අතීතයේ මළවුන්ට පණ දුන් හැටි - චිත්‍රාන් මොරකන්දෙ ගමගේ

මොළයේ පවතින භෞතික රසායනික හා විද්යුත් ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම නතර වීම පුද්ගලයකු මරණයට පත්වීම යනුවෙන් හැඳින්වේ. එහෙත් සමහර ආගමික පෙන්වාදීම්වලට අනුකූලව ශරීරය ආශ්‍රිතව පවතින්නා වූ යම් අදෘශ්‍යමාන බලවේගයක්‌ පුද්ගලයකු මරණයට පත්වීමත් සමඟම ශරීරයෙන් ඉවත්ව යතැයි කියෑවේ. මරණයට පත් වූ තරුණියක්‌ ඇය මරණයට පත්වීමට හේතු වූ භෞතික කාරණා ඇගේ ශරීරයෙන් ඉවත් කොට පිට වී ගිය අදෘශ්‍යමාන බලවේගය වන ගන්ධබ්බයාද ගෙන්වා යළි ඇයට පණ දීමට ගත් තැතක්‌ පිළිබඳව මේ කතාවෙන් කියෑවේ.

 ඉහළගම ආරච්චිල එම ගමේ විසූ ඉතා සාධාරණ යුක්‌තිගරුක සැර පරුෂ නිලධාරියෙකි. ඔහුගේ උස මහතැති සිරුරත් දෙපැත්තට කැරකැවූ උඩු රැවුලත් ඔහුගේ ප්‍රතාපවත් පෞරුෂය මනාව පිළිබිඹු කළේය. ඔහුගේ බිරිඳ රන් එතනා ගමේ කා අතරත් ජනප්‍රිය ආදරණීය චරිතයක්‌ වූවාය. මේ දෙපළට දියණියන් දෙදෙනෙකි. වැඩිමලා ලොකු මැණිකා වූ අතර බාල දියණිය රන් මැණිකා වූවාය. ලොකු මැණිකා රළු දුෂ්ට තැනැත්තියක්‌ වූ අතර රන් මැණිකා ඉතා කාරුණික රූමත් පැහැපත් තැනැත්තියක්‌ වූවාය. රන් මැණිකාට ගමේ සියලු දෙනා ආදරය කළ අතර විශේෂයෙන් තරුණ ගැටව් ඇයට ඉතා ළෙන්ගතු විය. ඇගේ වයස අවුරුදු දහනවයක්‌ (19) තරම් වූ අතර ගමේ තරුණ තරුණියන් සමඟ කෙළිදෙලෙන් පසු විය. බොහෝ විට එය ලොකු මැණිකාට රිස්‌සුවේ නැත.

 කඳු ගැටයක්‌ මත පිහිටා ඇති ආරච්චි වලව්ව ඉතා සිරියාවන්ත පෙනුමකින් යුක්‌ත විය. වලව්ව වටා ඇති මල් වගාව රන් මැණිකාගේ හා ගමේ තරුණ තරුණියන්ගේ මහන්සියේ ප්‍රතිඵල විය. සිංහල අලුත් අවුරුදු සමය පසු විය. රන් මැණිකා හා ගමේ තරුණ තරුණියයෝ බොහෝ මහන්සි වී වැඩ කටයුතු කළහ.

මේ අතරේ රන් මැණිකා රෝගාතුර විය. හැමෝම සිතුවේ ඇය මහන්සි වීම හා තෙල් කෑම ආහාරයට ගැනීම නිසා ඇයට යම් අපත්‍යයක්‌ වන්නට ඇත කියාය. එහෙත් දිනෙන් දින ඇගේ රෝගී තත්ත්වය උත්සන්න වූ හෙයින් වෙද රාළ ගෙන්වා ප්‍රතිකාර කළේය. රන් මැණිකා අසාධ්‍ය තත්ත්වයට පත්වූවාය. වෙද රාළ වලව්වේ නැවතී ප්‍රතිකාර කළත් එක්‌ දිනක සවස්‌ වරුවේ රන් මැණිකා සදහටම දෙනෙත් පියා ගත්තාය. මුළු වළව්වම ළතෝනියක්‌ විය.

