. දරුවන් තිදෙනාම යටකරමින් එම රථය ධාවනය වූයේ දුටුවන් මවිතයට පත් කරවමිනි. ජොහානා සහ ජැකොලයින් එම ස්ථානයේදීම මරුමුවට පත් වූ අතර ඔවුන් සමග ගමන් කළ පිරිමි දරුවාට දරුණු තුවාල සිදුවිය. රෝහල් ගත කිරීමත් සමඟ ඔහුද මරණයට පත්විය.

මෝටර් රථ රියදුරකුගේ අපරික්ෂාකාරී බව නිසා දරුවන් තිදෙනෙක් බිලිගත් මෙම රිය අනතුර එද‌ා මුළු ලන්ඩනයම කම්පාවට පත් කළහ. තම දියණියන් දෙදෙනාට සිදු වූ අවාසනාවන්ත ඉරණම පිළිබඳව මාපියෝ බලවත් කම්පාවට පත්ව සිටියහ. රිය අනතුර සිදු වූ අවස්ථාවේ එක් දැරියකගේ මුහුණ ලෙයින් තෙත්වී තිබිණි. එය සිහිපත් වන මොහොතක් පාසා මාපියෝ දැඩි ලෙස ශෝකවන්තව වූහ. එද‌ා එම මෝටර් ථය පදවනු ලැබ තිබුණේ කාන්තාවක විසිනි. එම කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්විය. ඇය පිළිබඳ සිදු කළ පොලිස් පරීක්ෂණවලදී හෙළිවූයේ ඇය මානසික දුබලතාවකින් පෙළෙන කාන්තාවක බවය. තම දියණියන් පිළිබඳ නිතර සිහිපත් කරමින් දුක් කඳුළු වගුරුවමින් මාපියෝ දැඩි ලෙස දුකට පත්ව ජීවත් වූහ. දියණියන් දෙදෙනා භාවිත කළ ඔවුන්ගේ භාණ්ඩ සුරක්ෂිතව තබා ගැනීමට ද මාපියෝ උනන්දු වූහ. පියා විසින් ඒ සියල්ල පෙට්ටියක බහා ආරක්ෂා කරනු ලැබුවේ ඔවුන්ට කරනු ලබන ගෞරවයක් ලෙසිනි. ඔවුන්ට අවසන් වරට නත්තල් දිනයේදී ගෙනැවිත් තෑගි දුන් බෝනික්කන් දෙදෙනෙක්ද ඒ අතර විය.   

කාලය ගෙවී ගියේය. දියණියන් දෙදෙනා වියෝවී වසර එකහමාරක් ගතවිය. ජෝන්ගේ බිරිය යළිත් වරක් දරු පිළිසිඳ ගැනීමකට පත්ව සිටියාය. මාස නමයක කාලය සම්පූර්ණ වී 1958 ඔක්තෝබර් 4 වැනිදා ඇය දරු ප‍්‍රසූතිය සිදු කළාය. ඇය නිවුන් දැරියන් දෙදෙනකු බිහිකර තිබිණි. කිරිකැටි බිලිඳු දරුවන් දුටු සැනින් මවට දක්නට ලැබුණු විශේෂත්වයක් විය. එනම් මිය ගිය තම වැඩිමහල් දියණියගේ මුහුණේ තිබූ කැළලය. වැටීමක් නිසා ඇයට සිදු වූ එම තුවාලය සුවපත් වූ නමුත් ඇගේ ජීවිත කාලය තුළම එම කැළල නොමැකී තිබූ අයුරු ඇයට සිහිපත් වූවාය. සිය සැමියාට ද ඒ බැව් පැවසූ මව බිලිඳු දරුවාගේ මුහුණේ දක්නට තිබූ ලපය පරීක්ෂා කර බැලීය. මියගිය දියණියගේ මුහුණේ සිදු වූ තුවාලයට සමානව එම දැරියගේ උපන් ලපය ඇති බැව් දක්නට ලැබිණි. තම දියණිය යළි ඉපදීමක් සිදුවේ යයි ඇය නොසිතුවාය. පියාද ඒ පිළිබඳව එතරම් අවධානයක් යොමු නොකළේය.   

පුනර්භව සිදුවීම් පිළිබඳව ඔවුන්ට ඒ වන විට අවබෝධයක් ද නොවීය. නිරෝගී දැරියන් දෙදෙනකු වූ ඔවුන් දෙදෙනාට ජෙනිෆර් සහ ගිලියන් යනුවෙන් නම් තැබිණි. නිවුන් දරුවන් වුවද ඔවුන්ගේ සිරුරුවල ප‍්‍රමාණ තරමක් වෙනස් බවක්ද දක්නට ලැබිණි. ඔවුන්ගේ සිරුරු වැඩීමත් සමග එක් දැරියකගේ සිරුර සිහින් බවක් දැක් වූ අතර අනෙක් දැරිය බරින් වැඩි බවක් පෙන්වීය.   

