අද්භූත ලෝකයක් ගැන කියන නෝමන් පළිහවඩන - කළු සෙවණැලි මාව එලවගෙන ආවා සුදු සෙවනැලි බේරාගත්තා

වෘත්තියෙන් ඔහු මාධ්‍යවේදියෙකි. අමුතුම තාලයේ මාධ්‍යවේදියෙකි. කළුගලක්‌ දුටුවත් එයද ඔහුට ප්‍රවෘත්තියකි. ඉන් පාඨකයන්ගේ සිත් ඇදගන්නා සුලු ප්‍රවෘත්තියක්‌ ඔහු වාර්තා කරයි. ඔහුගේ සහජ දක්‍ෂතාව එයයි. සුවකළ නොහැකි වෛරස්‌ උණක්‌ සේ මාධ්‍යවේදියාගේ භූමිකාවට ඔහු පණ පොවන්නේය.

මාධ්‍ය ක්‌ෂේත්‍රයේ නිරතවීම මහත් කැපවීමකින් සහ උනන්දුවකින් කළ යුතු උසස්‌ කාර්යයකි. මෙය ඔහුගේ තේමාවයි. කිසිවෙකුටත් සොයා ගැනීමට නොහැකි ඕනෑම ආකාරයේ ප්‍රවෘත්තියක්‌ සොයා ගැනීමට ඔහුට ගත වන්නේ සුළු මොහොතකි. තම ජීවිතය පවා පරදුවට තබා ඔහු එවැනි ප්‍රවෘත්ති රැසක්‌ වාර්තා කර තිබේ.

මාධ්‍යවේදියකුට අමතරව ඔහු ගත් ගතුවරයෙකි. රංගන ශිල්පියෙකි. නිවේදකයෙකි. දැනට ඔහු කෘති පහක්‌ පමණ රචනා කර තිබේ. චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වී ඇත. එලෙසම නිවේදකයකු ලෙස තවමත් කටයුතු කරයි.

ඔහු සිටිනා තැන සිනා සාගරයකි. රස ආකරයකි. පත්තර කන්තෝරුවේ සේවය කරන සෑම දෙනාගේම පාහේ ලේ පිරිසිදු කරන්නා වන්නේද ඔහුය. ඔහු කන්තෝරුවට පැමිණෙන තුරු සමහරු මඟ බලා සිටිති. ඒ තම රාජකාරිය කිරීමට ප්‍රථම ඔහුගෙන් විහිළුවක්‌ තහළුවක්‌ අසා සිත සතුටු කර ගැනීමටයි.

මෙලෙස සඳහන් කළ ඔහු තම වෘත්තියට පිවිසෙන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙසින්ය. එලෙස පැමිණි ඔහු දැන් මෙරට සිටින ජනප්‍රියම මාධ්‍යවේදියෙකි. දශක පහකට ආසන්න කාලයක්‌ නොබියව පෑන මෙහෙයවූ මොහු අන් කිසිවකු නොව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නෝමන් පලිහවඩනයි. එලොව දැක දැක මෙලොව ආ අයගේ කතා යටතේ මෙවර පළවන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී නෝමන් පලිහවඩනගේ අත්දැකීමකි.

පසුගිය මස 29 වැනි ඉරිදා සුපුරුදු පරිදි නෝමන් පලිහවඩන නිවසින් පිටවූයේ කාර්යාලය බලා පිටත් වීමටයි. මඳ අසනීප ගතියකින් පෙළුණත් එය නොතකා සේවයට පැමිණියේ තම වෘත්තියට දැක්‌වූ දැඩි කැමැත්ත නිසාය. එලෙස පැමිණි ඔහු කාර්යාලයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූයේ එහි සිටි ආරක්‌ෂක මුරකරුවන් දෙදෙනාටද විහිළුවක්‌ කරමින්ය. කාර්යාලයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූ ඔහුට ගමන් කිරීමට හැකිවූයේ පියවර කිහිපයක්‌ පමණි. එක්‌වරම අවට පරිසරය කැරකෙනවාක්‌ මෙන් දැනුණි. දෑස්‌ නිලංකාර වී ගියේය. කතා කිරීමට උත්සහ කළත් වචන පිටකර ගැනීමට නොහැකි විය. තත්ත්පර ගණනක්‌ ඇතුළත වූ ඒ සිදුවීමෙන් ඉමහත් බියට පත්වූ ඔහුට කරන්නේ කුමක්‌ද කියා සිතා ගැනීමට නොහැකි විය. සිහිසුන්ව ඔහුව ඇද වැටුණි.