රන් මැණිකාගේ වියෝවීම ගම පුරා ප්‍රචාරය වන්නට විනාඩි දහයක්‌වත් ගත නොවිණ. මේ අතරේ ගමේ සිටි එක්‌තරා යකැදුරෙක්‌ වන අබං ගුරා දුවගෙන විත් හති අරින ගමන්ම මිදුලේ ඉතා වේගයෙන් සක්‌මන් කරමින් සිටි ආරච්චිල හමුවිය. "ආරච්චි මහත්තයා දුක්‌ වෙන්න එපා මං වැඩක්‌ කියන්නං" අබංගුරා කීය. මොකද්ද යකෝ තෝ කිව්වේ. ඔය මැරිල ඉන්නෙ මගේ දුව කියමින් ආරච්චි අබං ගුරා වෙත කඩා පැන්නේය. " ආරච්චි මහත්තයා ඔය රන්මැණිකට පණ දෙන්න පුළුවන් මාව විශ්වාස කරන්න මහත්තයෝ, අබං, ගුරා කීය. ඒත් තවදුරටත් කෝපයට පත් ආරච්චිල තෝ රා බීලද යකෝ ඉන්නෙ තෝ කවද්ද බොල එහෙම වැඩක කෙරුවේ බින්න කෙළින්නෙ නැතිව පලයං මෙතනින්" යෑයි ගෝරනාඩු කළේය." පොඩ්ඩක්‌ ඉවසල මට ඇහුංකන් දෙන්න මහත්තයෝ මං නොවෙයි. ඕක කරන්නෙ හතර කෝරළේ ඉන්න හිච්චි ගුරුන්නාන්සේ කියල කෙනෙක්‌. එයා මේ වගේ වැඩ ඕන තරම් කරල තියෙනවා" අබං ගුරා එක හුස්‌මට කියාගෙන ගියේය.

හැබැයි මේක ඉක්‌මනට කරන්න ඕන. මිනියට මොකවත් කරන්නත් එපා. ඔහොමම තියෙන්න අරින්නත් ඕන. අබං ගුරාගේ කථාවට ආරච්චිල ඇහුංකං දුන් බවක්‌ පෙනිණ.. ආරච්චිලත් මෙම හිච්චි ගුරුන්නාන්සේ ගැන තරමක්‌ අසා තිබිණ. වහා වලව්වට දිව ගිය ආරච්චිල දුවගේ දේහයට කිසිත් නොකරන ලෙස නියෝග කොට පඬුරු පාක්‌කුඩම්ද රැගෙන අබං ගුරාද කැටිව හිච්චි ගුරුන්නාන්සේ සොයා පිටත් විය. සැතපුම් විස්‌සක්‌ පමණ ඇති මෙම ගමන ආරච්චිලම තිරික්‌කලය දක්‌කන්නට තීරණය කළේ තිරික්‌කල දක්‌කන්නාද එකතු කර ගත හොත් බර වැඩි වී ගමන තවත් ප්‍රමාද වන හෙයිනි. අබං ගුරා පාර පෙන්නන්නට විය. වැඩි කතා බහක්‌ නැතිව ඉක්‌මනට තිරික්‌කල දැක්‌කුව ආරච්චිලට නොයෙකුත් දේ සිතට ආවේය.

ගුරුන්නාන්සේගේ ගෙදරට යැමට කෝරළේ මහත්තයාගේ වලව්ව අසලින් යා යුතු විය. ඔහුට මෙය දැනවිය යුතුද නැතිද යන්න ගැන ආරච්චිලගේ හිත දෙගිඩියාවෙන් පිරිණ. නොනවත්වා ගොස්‌ පසුව ආරංචි වුවහොත් ඔහු රාජකාරිමය වශයෙන් පළිගනු ඇත යන්න ඔහුට සිතිණ. කෝරාළට ඇත්තේ අශෝභන දියණියකි. තම දියණියගේ රූ සොබාව ගැන කෝරාළ ඊර්ෂ්‍යා සහගතව කතා කළ අයුරු ආරච්චිලට සිහි විය. තවද කෝරාළ වලව්ව ප්‍රමාණයෙන් විශාල වුවද ආරච්චි වලව්ව තරම් සිරියාවන්ත නොවීය. මේ ගැනද කෝරාළගේ හිතෙහි ඊර්ෂ්‍යාවක්‌ ඇතැයි ආරච්චිල සිතූයේ ආරච්චි වලව්ව ගැන විටින් විට ඔහු කියූ දේවල් නිසාය. වැඩක්‌ නැහැ ඔය මිනිහට කියන්නට ගොහින් තවත් ප්‍රමාද වන්නට ඕන නැහැ මම කෙළින්ම ගුරුන්නාන්සේගේ ගෙදර යනවා යෑයි ආරච්චිල තදින් අධිෂ්ඨාන කළත් කරත්තය මුලින්ම ගොස්‌ නතර වුණේ කෝරාළ වලව්වේ මිදුලෙහිය.

