තමන්ට කියවන්නට ලැබුණු පුරා විද්‍යාව පිළිබඳව වූ ග්‍රන්ථ අතර බෞද්ධ ධර්මය පිළිබඳවත්, විශේෂයෙන් එම ධර්මය මනා සේ රැඳී පවතින ඉන්දියන් සාගරයේ "සිලෝන්" නම් වූ දූපත පිළිබඳවත් එංගලන්තයේ ලන්ඩන් නගරාශ්‍රිත ප්‍රදේශයක නිවැසි මෙයිසි සහෝදරියන් දෙදෙනා තුළවූයේ මහත් වූ කුතුහලයකි. එහෙයින් ඔවුහු දිනෙක මෙම දිවයිනට ගොස් ඒ පිළිබඳව විමසිල්ලෙන් සංචාරය කළ යුතුය යන නිගමනයට බැස ගත්හ. ඒ අනුව ඔවුහු සිලෝන් රටට පැමිණියහ. මේ වන විට එහි ආණ්‌ඩුකාරවරයා වූ ශ්‍රීමත් ඇන්ඩ්‍ර කැල්ඩිකොට් මැතිතුමාගේ ආර්යාව තමන්ගේ ළඟම ඥති වරියක වූ හෙයින් ඔවුන්ට සංචාර කටයුතු සැලසුම් කර ගැනීම ද ඉතා පහසු විය.
මෙසේ සිලෝන් නම්වූ ලංකා දේශයේ ඉපැරැණි නටබුන් නගරවල අවුරුදු දෙදහස් ගණනකට කලින් වූ දියුණුව දැක පුදුමයට පත්වූ ඔවුන් දෙදෙනාට රටේ වැඩි දෙනකු අදහස් බෞද්ධාගම පිළිබඳව විශේෂයෙන්ම කරුණු දැනගත හැකි වූයේ, දැකගත හැකි වූයේ එහි තිබෙන පන්සල් හා විහාරාරාමවලිනි. බෞද්ධාගමේ ආගමික කතුවරයාණන් වූ බුදුරජාණන් වහන්සේගේ ධාතූන් තැන්පත් කර තිබෙන කරඬුවලට, පෙති පිළිමවලට වන්දනාමාන කිරීමට බෞද්ධයන් දක්‌වන උද්යෝගය ද ඔවුනගේ සැලකිල්ලට ලක්‌විය. කරඬුවලින් ඉවතට ගෙන සර්වඥධාතු ප්‍රදර්ශනය කෙරෙන අවස්‌ථාවලදී නොයෙකුත් විට එයට පඬුරු වශයෙන් මුදල් පිරිනමන අවස්‌ථා ද ඔවුනට වැඩි වශයෙන්ම දක්‌නට ලැබිණ. එහෙත් ඒ සමඟම කිහිප තැනකදීම මුදල් ගැන නොතකා ශ්‍රද්ධා භක්‌තියට මුල්තැනදී කටයුතු කරන විහාරස්‌ථාන ද ඔවුනට දැකගත හැකිවිය.
මෙසේ මෙරටේ පුරාවිද්‍යා අගයෙන් යුතු ස්‌ථාන නරඹා විස්‌මයටත්, රටේ සොබා සෞන්දර්යයෙන් සතුටටත් පත්වෙමින් ආගමික වශයෙන් සිංහල බෞද්ධයන් දක්‌වන භක්‌තිය පිළිබඳව විමතියටත් පත්වෙමින් සංචාරය නිමකළ ඔවුන් දෙදෙනාගේම සිත්වල කිසියම් කුතුහලාත්මක හැඟීමක් ඇතිවී පැවතිණ. එනම් එංගලන්තයේ තමන්ගේ නිවසේ සීයා විසින් එකතු කරන ලද කෞතුක වස්‌තු අතර ද මෙහි සිංහල බෞද්ධයන් මහත් ගෞරවාදරයෙන් වඳින පුදන සර්වඥ ධාතුන් තිබීම පිළිබඳවය.