බහතෝරන වියට පත්වීමෙන් පසුව ඔවුනොවුන් තනිව සිටියදී කතාබහක යෙදෙන ආකාරයද මාපියන්ට දක්නට ලැබිණි. එයට සවන් දුන් මාපියන්ට අසන්නට ලැබුණේ ඔවුන්ට සිදු වූ අනතුරක් හෙළිකරන බවකි. එහෙත් පුනර්භවයක් ගැන ඔවුන් ප‍්‍රකාශ කරනු ඇතැයි දෙමාපියෝ නිසි විටෙකත් නොසිතූහ. වසර තුනක් ගතවිණි. දියණියන් දෙදෙනාට හොඳින් කතා කිරීමට හැකියාව ලැබිණි. ඔවුනොවුන් එක් වී නිතර කතා බහ කරනු මාපියන්ට දක්නට ලැබිණි. ඔවුන් විසින් එසේ එක්වී කතා කරනු ලැබුවේ පෙර භවයේදී සිදු වූ රිය අනතුර පිළිබඳවය. මෝටර් රථයට යටවීමේදී සිදු වූ තුවාල පිළිබඳව ඔවුන් දෙදෙනා අනාවරණය කලහ. එක් අයකුගේ මුහුණ දැඩි ලෙස තුවාල වීම නිසා මුහුණ ලෙයින් තෙත් වූ බවක්ද කියවිණි.   

තම දියණියන් දෙදෙනා මියගිය දියණියන්ගේ ජීවිත තොරතුරු ​ෙහළි කරන බැව් මේ වන විට මාපියන්ට අවබෝධ විය. එහෙත් එය පිළිගත හැකි සාක්කි තවදුරටත් විමර්ශනය කිරීමට පියාට අවශ්‍ය විය. එක් වරම පියාගේ මතකයට නැඟුණේ ඔවුන් දෙදෙනා පෙර භවයේදී ආශාවෙන් භාවිත කළ සෙල්ලම් භාණ්ඩ වෙතය. ඒවා සුරක්ෂිතව තබා තිබූ පෙට්ටිය නිවුන් දියණියන් දෙදෙනා වෙතට ගෙනා පියා එය ඔවුන් ඉදිරියේ විවෘත කළේය. ඇසිපිය නොහෙළා ඒ දෙස බලා සිටි දියණියෝ වහා එහි තිබූ භාණ්ඩ වෙන වෙනම ඔවුන්ට අයත්ව තිබූ අයුරින් තෝරා ගනු ලැබුවේ පියා පුදුමයට පත් කරවමිනි. දියණියන් විසින් එසේ තෝරා ගැනුණු භාණ්ඩ අතර මියගිය දියණියන් දෙදෙනාට නත්තල් දිනකදී තෑගි දුන් බෝනික්කන් දෙදෙනෙක්ද විය. ඉන් එක් බෝනික්කකු ඔවුන් විසින් නම් කර තිබුණේ ‘‘මේරි’’ යනුවෙනි. නිවුන් දැරියන් දෙදෙනා විසින් එද‌ා එය දුටු සැණින් හඳුනා ගනු ලැබුවේ,   

‘‘මේ ඉන්නේ අපේ මේරි’’ යයි කියමිනි. ඒ වන විට මේරි යන නමක් ගැන හෝ එම බෝනික්කන් පිළිබඳව හෝ නිවෙසේදී කිසි දිනෙක කතා කිරීමක් සිදු වී නොතිබිණි. පෙට්ටියේ තිබූ අනෙකුත් භාණ්ඩවලට වඩා එම බෝනික්කන් ඉතා පැහැදිලිව හඳුනා ගැනීමත් එම නම නිවැරදිව ප‍්‍රකාශ කිරීමත් නිවුන් දැරියන්ගේ පුනර්භවයට ඉතා ප‍්‍රබල සාක්කියක් විය. තම දියණියන් දෙදෙනා නිවුන් දැරියන් ලෙස උපත ලබා ඇති බැව් මාපියන්ට පැහැදිලි විය. එහෙත් ඒ පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීමට පියාට අවශ්‍ය විය. ඔහු ඒ පිළිබඳව අවධානය යොමුකර සිටියේය.   

