ඒ වර්ෂ 1994 අවසන් භාගයයි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ හදිසි අභාවයෙන් පසු තුන්වැනි විධායක ජනාධිපතිවරණය සඳහා එජාපයෙන් ඉදිරිපත් වූයේ ගාමිණී දිසානායක මහතා ය.
ජනාධිපතිවරණය සඳහා දින නියම විය. ඒ සමඟම එජාපයේ ආසන සංවිධායකවරු සහ පාක්ෂිකයෝ රට පුරාම ප්රචාරක රැලි සංවිධානය කළහ. එහෙත් රට තුළ පැවතුණේ සාමකාමී වාතාවරණයක් නොවේ. ඒ වන විටත් කුරිරු කොටි ත්රස්තවාදීන් මෙරට ප්‍රබලම දේශපාලන නායකයන් රැසක් ඝාතනය කර තිබුණි. එලෙස බිහිසුණු තත්ත්වයක් රට තුළ තිබියදී පවා විපක්ෂ නායක ගාමිණී දිසානායක මහතා එම ප්රචාරක රැස්වීම් සියල්ලටම පාහේ සහභාගි විය.
එම වකවානුවේ එජාපයේ උතුරු කොළඹ ආසන සංවිධායක ලෙස කටයුතු කළේ පළාත් සභා අමාත්‍ය ක්‍රිස්ටි පෙරේරා මහතා ය. ඔහුද ජනාධිපතිවරණය වෙනුවෙන් ප්රචාරක රැස්වීමක් සංවිධානය කළේය. එය පැවැත්වීමට නියමිතව තිබුණේ ඔක්තෝබර් 23 වැනිදා කොළඹ තොටළඟදීය.
ශරත් බන්ධුසේන කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු එකල පැවැති එක්සත් සමාජවාදී ශිෂ්‍ය පෙරමුණේද ක්‍රියාකාරී සාමාජිකයෙකි. එයින් දේශපාලනය පිළිබඳ පන්නරය ලැබූ ඔහු අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ කාලයේ සිටම එජාපයේ ප්‍රබල සාමාජිකයකු විය.
වෘත්තියෙන් ශරත් බන්ධුසේන ග්‍රාමසේවක වරයෙකි. එයට අමතරව ඔහු නිවේදකයකු ලෙසද කටයුතු කළේය. එකල ජාතික රූපවාහිනී සේවයේ අනුමත නිවේදකයකු ලෙසද ඔහු කටයුතු කළේය. කොළඹ ප්‍රදේශයේ පැවැති බොහෝ එජාප රැස්වීම්වල නිවේදන කටයුතු සිදු කළේ ඔහු විසින්ය.
පළාත් සභා අමාත්‍ය ක්‍රිස්ටි පෙරේරා මහතා විසින් සංවිධානය කරනු ලැබූ තොටළඟ රැස්වීමේද නිවේදන කටයුතු සිදු කිරීමට ශරත් බන්ධුසේනට ආරාධනා ලැබී තිබුණි. රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ 1994 ඔක්තෝබර් 23 වැනිදාය. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට නියමිතව හිටියේ ජනාධිපති අපේක්ෂක එජාපයේ විපක්ෂ නායක ගාමිණී දිසානායක මහතා ය.
නියමිත දිනය උදාවිය. ශරත් බන්ධුසේන රැස්වීම ආරම්භ වීමට පැය කිහිපයකට පෙර එම ස්ථානයට ගියේය. ඒ නිවේදන කටයුතුවලට අමතරව එම රැස්වීමේ සංවිධාන කටයුතුවලටද සහභාගි වීමට ඔහුට ඇරැයුම් ලැබ තිබුණු නිසාය. ගාමිණී දිසානායක මහතාට අමතරව රනිල් වික්‍රමසිංහ, ජී. එම්. ප්‍රේමචන්ද්‍ර සහ වීරසිංහ මල්ලිමාරච්චි වැනි එජාපයේ ප්‍රබලයෝ රැසක් එම රැස්වීමට සහභාගි වීමට නියමිතව තිබිණි.
චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් පසු සවස හතරට පමණ රැස්වීම ආරම්භ විය. ඒ වන විටත් රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාපයේ ප්‍රබලයෝ රැසක් එම වේදිකාවේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටියහ. සහභාගි වූ මැති ඇමැතිවරුන් තමන්ගේ වාරය පැමිණි පසු පැමිණ සිටි ජනතාව ඇමතූහ. ඒ අතර සුපුරුදු පරිදි ශරත් බන්ධුසේන නිවේදන කටයුතු සිදු කරමින් රැස්වීම මෙහෙයවූවේය.
ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක මහතා රැස්වීම පැවැත්වෙන එම ස්ථානයට පැමිණීමට නියමිතව තිබුණේ රාත්‍රී අටට පමණය. එහෙත් කාර්යබහුලත්වය නිසා ඔහු එම ස්ථානයට පැමිණියේ රාත්‍රී දහයට පමණය. ඒ වන විටත් විශාල ජනකායක් එම ස්ථානයේ රැඳී සිටියහ.
ගාමිණී දිසානායක මහතා වේදිකාවට පැමිණීමත් සමඟ ජනතාව ඔල්වරසන් හඬ දෙමින් ඉතාමත් ලෙන්ගතු ආකාරයකින් ඔහුව පිළිගත්හ. ඒ සමඟම වැඩි වේලා නොගෙන සුපුරුදු පරිදි ඔහුටම ආවේනික වූ කතා ශෛලියෙන් ජනතාව ඇමතූහ. එදින ඔහුට ඉතා කාර්යබහුල දිනයක් විය. උදෑසන සිටම ඔහු රැස්වීම් සහ ප්රචාරක රැලි කිහිපයකටම සහභාගි වී තිබුණි. එහෙත් ඒ මහන්සි නොතකා ඔහු ජනතාව ඇමතුවේය.
එම මොහොතේ නිවේදක ශරත් බන්ධුසේන වේදිකාවේ පසෙකට වී ගාමිණී දිසානායක මහතාගේ කතාවට සවන් දෙමින් සිටියේය. ඒ මහතාගේ කතාව අවසන් වූ පසු ජාතික ගීතය ගායනා කරමින් උත්සවයේ වැඩ කටයුතු අවසන් කිරීමටද සැලසුම් කර තිබුණි.
වේලාව රාත්‍රී දොළහ පසුවී තිබුණි. ගාමිණී දිසානායක මහතා සිය කතාව අවසන් කරමින් දෙඅත් ඔසවා පැමිණ සිටි ජනතාවට සුබ උදෑසනක් කියා පැවසුවා පමණි. එක්වරම ප්‍රදේශය දෙවනත් වන සේ විශාල ශබ්දයක් ඇසුණි. ඒ සමඟම සමහරු කපා හෙලූ කෙසෙල් කඳන් මෙන් බිම ඇද වැටුණහ. තවත් සමහරු විලාප තබමින් හිස් ලූ ලූ අත දිව්වෝය.
ඒ ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක මහතාට එල්ල වූ බෝම්බ ප්‍රහාරයයි. එය එල්ල කර තිබුණේ මරාගෙන මැරෙන කොටි කාන්තාවක් විසින්ය. එම බෝම්බ ප්‍රහාරයෙන් ගාමිණී දිසානායක, වීරසිංහ මල්ලිමාරච්චි, ජී. එම්. ප්‍රේමචන්ද්‍ර සහ ක්‍රිස්ටි පෙරේරා ආදී එජාපයේ ප්‍රබලයෝ රැසක් ජීවිතක්ෂයට පත්වූහ. එයට අමතරව රැස්වීමට සහභාගි වී සිටි සිවිල් ජනතාව හැටකට අධික ප්‍රමාණයක් මරණයට පත්වූහ.