ගතවූයේ තවත් තත්ත්පර කිහිපයකි. කපාහෙළු කෙසෙල් කඳක්‌ මෙන් නෝමන් පලිහවඩනව ඇද වැටුණි.

දුර තියා එය දුටු ඔහුගේ සගයෙක්‌ "නොමන් අයියා වැටුණා.. නෝමන් අයියා වැටුණා..." කියා බෙරිහන් දුන්නේය. එය ඇසී එක්‌රැස්‌වූ කාර්යාල සගයෝ වහාම ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගත්හ. නෝමන් පලිහවඩනට මතක, සිහිය නැතිව කාර්යාල භූමියේ ඇද වැටෙනවා පමණි. කාර්යාලයේ සිට රෝහලට රැගෙන යැමට ගතවූ විනාඩි දහයක පමණ කාලය තුළ ඔහුට සිහිය ඇවිත් තිබුණේ එක්‌වරක්‌ පමණි. ඒත් තත්ත්පර කිහිපයක්‌ පමණි. එලෙස සඳහන් කරන්නේ එම මොහොතේ ඔහුව රෝහල වෙත රැගෙන ගිය මිතුරන්ය.

එලෙස සිහිය නැතිව සිටි කාලය අතරතුර නෝමන් පලිහවඩන අමුතුම ලෝකයකට ගොස්‌ තිබේ. එම ත්‍රාසජනක අත්දැකීම ඔහු විස්‌තර කරන්නේ මෙලෙසින්ය.

"මට යාන්තමට මතක සිහිය නැතිව මාව ඇදගෙන වැටෙනවා පමණි. ඒ එක්‌ක මම හිටියේ කන්තෝරුව ඇතුළේ පත්තර කබඩ් එකක්‌ උඩ. ඒත් මගේ ශරීරය මට පෙණුනේ නැහැ. එතැන ඉඳන් මම බලා සිටියා ටික වේලාවක්‌. මගේ සගයෝ වැඩ කරන විදිහ. වෙනද වගේම ඒ අය තම රාජකාරි කරන විදිහ මට හොඳට පෙනුණා."

"ටික වේලාවක්‌ එහෙම ඉන්නකොට මාව පාවෙලා යනවා වගේ දැනුණා. ඒ කියන්නේ කොස්‌ කොළයක්‌ පාවෙනවා වගේ. එහෙම ඉතා වේගයෙන් ඉහළටම මාව පාවෙලා ගියා. මට කිසි බියක්‌ දැනුණේ නැහැ. ඒක අමුතුම ලෝකයක්‌. මම කිසි දිනක දැකලා නැහැ ඒ වගේ තැනක්‌"

"මාව පාවෙලා ගිය ඒ පරිසරය ඉතා අලංකාරයි. එහි සුන්දරත්වය මට වචනවලින් විස්‌තර කරන්න බැහැ. හැබැයි ඒ පරිසරයේ තිබුණ සුන්දරත්වය මම අත්වින්දා. ඒක මට හොඳට දැනුණා..."

"දිගටම එලෙස පාවෙලා යනකොට මම දැක්‌කා එක ප්‍රදේශයක්‌ මීදුමෙන් වැහිලා තියෙනවා. ඒ මීදුම අතරින් මට පේනවා කර්මාන්තශාලා වාගේ ගොඩනැඟිලි වගයක්‌ තියෙනවා. කර්මාන්තශාලා කීවට ඒවා හුඟක්‌ ලස්‌සන බිල්ඩින්. ඒවා අතරිනුත් මාව පාවෙලා යනවා වාගේ මට දැනුණා. අධික මීදුමක්‌ තිබුණත් සීතල ගතියක්‌ මට දැනුණේ නැහැ..."

