ඔබ අසා තිබේද මරණාසන්න අත්දැකීම් ගැන(NDE) මරණාසන්න අත්දැකීමක් යනු යම් අසාධ්‍ය රෝගියෙකු ගේ හදවත මොහොතකට නැවතීමෙන් ටිකවේලාවකටපසු නැවතත් රෝගියා යථා තත්වයට පත්වන අතරතුර කාලයේ රෝගියා ගේ මනෝකාය සිරුරෙන් මොහොතකට ඈත්වී ලබන අත්දැකීම් වලටයි. මෙය ශායනික මරනයක් වශයෙන් වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනවා
මෙය ඉතා කලාතුරකින් සිදුවන සංසිද්ධියකි. අද ලොව පුරා මේ පිළිබඳ සංවාදයක් ඇතිවී තිබෙනවා. මෙතෙක් විද්‍යාත්මක ව මෙය මනසේ මායාවක් ලෙස හදුන්වා දී ඇතත් අද වන විට නොයෙකුත් වෛද්‍යවරුන්ගේ සහ පර්යේෂකයන්ගේ සොයා ගැනීම් අනුව එය එසේ නොවන බව සනාථ වී තිබේ. මෙවැනි අවස්ථාවනට සිරුරෙන් ඉවතට යන ආත්මය සමහර අවස්ථාවල නොයෙක් තලයන් වෙත ගමන් කර තිබෙනවා. දෙව්ලොව මෙන්ම නිරයන්හිත් සැරිසරා තිබෙනවා. ඒ මගින් ඔවුන් ඒවායේ තොරතුරු හෙලි දක්වා තිබෙනවා.
මෙම කරුණු දෙවේලොවක් හෝ නිරයක් නැතිබව කියන භෞතිකවාදින් සහ මිසදිටුවන්ගෙ ඇස් ඇරවීමට සමත් වී තිබෙනවා. ලොව පවතින් සෑම ආගමකම පාහේ ස්වර්ගය නොහාත් දෙව්ලොව සහ අපාය නොහොත් නිරය ගැන සඳහන් වනවා. නමුත් බෞද්ධාගමේ සහ හින්දු දහමේ දෙව්ලොවන් සහ අපායන් තල වශයෙන් බෙදී තිබෙන ආකාරය පිළිබඳ ව සහ ඒවා එකිනෙකට එකක් වෙනස් වන බවත් පැහැදිලි කර තිබෙනවා.
අපේ රට තුලත් මෙවැනි අවස්ථාවන් ඇතිවී තිබුණත්, ඒ පිළිබඳ නිසියාකාර පරීක්ෂණ සිදු කර නැහැ. මෙ පිළිබඳ පරීක්ෂණ සිදුකර එහි සත්‍යතාවය ලොවට පළමුව හෙලිකලේ වෛද්‍ය රේමන්ඩ් මූඩි මහතායි. ඔහු විසින් රචිත ජීවිතයෙන් පසු ජීවිතය (Life after life) යන ග්‍රන්ථය මේ පිළිබඳව මනා ලෙස විස්තර සපයයි. තවද වෛද්‍ය මයිකල් රෝලින්ස් මහතා විසින් රච්ත "නිරය සහ ආපසු" (To Hell and Back) සහ මොළය පිළිබද විශේඥ වෛද්‍ය ඊබන් ඇලෙක්සැන්ඩර් මහතා විසින් තමන් විසින්ම අත්දකින ලද මරණාසන්න අත්දැකීම් විස්තර කරන දෙව්ලොව සනාථ කිරීම ( Proof of heaven) යන ග්රන්ථයද මේ පිළිබද වඩාත් විස්තර සපයයි.