මේ එක්‌දහස් නවසිය හතළිහ වර්ෂය යි. එහෙත් මෙසේ වූ බෞද්ධයන්ට මහානර්ඝ වස්‌තුවක් වූ සර්වඥ ධාතු තමාගේ නිවසට ලැබුණේ මෙයට වර්ෂ 89 කට පෙර වර්ෂ 1851 දීය. තමන්ගේ සීයා වූ ශ්‍රීමත් ඇලෙක්‌සැන්ඩර් කණිංහැම් මහතාණන් සිය පුත්‍රයකු වූ ජනරාල් මෙයිසි මහතාද සමඟ ඉන්දියාවේ ගෝපාල් රාජ්‍යයේ හිල්සා දිස්‌ත්‍රික්‌කයේ සාංචි ප්‍රදේශයට අයත් භෝප්පුර්හි නටබුන්ව පැවති චෛත්‍යයක් සාරන ලද අවස්‌ථාවෙහි එහි නිධන් ගර්භයේ තිබී මෙම සර්වඥධාතු ඔවුනට හමුවී තිබිණ. නියමිත ලෙස සුරක්‌ෂිතව අඩි ගණනාවක් යටවූ ධාතු ගර්භයෙහි පළමුව රක්‌ත වර්ණ මැටි භාජනයකුත්, දෙවනුව එහිවූ පළිඟු කරඬුවකත් සුරක්‌ෂිත ලෙස තැන්පත් කර මෙම සර්වඥ ධාතු කොටස ඔවුන්ට දක්‌නට ලැබිණ.
"අප විසින් සොයා ගන්නා ලද දේවලින් ඉතාම අද්භූත වූද, ඉතාම අනර්ඝ වූද වස්‌තුව මේ රක්‌ත වර්ණ මැටි බඳුන මධ්‍යයේ වූ පළිඟු කරඬුව තුළ තැන්පත්ව තිබිණ" යනුවෙන් කණිංහැම් මහතා සඳහන් කර ඇත්තේ සිය දින පොතේය.
පළිඟු කරඬුවේ කුඩා රත්රන් කැබලි 4 ක්, රතුකැට කැබැල්ලක්, මඳ නිල් පැහැති පළිඟු කැබලි 2 ක්, කුඩා මුතුඇට කැබලි කිහිපයක් ද තිබිණ. මෙසේ තැන්පත් කරන්නේ සර්වඥ ධාතූන් සමඟ බව මෙතෙක් ඔවුන් විසින් කැන සොයාගත් ධාතුන් හා වෙනත් පුරාවස්‌තු අනුව නිගමනයකට යෙදීමට හැකිවූයේ මේ නම් නියම වශයෙන්ම සර්වඥ ධාතූන් බවය. ඒ සමඟම වූ තවත් මැටි කරඬුවක ධාතු කොටස් දෙකක් වෙන වෙනම විය. එම මැටි භාජනයේ දෙපස "සාරිපුත, මොගලන" යන වචන බ්‍රාහ්මී අක්‍ෂරවලින් ලියා තිබුණ හෙයින් එය දැගසව්වන්ගේ ධාතු බවද හෙළි කෙරිණ.
මේ හා සමඟම හමුවූ තවත් දේවල් හා මැටි කරඬුව ඉන්දියානු කෞතුකාගාරයට පිරිනැමූ ශ්‍රීමත් ඇලෙක්‌සැන්ඩර් කණිංහැම් මහතා සර්වඥ ධාතු ආපසු යන ගමන් එංගලන්තයට ගෙන ගොස් තමන්ගේ කෞතුක එකතු අතරට එක් කළේය. එතුමාගේ අභාවයෙන් පසුව පුත්‍රයාණන් වූ ජනරාල් මෙයිසි මහතාට ද, ඉන්පසුව ඔහුගේ පුත්‍ර කර්නල් මෙයිසිට ද, ඔහුගෙන් පසුව වර්ෂ 1892 සිදුවූ ඔහුගේ අභාවයෙන් අනතුරුව දියණියන් දෙදෙනා වන ලෙස්‌ලි ජස්‌මිත් හා විනිෆ්‍රඩ් බරෝස් යන මෙයිසි මිනිපිරියන් දෙදෙනාට මෙම පුරාවස්‌තු හිමිව තිබිණ. සර්වඥ ධාතු කොටස් හැර මේ සමඟ තිබූ පුරාවස්‌තුවලින් කොටසක් රාජකීය වික්‌ටෝරියා හා රාජකීය ඇල්බට් කෞතුකාගාරවලට පරිත්‍යාග කෙරුණු අතර එම හිල්සා චෛත්‍යයෙන් හමුවූ එක් කරඬුවක් හා පුරාවස්‌තු කිහිපයක් ලන්ඩන් කෞතුකාගාරය මගින් මිලදී ගන්නා ලද්දේය. ඉන්පසු ඉතිරිව තිබූ මෙම කෞතුක වස්‌තු විකිණීම මෙම මෙයිසි මිනිපිරියන් දෙදෙනාට හැඟුණේ නොකළ යුතු වැඩක් ලෙසටය.