තවත් දිනක ඔවුන් පෙරභව මතක සටහන් හෙළි කරමින් ජැකොලයින් සහ ජොහානා ජීවත්ව සිටියදී ආහාර ගැනීමට ගිය ස්ථානයක් පිළිබඳව අනාවරණය කළහ. ඒ වන විට ආහාර ගැනීම සඳහා එම ස්ථානයට මාපියන් සමග ගොස් නොසිටි දැරියන් එම ස්ථානය පිළිබඳව හෙළි කිරීම මව්පියන්ගේ පුදුමයට හේතුවිය. ආහාර ගෙන ඒම සඳහා එම ස්ථානයට යන ලෙස නිවුන් දරුවන් දෙදෙනාම මාපියන්ගෙන් ඉල්ලා සිටියහ.   

තවත් දිනෙක මහ මග ගමන් කරමින් සිටියදී ඔවුන් පෙර භවයේදී ස්නානය කිරීමට ගිය පිහිනුම් තටාකයක්ද හඳුනාගැනීම තවත් විශේෂත්වයක් විය. ප‍්‍රථම වතාවට එම පිහිනුම් තටාකය දුටු නිවුන් දැරියෝ එම ස්ථානයේදී ඔවුන් ස්නානය කළ බැව් නිවැරදිව ප‍්‍රකාශ කළහ. ඒ පිළිබඳව කිසිවකුගෙන් ශ‍්‍රවණය වීමක් හෝ නොමැතිව එම පිහිනුම් තටාකය හඳුනා ගැනීම ඔවුන්ගේ පුනර්භව සාධකයට තවත් සාක්කියක් ලෙස පිළිගැනීමට සිදුවිය.   

මේ අයුරින් පෙර භවයේ හඳුනා ගැනීම් අතර තවත් අතිශය පුදුම උපදවන සිදුවීමක්ද වරෙක සිදුවිය. මියගිය දියණියක් ජීවත්ව සිටියදී මව විසින් ව්‍යාපාරයක් ලෙස කිරි බෙදාහැරීමක් සිදු කරනු ලැබීය. ඒ සඳහා ඇය විශේෂ ඇඳුමක්ද පිළියෙල කරගෙන තිබිණි. එහෙත් දියණියන්ගේ වියෝවෙන් පසු ඇය එම ව්‍යාපාරය මුළුමනින්ම නතර කිරීමෙන් පසු ඒ සඳහා ඇය අඳින ලද විශේෂ ඇඳුමද ඉවත්කර භාවිතයෙන් ඉවත්කර දැමුවාය.   

දිනක් නිවසේ වෙනත් භාණ්ඩ අතර තිබූ ඇගේ එම ඇඳුම නිවුන් දැරියන්ට දක්නට ලැබිණි. එය දුටු විගස හඳුනාගත් දියණියෝ තම මව විසින් අඳින ලද ඇඳුම බැව් ප‍්‍රකාශ කළහ. එම ඇඳුම මව ඇඳසිටිය බැව්ද ඔවුහු දෙදෙනාම පැවසූහ. මෙම දැරියන්ගේ හැසිරීම් තුළින් ද තවත් විශේෂත්වයක් දක්නට ලැබිණි. එයද සිදුවූයේ ජෙනිපර් දියණියගේ නළලේ තිබූ ලපය ගිලියන් විසින් පෙන්වා දෙනු ලැබීමය. එම උපන් ලපය පෙන්වූ ගිලියන්.   

මේ තියෙන්නෙ ඔයා බාල්දිය උඩ වැටුණු වෙලාවෙ තුවාල වූ තැන’’ යයි එයට ඇඟිල්ල තබා ප‍්‍රකාශ කළාය. එයද දෙමාපියන් මවිතයට පත් කළේ එම සිදුවීම දැන සිටියේ මියගිය දියණියන් දෙදෙනා පමණක් වීම නිසාය.  

මොවුන්ගේ පුනර්භව සිදුවීම අනාවරණ වීමත් සමඟ ලන්ඩනයේ ටුඩේ පුවත්පත මෙම නිවුන් දරුවන් දෙදෙනා පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ලබා දුන්නේය. 1963 මාර්තු 9 වැනිද‌ා ටුඩේ පුවත්පත ඡායාරූප සමග සවිස්තර වාර්තාවක් පළකර තිබිණි. අනතුරුව වර්ජිනියා විශ්වවිද්‍යාලය මගින් මහාචාර්ය ස්ටීවන්සන්ද මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදු කළේය. එංගලන්තයේ රූපවාහිනී වැඩ සටහනක් මගින්ද මෙම දැරියන්ගේ පුනර්භව සාධකය විකාශනය කළේය.   