මෙහිදී මෙම තත්වයට පත්වුවන්ගෙන් 80% ක්ම පවසනුයේ ප්‍රථමයෙන්ම ඔවුන් තමන් ඉහළ පාවෙමින් සිට තමන්ගේ සිරැර සයනය මත තිබෙන අයුරුත් වෛද්‍යවරුන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය තමන්ට ජීවය දීමට උත්සාහ කරන අයුරුත් දැක බලා ගත හැකිවු බවයි. මෙහි සත්‍යතාවය පැහැදිලි වන්නේ ඒ අවස්ථාවේ එතැන සිටි වෛද්‍යවරුන් කල කී දෑ පවා මෙම සිහිසන් නොමැතිව සිටියවුන් පැහැදිලිව සඳහන් කිරීමයි. දෙවනුව ඔවුන් උමගක් වැනි තැනකින් ඇදී ගොස් ඉතා දීප්තිමත් ආලෝකයක් ඉදිරියට පැමිණි බවයි. මෙම ආලෝකය විස්තර කරන ඔවුන් පවසුනුයේ එය ඉතා සෞම්‍ය ආලෝකයක් වන අතර එය ඇත්තෙන්ම සත්වයෙක් දැයි නිශ්චය කිරීමට නොහැකි බවයි. නමුත් එහිදී තමන් ජීවිතයේ කල කී දැ සියල්ලක්ම චිත්‍රපටියක් මෙන් දිස්වූ බවද ඔවුන් පවසනවා. මෙම ආලෝකය තුලින් දැඩි ආදරයක් සෙනෙහසක් තමන්ට දැනෙන බවත් එය පවසන සියල්ල වචන නොමැති වුවත් තමන්ට සංවේදනය වූ බවත් සියලු දෙනාම පවසා තිබෙනවා. බෙහෝ දෙනෙක් පවසන්නේ තමන්ගේ මියගිය ඥාතීන් එහිදි හමු වු බවයි. තවත් කීප දෙනෙක් පවසා ඇත්තේ තමන් ඉතා අලංකාර විචිත්‍රවත් ලෝකයට මොහොතකට සම්ප්‍රාප්ත වූ බවයි. බොහෝ දෙනෙකු පවසා ඇත්තේ තවත් ආලෝකයක් පැමිණ ඔවුන්ට තවමත් ඒ ලෝකවලට පැමිණීමට කාලය පැමිණ නැති බව දන්වා ඇති බවත්ය. තවත් සුලු කොටසක් පවසනුයේ යම් මිනිසුන් යයි කිවහැකි කොටසක් තමන් බලෙන්ම ඇදගෙන ගොස් තමන්ට පහර දෙමින් සූරමින්, සපා කමින්, නොයෙකුත් වධහිංසා පැමුණුව බවයි. ඔවුන් දක්වන කරුණු අනුව මේ ප්‍රේත ලෝකයේ පිරිසක් බව පැහැදිලි වනවා. තවත් අය පවසා තිබුනේ තමන්ගෙ හිතවතුන් ගිනි කන්දක ඇතිවු ලෝදිය පිරි කුහරයක දැවෙමින් සිටිනු දුටු බවයි. එහි දැඩි වේදනාවකින් ලෝ දිය වල දැවෙමින් සිටි තමන් දන්නා හඳුනන අය ඔහුට එහි නොපැමිණෙන්නයි විලාප දුන් බවත් ඔවුන් පවසා තිබෙනවා. ඔවුන් පවසන මෙහි විශේෂත්වය වනුයේ ඒ අය දැවෙමින් සිටියද මිය යන බවක් නොපෙනුන බවයි.
බෞද්ධාගමෙහිද මෙවැනි නිරිසතුන් මිය නොයන බවත් නැවත නැවත ඒ තත්වයට ම මුහුණ දෙන බවත් සඳහන්ව තිබෙනවා. මෙහිදී ඔවුන් පවසන්නෙ එහිදී සල්පර් ඩයොක්සයිඩි වැනි ගන්ධයක් ඔවුන්ට දැනුනු බවයි. සාමාන්‍යෙයන් ගිනිකඳු ආශ්රිත පවතින්නේත් සල්පර් ඩයොක්සයිඩි ගන්ධයයි. මේ අවස්ථාවලට පත්වුනු අයගේ චරිතය සහ කලකිරියාව බැලූ විට ඔවුන් මෙලොව යහපත් ජීවිත ගත කල අය නොවන අතර කිසිම ආගමකට අයිතිනොවූ කොටසක් බවද හෙලිවී තිබේ.