ලංකාවේ විහාරස්‌ථානවල සංචාරයෙන් පසු මෙයිසි අක්‌කා නගෝ මෙම ධාතුන් මෙරටේ බෞද්ධයන්ට වන්දනාමාන සඳහා පිරිනැමිය යුතු යෑයි අදහස් කළේ එයින් තමන්ගේ පවුල්වලටද පෞද්ගලිකව සෙත් ශාන්තියක් සැලසෙතැයි යන නිගමනය ද අනුවය. මෙවන් කෞතුක වස්‌තු පෞද්ගලිකව නිවසක තබා ගැනීම එතරම්ම හොඳ නැතැයි ද ඔවුනට හිතමිතුරන් කිහිප දෙනකුද කලින් කියා තිබිණ.
ඔවුන් දෙදෙනා සිය සංචාරය නිමකර යළිත් ආණ්‌ඩුකාර මන්දිරය වෙත ගිය ගමන්ම තමන් ලද අත්දැකීම් එතුමාත් ආර්යාවත් හමුවේ විවරණය කළහ. ඒ සමඟම තුන්වැනි පරම්පරාව වශයෙන් තමන්ට අයත්ව තිබෙන සර්වඥ ධාතු ලංකාවේ බෞද්ධයන්ගේ වන්දනාමාන උදෙසා පිරිනමන්නට තමන් දෙදෙනා තීරණය කරගත් වගත් පැවසූහ.
"ඔබ දෙපළගේ අදහස බොහොම හොඳයි. අපේ රජයේ කැබිනට් මණ්‌ඩයේ ප්‍රධානී ස්‌වදේශ කටයුතු ඇමැතිතුමා තමා දැනට ලංකාවෙ බෞද්ධයන්ගේ ප්‍රධානියා. එතුමා පඬිවරයෙකු ලෙසටත් ඉහළ තත්ත්වයක් දරනවා. මට පුළුවන් එතුමාගේ මාර්ගයෙන් රටේ සුදුසු විහාරස්‌ථානයකට මෙම සර්වඥ ධාතු ප්‍රදානය කරන්න..." යනුවෙන් ඔවුනගේ එම වදන්වලට පිළිතුරු වශයෙන් ආණ්‌ඩුකාරතුමෝ කියා සිටියහ.
"ඒ ගමන්ම කිව යුතු තව කතාවකුත් තියෙනවා. අපට දකින්නට ලැබුණා මේ රටේ සමහර විහාරස්‌ථානවලදී මේ උත්තමයගෙ ධාතූන් පෙන්නලා සල්ලි හම්බ කරන්නටත් සමහර හාමුදුරුවරුන් කටයුතු කරලා තියෙන අන්දම. අපි දකින හැටියට ඒක ලොකු වැරැද්දක්. ඒ එක්‌කම සමහර විහාරස්‌ථාන කිහිපයක එහෙම මුදල් හම්බ කිරීමේ කටයුතු සිදු නොකර ආගමික ශ්‍රද්ධාවට මුල්තැන දෙන බවත් අපි දුටුවා. ඒ නිසා එහෙම මේ ධාතූන් පෙන්නලා මුදල් සම්මාදම් නොකරන විහාරස්‌ථානයකට දෙන්න කටයුතු යොදන්නට හැකිනම් වඩා හොඳයි" යනුවෙන් මෙහිදී විනිෆ්‍රඩා බරෝස් මෙයිසි මැතිනිය කියා සිටි අවස්‌ථාවේ එතුමියගේ ප්‍රකාශය ගැන ආණ්‌ඩුකාරතුමෝ ද සතුටට පත්වූහ.
