වාස්තු ශිල්පයේ මූලිකම අරමුණ වන්නේ ස්වභාව ධර්මයේ පවතින නීති රීතිවලට අනුකූලව ගෘහයක් නැත්නම් නිවසක් ඉදිකර ගැනීමට අවශ්‍ය ශිල්පීය ඥානය හුදී ජනයා හට ලබා දීමයි. මිනිසුන් කෙරෙහි මහත් අනුකම්පාවෙන්ම මහා විෂ්ණු දෙව් රජු විසින් සෘෂි උතුමන්ට ලබා දුන් මහා වාස්තු ශිල්පය එම සෘෂි උතුමන් විසින් කාලානුරූපව ජම්බුද්වීපය තුළ පහළ වෙමින් සියලු ලෝ වාසීන්ගේ ලෞකික ජීවිතවල සැනසීම උදෙසා සහ ඒ තුළින් ආධ්‍යාත්මික ජීවිතයට හුරු වීම උදෙසා දේශනා කරන ලදී. සාර්ථක ලෞකික ජීවිතයක මීළඟ අරමුණ වන්නේ ආධ්‍යාත්මය උදෙසා බව කිව යුතු අතර මහා වාස්තු ශිල්පයේ මූලික අරමුණ වන්නේ ද එයම වේ. මේ නිසා මහා වාස්තු ශිල්පය තුළින් හෙළි කරනු ලබන සෑම සංකල්පයක්ම යොමු වී ඇත්තේ සොබාදහමේ දිශාවටයි. ඒ අනුව තමන්ගේ ගෘහය සොබාදහමට අනුරූපීව ඉදිකර ගනු ලබන ආකාරය සහ සොබාදහමේ ස්වාභාවික නිති රීතිවලට එකඟව එම ගෘහය පරිහරණය කරනු ලබන රටාව මහා වාස්තු ශිල්පය තුළින් මිනිසුන් හට පෙන්වා දී තිබේ. මෙම ලිපියෙන් ඔබගේ අවධානය යොමු කරවීමට උත්සහ ගන්නේ වාස්තු ශිල්පයේ දිශාවන් බලවත් වන ආකාරය සහ ගෘහය පරිහරණය කිරීමේදී ස්වාභාවික නිති රීති ආරක්ෂා කර ගන්නේ කෙසේ ද යන්න සහ නූතන සමාජයේ මුල් බැස ඇති සාවද්‍ය මතයන් බැහැර කිරීම උදෙසා මහා වාස්තු ශිල්පය ප්‍රායෝගිකව යොදා ගන්නා ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි.
බලවත් දිශාවන් හඳුනා ගනිමු
වාස්තු ශිල්පයේ පදනම වන්නේ විශ්ව ශක්තිය ගෘහය තුළ උපරිම කර ගන්නා මූලික දිශාවන් බව කිව යුතුයි. මෙහිදී ඔබ දන්නා පරිදි දිශා බෙදීම අනුව මූලික දිශාවන් අටක් හඳුනා ගත හැකිව තිබෙනවා. එම දිශාවන් අට ප්‍රධාන දිශා හතරක් සහ අනු දිශා හතරක් ලෙස තවත් උප බෙදීමකට ලක් වේ. ඒ අනුව උතුර, දකුණ, නැඟෙනහිර හා බටහිර ප්‍රධාන දිශා සතර ලෙස හඳුනා ගන්නා අතර ඊශාන, ගිනිකොන, නිරිත හා වයඹ පිළිවෙලින් අනු දිශාවන් ලෙස බලවත් වෙනවා. වාස්තු ශිල්පය තුළ වාස්තු සිද්ධාන්ත ගොඩනැඟීමේදී මෙම දිශා අටම එකසේ වැදගත් වන බව පැහැදිලි ය. මේ අනුව දිශාවන්ගේ වැදගත්කම පහත පරිදි සංක්ෂිප්ත කළ හැකි වෙනවා.