බෝම්බය පුපුරණ අවස්ථාවේ ශරත් බන්ධුසේන සිට ඇත්තේ ගාමිණී දිසානායක මහතා ආසන්නයේය. ඔහුට මතක විශාල ශබ්දයක් සමඟින් තමන්ව උඩින් ඈතට වීසි වී යන අයුරු පමණි. තත්ත්පර කිහිපයක් ඇතුළත ඔහුට පියවි සිහිය පැමිණ තිබේ. එවිට ඔහුගේ ශරීරයේ විවිධ ස්ථානවලින් ලේ ගලමින් තිබූ අතර අධික වේදනාවකින්ද පෙළෙමින් සිට ඇත.
එම ස්ථානයෙන් නැගිටීමට උත්සාහ කළත් ඔහුට එය කර ගැනීමට නොහැකි විය. ඔහුගේ දෙපස නිල ඇඳුම් ඇඳගත් දෙදෙනකුගේ මළසිරුරය. සිහියත් අසිහියත් අතර දෙලොවක සිරවී සිටි ඔහුට මිනිසුන් විලාප තබන අයුරු යාන්තමට ඇසී තිබුණි.
මාරාන්තික තුවාල ලබා වේදනාව ඉවසා ගැනීමට නොහැකිව සිටි ශරත් බන්ධුසේන ඉතා අමාරුවෙන් නැඟීසිට පියවර කිහිපයක් ඉදිරියට පා තැබුවේය. ඒ ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ය. ඇසකටද තුවාල සිදුවී තිබූ නිසා අවට පරිසරය පවා ඔහුට හරියාකාරව නොපෙනුණි. තවත් පියවර කිහිපයක් ඉදිරියට තැබූ ඔහු යළි බිම පතිත විය. ඒ සමඟම එම ස්ථානයට පැමිණි ඔහුගේ යහළුවන් දෙදෙනෙක් ශරත් බන්ධුසේනව ඔසවාගෙන ගියහ. ඒ රෝහල්ගත කිරීම සඳහාය.
ජීප් රථයක දමා තමාව රැගෙන යන අයුරු යන්තම් ඔහුට මතකය. ඒ සමඟම ඔහුගේ සිහිය සම්පූර්ණයෙන්ම නැතිවී තිබුණි. ඉන් පසු ශරත් බන්ධුසේනට දැනී ඇත්තේ තමා වෙනම ලෝකයක සිටින බවයි. ඒ බිහිසුණු අත්දැකීම ඔහු විස්තර කරන්නේ මෙලෙසින්ය.
"එක පාරටම තේරුණා මම ඉන්නේ ලා නිල් පාටින් පිරුණ ඉතාමත් ලස්සන වෙනම ලෝකයක කියලා. මම සිටියේ ඉතාමත් සියුම් මල්වලින් පිරුණ යහනාවක් මත. එහි සියුම් ගතිය මාගේ ශරීරයට දැනෙන්න ගත්තා. වටපිටාවේ කවුරුත් පේන්න සිටියේ නැහැ. ඒ වුණාට වටපිටාවේ තිබුණ අසිරිය සුන්දරත්වය මම වින්දා..."
"මාගේ මනසට ජීවිතයේ කවදාවත් දැනිලා නැති ලොකු සැහැල්ලුවක් දැනුණා. මම මගේ ශරීරය දෙස බලන්න උත්සහ කළා. ඒත් මට පෙණුනේ නැහැ. හැබැයි මට සියලුම දේවල් හොඳින් දැනුණා. ශරීරයේ කොටස් නොපෙණුනත් මට දැනුණේ ඒවා සියල්ල තියෙනවා කියල. එහෙම ඉතා සැහැල්ලුවෙන් සහ හුඟාක් ආසාවෙන් තමයි මම හිටියේ."