පසුව දිනෙක ඔවුන් දෙදෙනා රජ ගෙදර සිටියදීම එහි කැඳවනු ලැබූ ස්‌වදේශාමාත්‍ය ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමා හමුවේ මෙය මෙම කාරණය හෙළිකරන ලද අවස්‌ථාවේදී එතුමෝ බලවත් ලෙස සතුටටත්, පුදුමයටත් පත්වූහ. මෙම සුදු කාන්තාවන් දෙදෙනා යළි එංගලන්තය බලා ගිය පසුව එහි සිටින ලංකා වෙළෙඳ කොමසාරිස්‌වර ජී. කේ. ඩබ්ලිව්. පෙරේරා මහතා අතේ එම සර්වඥ ධාතුන් වහන්සේ ලංකාවට එවීමට හැකි බව තීරණය කෙරිණ.
පසුවදා රටේ පත්තරවලින් මෙම ප්‍රවෘත්තිය පැතිර ගියේ ජයතිලක ශ්‍රීමතාණන් විසින් ප්‍රවෘත්ති නිවේදනයක් ලෙස පත්තර හමුවේ හෙළිකළ හෙයිනි. එය එකල බෞද්ධ ජන සමාජය අමන්දානන්දනයට පත්කර වූ කාරණයක් ද විය. එසේ ම එයින් ම මේ සර්වඥ ධාතූන් වහන්සේ තමන් ප්‍රධාන දායකත්වය දරන පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනට වැඩම කරන්නට අදහස් කරන බව ද හෙළිදරව් කරන්නට තරම් ජයතිලක ශ්‍රීමතාණන් කටයුතු කර තිබිණ.
මෙසේ නියත සර්වඥ ධාතූන් වහන්සේ නමක් ලෙස ඔප්පු කෙරුණු දුර්ලභ වස්‌තුවක් ලැබීම සම්බන්ධයෙන් බෞද්ධ මහජනතාව අතිශයින්ම සන්තුෂ්ටියට පත්වූ නමුදු මෙකල පළවෙමින් තිබූ "දිනමිණ" පත්‍රයේ අයිතිකාර තැන්පත් කැලණිය රජමහා විහාරස්‌ථානයේ ප්‍රධාන දායක තැනවූ අධිනීතිඥ ඩී. ආර්. විජයවර්ධන මහතාණන් කළේ එම සර්වඥ ධාතුන් වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට නොව කැලණි විහාරස්‌ථානයට පිරිනැමිය යුතුය යනුවෙන් ජන මතයක් නංවන අයුරින් "දිනමිණ" පත්‍රයෙන් ප්‍රවෘත්තිය රටට දීමය. ඓතිහාසික වැදගත්කම අතින්ද කැලණි රජමහා විහාරස්‌ථානය ඉපැරැණි හෙයින්ද, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන කිසිම ලෙසකින් විහාරස්‌ථානයක් ලෙස හැඳින්වෙන්නේ නැති හෙයින් ද මෙම සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කරවිය යුත්තේ කැලණිය රජමහා විහාරස්‌ථානය වෙත යෑයි ද එම ප්‍රධාන පුවතින් ද ඒ අනුව ලියෑවුණ "දිනමිණ" කතුවැකිය මගින්ද කියෑවුණේය. මේ හේතුවෙන් මෙම ප්‍රශ්නය දුරදිග යන බව හෙළිවිය.
ප්‍රවෘත්ති පළ කිරීමෙන් හා කතුවැකිය මගින් එහි වූ වඩාත් යෝග්‍යතාව දක්‌වන්නට ද කටයුතු කළ ඩී. ආර්. විඡේවර්ධන මහතා ඉන් අනතුරුව කළේ රටේ ප්‍රමුඛ පෙළේ නායක හිමිපාණන් වහන්සේලා ද, ගිහි ගිහි බෞද්ධ නායකයන් ද මෙහෙයවා එංගලන්තයෙන් වැඩමකරවන සර්වඥ ධාතුන් වහන්සේ කැලණි රජමහා විහාරස්‌ථානය වෙත භාරදිය යුතුය යනුවෙන් ප්‍රකාශ හා මහජන මතයක් ගොඩනංවන්නට කටයුතු කිරීමය.