එලෙසම දෙවිලොව දුටු බව සඳහන් කරන්නන් බොහෝ විට යහපත් කල් කිරියාවෙන් සිටි අය වීමද මෙහි විශේෂ ලක්ෂනයකි. මෙලෙස සඳහන් කරන්නන් අතුරින් දෙව්ලොව දුටු බව සඳහන් කරන්නන් නැවතත් තම සිරැරට ඇතුල්වීමට කැමැත්තක් දක්වා නැත. ඔවුන් සඳහන් කරන්නේ තමන්ගේ මනසට විශාල සැනසීමක් සතුටක් සැහැල්ලු බවක් ලගාවුන බවයි. සිරැරක් නොතිබුන බැවින් කිසිම වේදනාවක් නොතිබුන බවත්ය. නමුත් නිරයේ සහ අනෙකුත් තලයන්හි අත්දැකීමි ලැබුවන් පවසන්නේ ඒවායින් මිදී තමන්ට නැවතත් තම සිරැරට ඇතුලුවීමට මහත් ආශාවක් ඇතිවූ බවයි.
මෙහිදී මා ඔබට ඇමරිකාවේ සුප්‍රසිද්ධ මොලය පිළිබඳ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ඊබන් ඇලෙක්සැන්ඩර් මහතාගේ කෘතියෙන් කොටසක් සඳහන් කරන්නම් ." මා හදා ගත් දරුවෙක්. මා හදා වඩා ගත් පියා ද ශල්‍ය වෛද්‍යවරයෙක්. මගේ එක කුස උපන් සොහොයුරියක් සිටි බව මට දැනගන්නට ලැබුනත් ඇය පිළිබඳ කිසිම තොරතුරක් මට සොයාගැනීමට නොහැකි වූවා උත්පත්තියෙන් ක්රිස්තුභක්තිකයකු වුවද රෝගීන් මරණාසන්න අත්දැකීම් පිළිබඳ ව කරන ප්‍රකාශයන් පිළිබඳව මා තුල ඇතිවුයේ සැකයක්. මා එවන් දෑ සැලකුවේ මොලයේ යම් අවහිරයක් නිසා සිදුවන මායා දර්ශනයන් ලෙසයි".
"දරුණු හිසරදයකින් පසුව මා හදිසියේම කෝමා නම් තත්වයට ඇදවැටුනා. නියොකොටෙක්ස් නමින් හැදින්වු මොලයේ සියලුම සිතුවිලි ක්‍රියා කාරිත්වය කරන කොටස සම්පුර්ණයෙන්ම අකාර්යක්ෂම තත්වයට පත්වී තිබුනා. මට එක්වරම මට දැනුනේ මා නොදියුනු තලයක පොළවෙහි වැලලි ඇති බවයි. එය නිරය දෝ යැයි මට සිතුනා. නමුත් එය සාමාන්‍ය පෘථුවිය නොවන බවද මට හැගුනා. ටික වේලාවක් ගතවුන විට ඉතා දීප්තිමත් සහ රන් පැහැයෙන් යුතු අලංකාර ආලොකයක් බබලමින් මෙන්ම ඉතා මිහිරි සංගීතරාවයක් පතුරවමින් මා වෙත ලගාවුනා . එම ආලෝක ප්රභවය ක්‍රමයෙන් විවෘතවී එය තුලින් මා ඉතා අලංකාරවු නිම්නයකට ඇතුලු වූවා එහි දියමන්ති වැනි ජලධාරාවන් සහිත පොකුණු දක්නට ලැබුනා. එහි මනරම් බවසහ වර්ණවත් බව වචනයෙන් විස්තර කල නොහැකි තරම්. රෝසහ සහ සුදුපැහැති වලාකුලු වලින් බරවු අහස දීප්තිමත් තද කලුනිල් පැහැයෙන් යුක්ත වුනා. එහි ගස් වැල් මෙන්ම සතුන්ද සිටියා. තවත් වෙනත් ලෝකයන් රැසක්ද තිබෙනවා මාදුටුවා. එහි එක් තලයෙන්තලයට ඉහල යන විට පවතින ජලයේ දීප්තිමත් බව වැඩි වන බවක් දක්නට ලැබුනා. මා එක් තලයකයට යන විට එයතුලින් ඕම් නම් ස්වරය විහිදුනා. එහි ඉතාඋසස් දෙවිකෙනෙක් සිටි බව මට දැනුනා. වැදගත්ම කොටස වන්නෙ මට සහාය සදහා එක් කාන්තාවක් පැමිණ සිටියා. ඇය සුරංගනාවියක් ලෙසයි මට හැගුනේ ඇයත් මාත් අතර ඉතා සමීප හැගීමක් ඇතිවුනා. ඇය මා ඇගේ තටු මත තබාගෙන පියාසර කලා. දින සතකට පසු මා නැවත ජීවය ලැබුවා. දිනක් මට ලිපියක් ලැබුණා. ඒ මා සෑහෙන කලක් සොයමින් සිටි මගේ සොයුරිය ගැන තොරතුරක් සදහන් ලිපියක්. එහි තිබුනේ ඇය කලකට ඉහත මියගොස් ඇති බවයි. ඒ සමග ඇයගේ පින්තූරයක් එවා තිබුනා. එය දුටු මට ඇස් අදහා ගන්නට නොහැකි වූවා. එහි සිටියේ අර මා දිව්‍ය තලයේ හමුවූ කාන්තාවම වීමයි. මට මගේ අත්දැකීමි සනාථ කිරීමට ලැබුණු වටිනාම සාක්ෂිය එය වූවා ".