මහාචාර්ය ස්ටීවන්සන් විසින් සිදු කෙරුණු පර්​ෙ‌ය්ෂණය ඔහු විසින් ලියන ලද (Contribution to The Etiology of Birthmarks And Birth Defect) නම් පර්යේෂණ වාර්තාවකටද ඇතුළත් කර තිබේ. මෙම දැරියන් අනාවරණ කළ කරුණු එකොළහක් සනාථ වූ අන්දමද එහි දක්වා ඇත. එම කරුණුවලින් වැඩි කොටසක් හඳුනාගැනීම් ලෙස (Recognition Made by Gillian And Jennifer) ලෙස සඳහන් වේ.   

මෙම නිවුන් දැරියන් දෙදෙනා පිළිබඳව සිදුකළ මනෝ විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණයේදී අවධානය යොමුවූ තවත් අතිශය වැදගත් අංශයක්ද තිබිණි. දරුවන් තුළින් උපතින් ඇතිවන දේහලක්ෂණ, හැසිරීම් රටා සහ උපතින් දක්නට ලැබෙන සිරුරේ පිහිටීම් මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්​ෙය්ෂණවලදී දැඩි අවධානයක් යොමු කරනු ලැබේ. (Physiques, Postures, Gestures, And Other Involuntary Moments Related to Previous Lives) යනුවෙන් හැඳින්වෙන උපතින් දැක්වූ ක්‍රියාකාරකමක් එක් නිවුන් දැරියකගෙන් සනාථ විය.   

මියගිය ජැකොලයින් දැරිය කුඩා කල සිට ලිවීමේදී පෑන හැසිර වූ ආකාරය විශේෂත්වයක් ගෙන තිබිණි. ඇය විසින් පෑන අල්ලනු ලැබුවේ මිට මොළවන ආකාරයෙනි. එය නිවැරදි කිරීමට දෙමාපියන් මෙන්ම පාසලේ ගුරුවරු දැඩි මහන්සියක් ගත්හ. එහෙත් ඇගේ ඒ ක්‍රියාව නොනැවතී පැවතිණි. එම දැරියගේ ජීවිත තොරතුරු අනාවරණය කළ නිවුන් දැරිය කුඩා කල සිට පෑන ඇල්ලුවේ පෙරභවයේදී සිදු කළ ආකාරයටය. එයද ප්‍රබලතම සාක්කියක් බවට පත්විය. මෙම පුනර්භව සාධකය පිළිබඳව (Today) පුවත්පත පළකළ වාර්තාව මගින්ද එම සිදුවීම සුවිශේෂී සිදුවීමක් ලෙස පෙන්වා දෙනු ලැබීය.   

පුනර්භව පර්​ෙ‌ය්ෂණවලදී අනාවරණය වූ ඇතැම් සාධක අනුව මිතුරන් මියගොස් නිවුන් දරුවන් ලෙස උපත ලැබූ අවස්ථාද සැමියන් සහ බිරියන් මියගොස් නිවුන් දරුවන් ලෙස උපත ලැබූ සිදුවීම්ද දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේද එවැනි සිදුවීම් කීපයක් හෙළිවිය. එවැනි පුනර්භව සාධක වැඩි කොටසකම පෙර භවයේ අනතුරුවලින් සිදුවූ තුවාල කැළල් උපන් දරුවන්ගේ සිරුරුවල උපන් ලප ලෙස දක්නට ලැබීම සුවිශේෂී සිදුවීම් ලෙස පිළිගනු ලැබේ. 

ලංකාදීප ඇසුරිණි




පුනර්භව පර්​ෙ‌ය්ෂණවලදී අනාවරණය වූ ඇතැම් සාධක අනුව මිතුරන් මියගොස් නිවුන් දරුවන් ලෙස උපත ලැබූ අවස්ථාද සැමියන් සහ බිරියන් මියගොස් නිවුන් දරුවන් ලෙස උපත ලැබූ සිදුවීම්ද දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේද එවැනි සිදුවීම් කීපයක් හෙළිවිය. එවැනි පුනර්භව සාධක වැඩි කොටසකම පෙර භවයේ අනතුරුවලින් සිදුවූ තුවාල කැළල් උපන් දරුවන්ගේ සිරුරුවල උපන් ලප ලෙස දක්නට ලැබීම සුවිශේෂී සිදුවීම් ලෙස පිළිගනු ලැබේ.