මෙම කාරණය මුලදී සාමාන්‍ය වශයෙන් පැවතිය ද පසුව දිනෙන් දින දෙපිළක් බෙදී වාද විවාද කරගන්නා අන්දමට කාරණය දිග්ගැස්‌සුණේය. එයින් බරපතළ ලෙසම කියෑවුණේ විද්‍යාලංකාරය පිරිවෙනක් බැවින් සර්වඥධාතුන් වහන්සේ නමකට කළ යුතු ගෞරව සම්මාන දැක්‌වීමට ද එසේ තැන්පත් කිරීමට ද ස්‌ථානයක් නොමැති බැවින් ඊට නියම පූජ්‍යස්‌ථානය කැලණි රජමහ වෙහෙරම බව දක්‌වා රටපුරා මහජන මතයක් ලෙස පළ කිරීමය.
මෙසේ තවත් සති කිහිපයක් යනවිට කාරණය කොතරම් දුර දිග ගියේ ද යත් මෙම අදහස් රැඳි දෙපිළේ ඇත්තන් ගහ බැණ ගන්නා තත්ත්වයකට ද පත්වුණේය. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ මෙකල අධිපතීත්වය දරමින් වැඩවිසූ පූජ්‍ය ලුණුපොකුණේ ධම්මානන්ද නායක හිමිපාණන් වහන්සේය. එහෙයින් එහි ප්‍රධාන දායකත්වය දරන ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමන් සාපේක්‌ෂවාදීව බලා සිටියදී විජයවර්ධන පිලේ ඇත්තන් කළේ මේ ප්‍රශ්නය පෙරදැරි කරගෙන සර්වඥධාතුන් වහන්සේ කැලණියට වැඩම කරවිය යුතුය යන අදහස ඉස්‌මතු කරවනු පිණිස එවකට කැබිනට් මණ්‌ඩලයේ පළාත් පාලන අමාත්‍යවරයාව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මහ සභාවක් මරදානේ ආනන්ද මහා විද්‍යාල ශාලාවේදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කිරීමය.
අන් මැති ඇමැතිවරුන් මෙවන් කටයුතුවලදී යම් යම් උද්ඝෝෂණ ව්‍යාපාර, කලබල, කූටෝපක්‍රම හා මර්දනකාරී ක්‍රියාවන්හි යෙදීම ස්‌වභාවය වූ නමුදු කිසි ලෙසකින් හෝ එවන් ක්‍රියාමාර්ගයකට නොයෙදෙන ජයතිලක ඇමැතිතුමන්ට බලවත් ලෙස කේන්තිගියේ බණ්‌ඩාරනායක ඇමැතිතුමා ද අල්ලාගෙන මෙම අධිපතියන් ගෙනයන නාඩගම ගැන හෙළිදරවු විය.
ශාසනික කටයුත්තකදී මෙවන් ලෙස බෞද්ධ ජනතාව භේදභින්න කිරීමට ගන්නා ප්‍රයත්නය මුලින්ම උපුටා දැක්‌විය යුතුය යන්න එතුමාගේ අදහස විය. ආනන්ද මහ විද්‍යාලයේදී ද බණ්‌ඩාරනායක ඇමැතිතුමා මූලාසනයේ තබා කරන්නට යන නාඩගම ලත්තැනම ලොප් කිරීමට එතුමාගේ අණ ලැබිණ.
පසුකලෙක 'ධාතු කෝලාහලය' යනුවෙන් ඉතිහාසයට එක් වූ මෙම සිද්ධිය පිළිබඳව තරමක් අප්‍රකට තොරතුරු එවකට 'සිංහල බෞද්ධයා' ප්‍රධාන කතුවරයාව සිටි හේමපාල මුනිදාස මහතා විසින් සඳහන් කරන්නේ මෙසේය,
"හ්ම් විජයවර්ධන බැරිම තැන බණ්‌ඩාරනායක අල්ලගෙන, හ්ම්·" යෑයි පවසා ජයතිලක මහතා මොහොතක් කල්පනා කරමින් සිට කතුවරයා දෙස තියුණු බැල්මක් හෙළා "සභාව පවත්වන්න දෙන්න එපා. වචනයක්‌වත් කතා කරන්න ඉඩදෙන්න එපා. මුළු සභාවම ලත් තැනම ලොප් කරලා දමන්න ඕන. කඩාකප්පල්කරලා දමන්න ඕනෑ. තේරුණාද" යි කීවේය.