"එහෙම තව ටිකක්‌ දුර යනකොට මට පෙනුණා කළු සෙවණැලි ගොඩක්‌ තියෙනවා. ඒ ගොල්ලෝ මාගේ ළඟට එන්න තමයි උත්සාහ කරන්නේ. ඒ කලු සෙවණැලි දැක්‌කම මට බය හිතුණා. ඒ එක්‌කම තවත් පැත්තක හිටියා සුදු සෙවණැලි ගොඩක්‌."

"කලු සෙවණැලිවලින් පෙණුනේ මහ භයානක පෙනුමක්‌. සුදු සෙවණැලි ප්‍රියමනාපයි. ඒ ගොල්ලෝ මට කතා කරනවා වගේ දැණුනා ඒ පැත්තට එන්න කියලා. ඒ පැත්තට යන්න මම උත්සාහ කළා. ඒත් මට යන්න බැරිවුණා."

"එක පාරටම කළු සෙවණැලි දෙකක්‌ ඇවිත් මාව අල්ල ගත්තා. මම ගොඩක්‌ බය වුණා. බය වැඩිකමට මම කෑගහන්නත් උත්සහා කළා. ඒත් කෑගහගන්න බැරිවුණා. ඒ සමඟම සුදු සෙවණැලි ඇවිත් මාව බේර ගත්තා."

"සුදු සෙවණැලි අත් දෙකෙන් යමක්‌ වහනවා වගේ වහලා තමයි මාව බේර ගත්තේ. එහෙම බේර ගත්ත මාව බෙනයක්‌ ඇතුළට වීසි කළා. බෙනයක්‌ කිව්වට ඒක විශාල ලස්‌සන එකක්‌. ඒක ඇතුළෙ අමුතුම ලස්‌සන පාටක්‌ තිබුණෙ. ඒ වගේම පිවිතුරු සුවඳකුත් දැනුණා. හිතා ගන්න බැරිවුණා කොහෙද මම ඉන්නේ කියලා. ඒත් හැබැයි මට කිසිම වේදනාවක්‌ දැනුණේ නැහැ. කියා ගන්න බැරි තරමේ සුන්දර ලෝකයක ඉන්නවා කියලා තමයි මට දැනුණේ..."

"ටික වේලාවක්‌ ඒ බෙනය ඇතුළේ ඉන්නකොට මට බය හිතුණා. ඒ එක්‌කම මම කෑගහන්න උත්සාහ කළා. ඒ පාර මොනවදෝ වචන වගයක්‌ මාගේ කටින් පිටවුණා වගේ කියලා මට දැනුණා. ඒ සමඟම මට ඇහුණා දොස්‌තර කෙනෙක්‌ කියනවා වම් කකුලට ඉන්ජෙක්‌ෂන් එක විදින්න කියලා. ඒ එක්‌කම මට සිහිය ආවා."

"පසුව දැනගන්න ලැබුණා සිහිය එන්න තත්ත්පර ගණනකට පෙර කළු සෙවණැලි වගයක්‌ මාව අල්ල ගත්තා කියලා කෑගහලා තියෙනවා කියලා. ඇත්තටම මට පුදුමයි සිහි නැතිව හිටපු විනාඩි ගණනාව තුළ මම ලබපු අත්දැකීම. මට තවමත් හරියට හිතා ගන්න බැහැ ඒ විනාඩි කිහිපය තුළ මොන වගේ තැනකද හිටියේ කියලා. හැබැයි එකක්‌ මට හිතාගන්න පුළුවන්. ඒ එලොව ගිහින් මෙලොව ආවා කියලා..."

ගයාන් සමරසිංහ

දිවයින ඇසුරිනි




සිහිය නැතිව සිටි කාලය අතරතුර නෝමන් පලිහවඩන අමුතුම ලෝකයකට ගොස්‌ තිබේ. එම ත්‍රාසජනක අත්දැකීම ඔහු විස්‌තර කරන්නේ මෙලෙසින්ය.