"ඒ සමඟම එක්වරම මට ඇහුණා කාන්තාවෝ රැසක් විලාප තියනවා. ඒ මාව බේරා ගනියෝ... මගේ අත රිදෙනවා, කකුල රිදෙනවා ආදිය කියමින්. මම ඒවට ඇහුම්කන් දීගෙන සිටින විට එක්වරම මට දැනුණා බෝම්බයකට අහුවෙලා නේද මම ඉන්නේ කියලා. ඒ සමඟම මම ජීප් රථයේ සිටි අයුක් ඛාන් කියන ආරක්ෂක නිලධාරියාත් කකුල අත ගාලා තියෙනවා. එතකොට තමයි යළි මට සිහිය ඇවිල්ලා තියෙන්නේ..."
"එතැන් සිට රෝහල් ගතකරන තෙක් සිදුවුණ සියල්ල මට මතකයි. ඒත් තවමත් මට හොඳට මතකයි විනාඩි ගණනක් වෙනම සුන්දර ස්ථානයක මම හිටියා කියලා. ඒ වාගේ තැනක් මේ ලෝකයේ කිසිම තැනක තියෙනවා දැකලා නැහැ තවමත්."
සරත් බන්ධුසේන පවසන අයුරින් බෝම්බය වැදී මරණාසන්න තුවාල ලබා රෝහලට ගෙන යන අතරතුරදී විනාඩි කිහිපයක් ඔහු තමාගේ සිරුරෙන් මිදී වෙනම භවයක ජීවත් වී ඇත. ඒ අනුව ඔහු එලොව ගිහින් මෙලොව ආපු පුද්ගලයකු ලෙස හැඳින්විය හැකිය.
එම බෝම්බ ප්‍රහාරයෙන් ලද තුවාල නිසා ඔහුගේ දකුණු ඇසක පෙනුම සම්පූර්ණයෙන්ම අහිමි වී තිබේ. වම් ඇසද හරියාකාරව නොපෙනේ. දහවල් කාලයේදී ඔහුට එළියට බැසීමට පවා නොහැකිය. ඒ හිරුඑළියෙන් එන කිරණ ඔහුගේ යම්තම් පෙනෙන වම් ඇසට දරාගත නොහැකිවීම නිසාය.
තවද ඔහුගේ ශරීරයේ විවිධ ස්ථානවල බෝම්බ කැබලි තවමත් ඇත. එලෙසම ඔහුගේ දෙපාවලටද විටින් විට ප්‍රතිකාර කිරීමට සිදු වේ. බෝම්බයෙන් ලද තුවාල නිසා හිසරදය ආදී තවත් රෝග රැසකින් විටින් විට පීඩා විඳීමට ඔහුට සිදුවේ. ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට ඔහුට සිදුවේ.
සරත් බන්ධුසේන යනු දැන් ජීවිතයේ සැඳෑ සමය ගතකරමින් සිටින පුද්ගලයෙකි. දශක ගණනක් නොකඩවා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරි සාමාජිකයකු වූ ඔහු ඒ කාලයේ සිටම පක්ෂය වෙනුවෙන් අපමණ සේවයක් ඉටුකර තිබේ. එලෙසම ඔහු ආබාධිතයකු බවටද පත්වූයේ එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමක නිවේදකයකු සහ සංවිධායකවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදීය.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තම ජීවිත කාලය කැපකළ, ආර්ථික අපහසුකම් රැසක් මැද සැඳෑ සමය ගතකරන ඔහු එජාපයේ වගකිව යුත්තතන්ගෙන් ඉල්ලා සිටින්නේ මාසිකව තමාගේ බෙහෙත්වලට යන මුදලවත් ලබාදීමට වැඩපිළිවෙළක් සකසා දෙන ලෙසයි.
ගයාන් සමරසිංහ
දිවයින ඇසුරිණි
Post a Comment