එලෙසම දැනට ඇමරිකාවේ වෙසෙන ඇනීටා මුර්ජානි මහත්මිය හෙලිකරන්නේ වසර 4ක් දැඩි ලෙස පිළිකාරෝගයෙන් පෙළුනු ඇය 2006 වර්ෂයේදී සිදුවූ මරණාසන්න අත්දැකීමකින් පසු නැවත ජීවය ලද පසු ඇගේ පිළිකා රෝගය සම්පුර්ණයෙන්ම සුව වූ බවයි. මේ බව ඇගේ වෛද්‍යවරුන් සනාථ කර තිබෙනවා ඇය (Dying to be me)යන කෘතියෙන් මේ පිළිබඳ විස්තර ලොවට හෙලි කල තිබෙනවා .
ඇමරිකාවේ වෙසෙන සුප්‍රසිද්ධ අධිමානසික හැකියාවක් සහිත කාන්තාවන් වන මේරි ටී බ්‍රවුන් මහත්මිය පවසන්නේ තමන් ද තම අධි මානසික හැකියාව උපයෝගී කර ගෙන මෙම දෙව්ලොව මෙන්ම නිරයේද සැරි සැරූබවත් එම දිව්‍යම තලයන් ඉතා විචිත්‍රවත් බවත් පළිගු වැනි ජලයෙන් ඇල දොල ගංගා පිරීපවතින බවත්ය. ඇය පවසන දෑ වෛද්‍ය රූබන් පවසන දැයට බෙහෙවින් සමානවන අතර ඇය ද පවසන්නේ නිරයේ සල්පර් වැනි දුමාරයක් ඇයටද දැනුනු බවයි.
අපේ රටේද බොහෝ අය මරණාසන්න අවස්ථාවල තමන් කැදවාගෙන යෑමට අලංකාර දිව්‍යරථ පැමිණෙන බවත් තවත්අය තම නෑදැයින් පැමිණ සිටින බවත් තවත් අය තමන් ඇදගෙන යෑමට පිරිසක් පැමිණ තිබෙන බවත් පවසා තිබෙනවා. මේවා අනුව පැහැදිලි වන්නේ තමන්ගේ මරණාසන්න අවස්ථාවේ තමන් යන ලෝකය පිළිබඳ යම් අවබෝධයක් මරණාසන්න අවස්ථාවල සමහර අයට ලැබෙන බවයි.
මරණාසන්න අත්දැකීම් ලද බොහෝ දෙනෙක් ඉතා වෙනස් පුද්ගලයන් බවට පත්වී ඇති අතර ඔවුන් ආදරය කරුණාව දයාව ජීවිතයේ එකම අරමුණ ලෙස සලකනවා. නිරය සහ දෙව්ලොව මෙලොව පවතින්නක් නොව එය නොපෙනෙන ලෝකයේම පවතින බව මරණාසන්න අත්දැකීම් වලින් සනාථ කර තිබෙනවා.
ශ්‍රියානී ද සේරම් විසිනි
Post a Comment