සභා ආරක්‌ෂාව සඳහා සේදවත්තෙන්, කැලණියෙන් හා කොළඹින් ගෙන්වන ලද මැරවරයන්ගෙන් ද මරදානේ මහ කාලතුවක්‌කුකාරයන්ගෙන් ද සමයුක්‌ත වූ සහශ්‍ර සංඛ්‍යාත ජන සමූහයක් හමුවේ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ සභාපතිත්වයෙන් සභාව ඇරැඹුණේය. එපමණකි. විජයවර්ධන පක්‌ෂයට වඩා හොඳ සූදානමක් ඇතිව සිටි ජයතිලක පක්‌ෂයේ තරුණයත් සමූහය ලත් තැනදීම සභාව තුළ ඇති කළේ බලවත් කැලඹීමකි.
විජයවර්ධන පක්‌ෂයට අයත් මැරවර බලයෙන් හෝ මරදානේ කාලතුවක්‌කුකාර බලයෙන් මෙල්ල නොවී මේ කැලඹීම මොහොතින් මොහොත දියුණු වී විනාඩි කීපයක් ඇතුළත සභාව කඩාකප්පල්ව නටඹුන් වුණේ ය. වචන කීපයක් පවා කතාකිරීමේ අවස්‌ථාව බණ්‌ඩාරනායක මහතාට පවා නොලැබිණ. විජයවර්ධන පක්‌ෂය අත්‍යර්ථයෙන්ම පරාජයටත්, පරිහානයටත් ලක්‌වුණේය.
"එයාගෙ හිතුමතයට මේ රටේ වැඩ කරන්නට බැරි බව විජයවර්ධනට දැන් නම් තේරුම් ගිහින් තිබෙන්න ඇතැ"යි මෙපවත් එදා රාත්‍රියේදී අසන්නට ලැබීමෙන් පසු ජයතිලක මහතා කීවේය. එපමණකි. සර්වඥධාතු මහ පෙරහරින් පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනට වැඩම කරවන ලද්දේය".
කාර්ය සාධනයෙහි මහත් වූ දැනුම් සම්භාරයක් ඇති මහෝපාසක පඬිවරයකු වූ ශ්‍රීමත් ඩී. බී. ජයතිලක ඇමැතිතුමා මෙවන් කටයුත්තකින් සිය බලය පෙන්වූ ප්‍රථම අවස්‌ථාවත්, එකම අවස්‌ථාවත් මෙය වූයේය.
එංගලන්තයේ ලංකා වෙළෙඳ කොමසාරිස්‌වරයාව සිටි ජී. කේ. ඩබ්ලිව්. පෙරේරා මහතා එහි සිට නැවකින් ලංකාවට ගෙනෙන ලද සර්වඥ ධාතු පාර්සලය මරදාන, දෙමටගොඩ පාරේ විඡේගුණරත්න භික්‌ෂු ආශ්‍රමයේදී එතුමන් විසින් ජයතිලක ඇමැතිතුමාණන් වෙත භාරදෙන ලද්දේය. ඉන්පසු එම සර්වඥධාතු රත්රන් කරඬුවක තැන්පත් කර දහස් සංඛ්‍යාත සේනාවකින් යුතු මහ පෙරහැරකින් එතැන සිට වර්ෂ 1940 අප්‍රේල් 7 වැනි බ්‍රහස්‌පතින්දා සවස් යාමයේදී නැටුම්, ගැයුම්, කුඩ, කොඩි, සේසත් රැඳි උපාසක උපාසිකාවන්ගෙන් යුතු මහ පෙරහැරින් පෑලියගොඩ විද්‍යලංකාර පිරිවෙන වෙත වැඩම කරවන ලද්දේය.