උතුරු දිශාව - අභිවෘදධිය - ආපෝ ධාතුව
දකුණු දිශාව - ජය - අග්නි ධාතුව
නැඟෙනහිර දිශාව - ප්‍රඥාව - වෘක්ෂ ධාතුව
බටහිර දිශාව - බලය - භූමි ධාතුව
ප්‍රධාන දිශාවන් සතර වාස්තු ශිල්පයේ සිද්ධාන්ත ගොඬනැගීමේදී ඉහත ගුණයන්ට මුල්තැන දෙමින් කටයුතු කරනු ලබන අතර මිනිසාගේ ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම උදෙසා අවශ්‍ය සියලු කරුණු මූලික දිශා සතර තුළ ගැබ් වී ඇති අතර ඊශාන නිරිත දිශාව තුළ එකතු වන විශ්ව ශක්තිය එම කටයුතුවලට අවශ්‍ය ශක්තිය ලබා දෙනු ඇත.
බටහිර දිශාවේ වැදගත්කම
වාස්තු ශිල්පීය සිද්ධාන්ත ගොඩනැඟීමේදී ප්‍රධාන දිශාවන් හතරටම එක හා සමානව වැදගත් වන බව කිව යුතුයි. එයින් බටහිර දිශාවට හිමිවන්නේ සුවිශේෂි තැනකි. "බලය" යන කරුණ සංකේතවත් කරනු ලබන බටහිර දිශාවට ශ්‍රී ලංකාවේ සමාජය තුළ හිමි වී ඇත්තේ ඉතා අඩු තක්සේරුවක් සහ අසුභ නිමිත්තක් බව කිව යුතුයි. එය නිවැරදි නොවන බව පෙන්වා දෙමි. බලයට අධිපති බටහිර දිශාව පිළිබඳව ගොඩනැඟී ඇති දුර්මත රාශියක් සමාජයේ ගොඩනැඟී ඇති අතර එයින් ප්‍රධාන දුර්මතයක් වන්නේ "බටහිර දිශාවට හිස දමා නිදා ගැනීම අසුභ බවයි." මෙම අදහස නූතන සමාජයේ කෙතරම් ජනප්‍රිය මතයක් වී ඇත්දැයි ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ වුවද එය සාවද්‍ය මතයක් බව මහා වාස්තු ශිල්පයේ දැක්වෙන කරුණු තුළින් මනාව පැහැදිලි වෙනවා.
බටහිර දිශාවට හිස දමා නිදා ගැනීම ඉතා යහපත් වේ
බලයේ දිශාව ලෙස හඳුන්වා දී ඇති බටහිර දිශාව අසුභ දිශාවක් නොවේ. එසේ වුවද ඔබ බටහිර දිශාවට හිස දමා සයනය කිරීමට මහත් බියක් දක්වනවා. වාස්තු ශිල්පයේ නාමයෙන් විවිධ දුර්මත රාශියක් නුතන සමාජයට එක් වී ඇති අතර මෙයද එවැනි දුර්මතයකි. ඔබට ප්‍රධාන දිශා අතරින් බටහිර දිශාව ඇතුළුව තවත් දිශාවන් දෙකකට හිස දමා නිදා ගැනීමට හැකියාව පවතිනවා. එසේ වුවද ඔබ කිසිම විටෙක උතුරු දිශාවට හිස දමා නිදා ගැනීමෙන් වැළකිය යුතුයි. එසේම අනු දිශා අතරින් ඊශාන දිශාව හැර අනෙක් සෑම දිශාවකටම හිස දමා නිදා ගැනීම සිදුකළ හැකිවේ.
ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකු මිය ගිය විට එම මෘත දේහයේ හිස බටහිර දිශාවට හරවා තැබීම හේතුවෙන් බටහිර දිශාවට හිස දමා නිදා ගැනීමට සාමාන්‍ය මිනිසුන් බිය වී ඇති බව පෙනී යනවා. පුද්ගලයකු මිය ගිය විට බටහිර දිශාවට සිරස හරවා තැබීම සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ පමණක් බවද මතක තබා ගත යුතුයි. මෙම තත්වය කාලයක් තිස්සේ ගොඩනැඟී ඇති සමාජ සම්ප්රදායක් බවට පත් වී තිබෙනවා. මෙහි සැබෑ අරුත තේරුම් ගැනීමට නම් අපට බුද්ධ චරිතයේ අසිරිමත් අවස්ථාවක් වන සම්බුද්ධ පරිනිර්වානය ගැන සිහිකළ හැකි වෙනවා. එහිදී බුදු හිමියන් ආනන්ද ස්වාමින් වහන්සේට පවසන්නේ බුදුරජාණන් වහන්සේට පිරිනිවන් මංචකය උදෙසා උතුරු දිශාවට හිස යොමා සැතපිය හැකි පරිදි සල් ගස් දෙකක් අතර සයනයක් පනවන ලෙසයි. මේ තුළින් පැහැදිලි වන එක් ප්‍රධාන කරුණක් තිබෙනවා. එනම් සම්බුදුවරුන් පවා උතුරු දිශාවට සිරස යොමා සැතපුනේ පිරිනිවන් මංචකයේදී පමණක් බවයි. බටහිර දිශාවට සිරස යොමා සාමාන්‍ය ලෙස සැතපුනද සූත්‍ර දේශනාවලින් පෙන්වා දෙන පරිදි සුජීවත්ව වාසය කරන කාලයේදී උතුරු දිශාවට සයනය නොකළ බව පෙනී යයි.
එසේ නම් ඔබ සයනය නොකළ යුත්තේ උතුරු දිශාවට හිස යොමා බව අවබෝධ කර ගත යුතුයි. අනු දිශා පරිදි ඊශාන දිශාවට හිස යොදා සයනය කිරීමේදී නොකළ යුතු බව පෙන්වා දී තිබෙනවා. මෙම දිශාවන් දෙකට සයනය නොකිරීමට මුල්වන ප්‍රධාන කරුණ කුමක්ද යන්න අප විමසා බලමු. පෘථිවියෙහි චුම්භක ශක්තිය බලවත්ව ගලා එන දිශාවන් දෙක වන්නේ උතුර හා ඊශාන දිශාවයි. එම දිශාවන් දෙකට තමන්ගේ හිස සෘජුව නිරාවරණය වන විට මොලයේ ශෛල අක්‍රමවත් වීමට ඇති ඉඩකඩ බලවත් බැවින් එම දිශාවන් දෙකට හිස යොමා සයනය කිරීම නොකළ යුතු බව පැහැදිලි වෙනවා.
බලයේ දිශාව වන බටහිර දිශාවට හිස දමා නිදා ගැනීම තුළින් ඔබට වාසි ගණනාවක් අත්වෙනවා. වාස්තු ශිල්පයට අනුව එම කරුණු සංක්ෂිප්තව පහතින් සඳහන් වෙනවා.
1. ආයුෂ වර්ධනය වේ.
2. ප්‍රඥාව බලවත් වේ.
3. පිරිස් බලය ලැබේ.