සැතපුමකටත් වඩා දිග පෙරහැරකින් ධාතුන් වහන්සේ රැගත් කරඬුව රැඳි රථය පිරිවෙන් භූමියට සැපත් අවස්‌ථාවේදී රිදී බන්දේසියකින් ධාතු කරඬුව රැගෙන සිය හිස මත තබාගෙන ධාතු මණ්‌ඩපය වෙත ගෙනගොස් තැන්පත් කරවීමට ජයතිලක ශ්‍රීමතාණන් සමත් වූහ.
"ඇමැතිතුමන් සමඟ මා කුඩා කාලයේදී මේ පිරිවෙන් පින් බිමේ එකට සෙල්ලම් කරලා තිබෙනවා. ඒ එදා අද එතුමා රටේ ස්‌වදේශ කටයුතු අමාත්‍යවරයා වීමත් මම මෙම පිරිවෙනේ අධිපති වීමත් යන කරුණු දෙකම එකට යෙදුණු හෙයින් මෙහෙම අපේ පිරිවෙනට බුදුන් වහන්සේ වැඩම කළා සේම මෙසේ සර්වඥධාතුන් වහන්සේ වැඩම කරවීම මගේ සිතට ඉමහත් ශාසනික සතුටකට හේතුවක් වෙනවා ·" යි නායක පූජ්‍ය ලුණුපොකුණේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ දෙසා වදාළ විට එයට නැඟුනු සාධු නාදය විනාඩි කිහිපයක් පැවැත්විණි.
එංගලන්තයේ සිට මෙහෙට සර්වඥධාතුන් වහන්සේ වැඩමවීම පසුගියදා රටේ මහත් වූ කලබලයකට ද ලක්‌වුණු නමුත් තමන් වහන්සේ වැඩමවිය යුත්තේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට බව බුදුන් වහන්සේම සැලකූ නිසා මෙය මෙසේ සිදුවිය" යි එවෙලේ සභාව අමතා කතාකරමින් රාජ නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතා කී කතාවද විනාඩි ගණනක සාධු නාදයෙන් අනුමත වූ බව පෙනිණ.
ඉන්පසුව එදින සිට 10 වැනිදා දක්‌වා සර්වඥධාතු වන්දනාවට ඉඩ සැලසෙන බව නිවේදනය කෙරිණ.
මෙහිදී විශේෂයෙන්ම සඳහන් කෙරුණු එක් කරුණක් නම් මෙම සර්වඥධාතුන් වහන්සේලා මෙසේ ලංකාවට පිරිනමන්නට මූලික වූ මෙයිසි සුදු ලලනාවන් දෙදෙනා ප්‍රාර්ථනා කළ ලෙසටම ධාතු මෙසේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට වන්දනාව පිණිස ලැබීම ද එම ප්‍රාර්ථනා යසරඟට පලදුන් අවස්‌ථාවන් ද වූ බවය.
එහි කිවයුතු තවත් දෙයක් වේ වර්ෂ 1875 දී පූජ්‍ය රත්මලානේ ධම්මාලෝක, කලපළුවාවේ, ධම්මාරාම නායක හිමිවරුන් විසින් ආරම්භ කරන ලද 'විද්‍යාලංකාර පිරිවෙනේ' එදා සිටම අද දක්‌වාම කිසිම තැනකවත් 'පිං පෙට්‌ටියක්' තබා නැත. එසේම පිං පෙට්‌ටියක් නැති රටේ එකම විහාරස්‌ථානයද පිරිවෙනක් පමණකි. එලෙසින් සර්වඥධාතුන් වහන්සේ මෙම පිරිවෙනට ලබාදෙන්නට මූලික සැලසුම් යෙදූ මෙයිසි සුදු නෝනලා දෙදෙනාගේ මූලික පරමාර්ථය ද ඉහළින්ම ඉටුවූවා සේය.
මෙසේ සර්වඥධාතුන් වහන්සේ නමක් වැඩමවීමට ලැබීම විද්‍යාලංකාර ඉතිහාසයේ එය පිහිටූ දිනට පසුව ඇතිවූ උතුම්ම දිනය වශයෙන් ද ඉතිහාසගතව ඇත. පසු කලෙක පූජ්‍ය කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥසාර, පූජ්‍ය යක්‌කඩුවේ ශ්‍රී ප්‍රඥරාම නාහිමි දෙපළගේ යුගයේදී තෙමහල් සංඝාවාසයක් සහිත ධාතු මන්දිරයක් ප්‍රතිශ්ඨාපනය කර විද්‍යාලංකාරයේ සර්වඥ ධාතුන් වහන්සේට ඉහළම ගෞරව සම්මාන දක්‌වන්නට කටයුතු සම්පාදනය කළහ. ඒ සමගම එළඹුණු පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමියන්ගේ යුගයේදී ආරම්භක වර්ෂ 1875 වර්ෂයේ සිට මේතාක් කල් පරිවේණාධිපතින් වහන්සේලා පාවිච්චි කළ හා පිරිවෙනට පූජා හා ත්‍යාග වශයෙන් ද ලැබුණු කෞතුක භාණ්‌ඩ එක්‌කර එහි දෙවැනි මහලේ විශිෂ්ට කෞතුකාගාරයක් ද ඉදිකර තිබේ. එය මෑතකදී වූ පිරිවෙන් ඉතිහාසයත්, මහා සංඝ ඉතිහාසයත් එකට කැටිකර තැනූ මහා කෞතුක ස්‌මාරකයක් වැනිය.
සර්වඥධාතුන් වහන්සේ පිරිවෙනට වැඩම කරවීමට මුල් වූ ජයතිලක ශ්‍රීමතාණන් වර්ෂ 1868 දී ඉපිද 1944 දී අභාවප්‍රාප්ත වූහ. එතුමා සමඟම විද්‍යාලංකාරයේ වැලිකෙළියේ මිතුරුව සිට සර්වඥධාතුන් වැඩමවන සමයේ එහිම පරිවේණාධිපති වූ පූජ්‍ය ලුණුපොකුණේ ධම්මානන්ද හිමියෝ වර්ෂ 1869 දී උපත ලබා වර්ෂ 1945 දී සම වයස්‌ගතව අපවත් වූහ.
දැනුදු විද්‍යාලංකාර පරිවේණාධිපති අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමියන් වහන්සේ කෙනකුට හෝ පිරිසකට ආශිර්වාද කරද්දී රුවන්මැලි මහා සෑය, ශ්‍රීපාදස්‌ථානය, දළදා වහන්සේ, ශ්‍රී මහ බෝධිය ද මතකයට නංවා ගනිමින් අන්තිමේ අපේ මේ පිරිවෙනේ වැඩවසන නිර්මල සර්වඥධාතුන් වහන්සේගේ ආනුභාව ආශිර්වාදය ද පතමින් පින් දෙති - පින් අනුමෝදම් කරවති.
ලෝ පරසිඳු 'ආසියා ආලෝකය - ලයිට් ඔෆ් ඒෂියා' මහා කාව්‍ය ග්‍රන්ථය බුදුගුණ ඇසුරින් ලියන්නට ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් මහත්මාට එයට මුල් වූයේ ද මෙවැනි කෞතුක අගයෙන් යුතුව මහ ගණ කැලෑවෙන් වැසීගිය එම පෞරාණික බුද්ධ භූමි ප්‍රදේශ හරහා අසුපිටින් රාජකාරී ගමනක යැමෙන් ලද අත්දැකීම අනුවය. මහ බෝමැඩ ආරක්‌ෂා කරගැනීමට ශ්‍රීමත් අනගාරික ධර්මාපලතුමාට ද මුල් වූයේ ද එතුමාගේ ඒ කටයුතුය. එය වෙනම ලිවිය යුතු කියයුතු රසබර කතාවකි.
එංගලන්තයේ වෙළෙඳ කොමසාරිස් ජී. කේ. ඩබ්ලිව්. පෙරේරා විසින් ගෙන එන ලද ස්‌වර්ඥ ධාතු පාර්සලය ජයතිලක ඇමැතිතුමා රැස්‌ව පිරිනැමීමට සූදානම්ව.
සෝමසිරි කස්‌තුරිආරච්චි
ලංකාදීප ඇසුරිනි
Post a Comment