බටහිර දිශාවට හිස දමා ඔබ සයනය කරන විට ඔබගේ ලේ ධාතුව නිසි පරිදි ක්‍රියාත්මක වන බව මතක තබා ගන්න. පෘථිවියේ ගමන සිදුවන්නේ දක්ෂිණාවර්තව වේ. එය සෑම විටම බටහිර දිශාවේ සිට නැඟෙනහිර දිශාවට භ්‍රමණය වේ. මෙම භ්‍රමණ වේගය අපට නොදැනුනාට එය ලේ ධාතුවට මනාව දැනෙනවා. අප බටහිර දිශාවට හිස යොමා නිදා ගැනීමේදී සෑම විටම පෘථිවියේ භ්‍රමණ ප්‍රවේගය යන දිශාවට සමානුපාතිකව අප සිටින නිසා ශරීරයේ ලේ ධාතුව බලවත් වී විධිමත් වෙනවා. එය මිනිසාගේ ආයුෂ වැඩිවීම උදෙසා හේතුවන කාරණය බව සඳහන් වෙනවා. එසේම අප බටහිර දිශාවට හිස යොමා සිටින විට අපගේ ශරීරය යොමු වී තිබෙන්නේ නැඟෙනහිර දිශාවට බැවින් එය අපගේ ප්‍රඥාව වර්ධනය වීමට උපකාර වෙනවා. ඔබ බටහිර දිශාවට හිස දමා නිදාගෙන උදෑසන අවදිවන විට ඔබ කෙලින්ම අවදි වන්නේ නැඟෙනහිර දිශාව බලාගෙන බව කිව යුතු අතර නැඟෙනහිර දිශාවට දෙනෙත් විවර වීම තුළින් ප්‍රඥාව බලවත් වන බව කියෑවෙනවා. සම්මා සම්බුදුවරුන් පවා බුද්ධත්වය ලබන මොහොතේ නැඟෙනහිර දිශාවට මුහුණලා සිටින ලෝක ධර්මතාවයේ ද පෙන්වන්නේ නැඟෙනහිර දිශාව වනාහි ප්‍රඥාවේ දිශාව බවයි. මීට අමතර වශයෙන් ඔබ බටහිර දිශාවට හිස දමා නිදාගැනීමත් ඔබගේ බලය වර්ධනය වන අතර ඒ තුළින් ඔබගේ පිරිස් බලය ද වර්ධනය වනු ඇත. දිශාවන්වල ගුණය අනුව බටහිර දිශාවේ ගුණය වන්නේ ''බලය'' බව මුලින් සඳහන් කළා. එසේනම් ඔබට ඔබගේ ජීවිතය තුළ ලබා ගත හැකි මහත් වූ ලාභ ගණනාවක් අහිමිකර ගැනීම මෙම දුර්මතය නිසා සිදුවී තිබෙන බව බුද්ධිමත්ව සිතා තීරණය කර ගන්න. මේ ආකාරයට හිස යොමා සයනය නොකළ යුත්තේ උතුරු හා ඊශාන දිශාවට බව කරුණු සහිතව පෙන්වා දෙන අතර බටහිර දිශාවේ බලවත්කම ද ඔබට කරුණු සහිතව පෙන්වා දුන්නා. වාස්තු ශිල්පය නමින් මෙවැනි දුර්මත රාශියක් ශ්‍රී ලංකාවාසීන් අතර පවතින අතර ඒ තුළින් ඔබට සිදුවන අවාසි කෙතරම්ද යන්න බුද්ධිමත්ව සිතන්න.
මහා වාස්තු ශිල්පය ලෝකයට උරුම කර දුන් මහා විෂ්ණු දෙවි රඳුන් දේශනා කොට වදාළ පිරිසිදු වාස්තු ධර්මය කාලයාගේ ඇවෑමෙන් අද වන විට විවිධ දුර්මත එකතු වී අපවිත්‍ර වෙමින් පවතින බව පෙනී යනවා. වාස්තු ශිල්පයට කොතෙක් වැරැදි මත එකතු වුවද පිරිසිදු වාස්තු ශිල්පය ''හංසයා කිරෙන් දිය වෙන් කරගන්නා පරිදි'' අදත් බුද්ධිමතුන් හට විවරව පවතින බවයි. කෙසේ වුවද වාස්තු ශිල්පයට හිතැති වාස්තු විද්‍යාර්ථයන් එකතුව වාස්තු සංඝායනාවක් කළ යුතු කාලය දැන් එළඹ ඇති බව මාගේ හැඟීමයි. එසේ වුවද කුසල් ඇති මිනිසුන් හට තවමත් වාස්තු ශිල්පයේ පිරිසිදු වාස්තු ධර්මය නිතැතින් මුණගැහෙන්නේ මහා විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදයෙන් හා මහා විෂ්ණු කරුණාවෙන්ම බව පෙනී යයි.
ශාස්ත්‍රවේදී වාස්තුවිද්‍යා විශාරද පේරාදෙණියේ, ඩී.යූ. සෙනරත්
වැඩිදුර විස්තර සදහා වාස්තු මැඳුර නො.189/3, කොළඹ පාර, පොල්ගහමුල. 071-4402574 / 081-2386577
දිවයින
Post a Comment