"ආ........ ආරච්චිල මොකද මේ පැත්තේ" වාඩි වී සිටි හාන්සි පුටුවේ හරිබරි ගැසෙමින් කෝරාළ ඇසීය. සියලු විස්‌තර කෙටියෙන් පැවසුව ආරච්චිල කෝරාළ වලව්වෙන් පිට වෙද්දී" හොඳයි ආරච්චිල මමත් ඔය යාගය බලන්න හවස්‌ වරුවේ එන්නම් කො කියමින් කෝරාළ හාන්සි පුටුවෙන් නැගිට්‌ටේය.

ඉතා තද බලාපොරොත්තුවක්‌ හා විශ්වාසයක්‌ ඇතිව හිච්චි ගුරුන්නාන්සේගේ ගෙදරට ගොඩ වැදුන ආරච්චිල දෙකට නැවී ගුරුන්නාන්සේට ආචාර කළේ තමා ආරච්චිල කෙනෙක්‌ බවද අමතක කරමිනි. මිය ගිය දරුවාගේ වයස හා රෝගය පිළිබඳව විස්‌තර විමසූ ගුරුන්නාන්සේ තමාට මෙය නිසැකවම කළ හැකි බව හා ඒ පිළිබඳව සැකයක්‌ තබා ගැනීමට අනවශ්‍ය බැව් පැවසුව විට ආරච්චිල ළය පුරවා හුස්‌මක්‌ ගත්තේය. මේ සඳහා විශාල වියදමක්‌ දරන්නට වන බවත් එය දැන්ම ගෙවිය යුතු බවත් ගුරුන්නාන්සේ කීය. ආරච්චිල අත තිබූ සියලුම මුදල් ගුරුන්නාන්සේට දුන්නේය. දෙදෙනා අතර ඇති වුණ එකඟතාවයෙන් පසු ගනුදෙනු හමාර විය. අවුරුදු පනහක්‌ ආරච්චිගේ ප්‍රතාපවත් ළය දැවටෙමින් සිටි සුරය ආරච්චිගේ කබාය ඇතුල් පැත්තේ ඇති හොර සාක්‌කුවට ගිය අතර එය එල්ලා තිබූ පවුම් පහක රන් දම්වැල හිච්චි ගුරුන්නාන්සේගේ දෝතට ගියේ ඉණ බැඳ තිබූ රිදී හවඩියද සමඟය.

අවශ්‍ය කළමනා සියල්ල ගත් ගුරුන්නාන්සේ සිය ගෝලයා ද සමඟ තිරික්‌කලයට ගොඩ විය. පෙර කරන ලද විස්‌කම් වැඩ ගැන ගුරුන්නාන්සේ තොරතෝංචියක්‌ නැතිව පවසන්නට විය. ඉතා ඈත අතීතයේ හිච්චි ගුරුන්නාන්සේගේ පියා විසින් පැය අටකට පෙර මියගිය තරුණියකට ප්‍රාණය දුන් බවත් ඇය එතැන් සිට සෑම සිංහළ අවුරුදු දිනකම තම පියා බැලීමට පැමිණි සැටිත් කියද්දී ගෝලයා එයට හූමිටි තැබීය. පසුව ඒ ළමයා විවාහ වී දරුවන් ලබා වයස්‌ ගතව ළඟදී මිය ගිය බව ගෝලයා පැවසීය. තමා මෙම ගුරුකම් කරන්නේ පරම්පරාවෙන් හෙයින් තමාට කිසිදින වරදින්නේ නැති බව ගුරුන්නාන්සේ ඉතා උජාරුවෙන් කීය. ආරච්චිලට දැක්‌ කිසි සැකයක්‌ නැත. ඔහු වහ වහා කරත්තය දක්‌කන්නට විය.

ඇඳිරි වැටෙද්දී මේ අය වලව්වට ළඟා වූහ. ඒ වන විට වලව්ව විශාල සෙනඟකින් පිරී තිබිණ. ආරච්චිල ඉක්‌මනින් හිච්චි ගුරුන්නාන්සේට ආහාර සූදානම් කරන ලෙස දැන්වීය. ගමේ තරුණයින් දහදෙනෙකු පමණ කැඳවූ අබං ගුරා දැන් කරන්නට යන දෙය ඔවුනට පැහැදිලි කළේය. ඉන්පසු හිච්චි ගුරුන්නාන්සේ ඉල්ලන හැම දෙයක්‌ම ඉක්‌මනින් සපයා දෙන මෙන්ද කීය. එතෙක්‌ දුක්‌මුසුව සිටි තරුණයෝ ඉතා උෙද්‍යාaගයෙන් වැඩට බැස්‌සහ.

තරුණයින් සපයා දුන් ඉදුන දෙහි ගෙඩි 99 ක ඉස්‌මවලින් යුත් ජෝගුවක්‌ ගුරුන්නාන්සේගේ ගෝලයා පිළියෙල කරන ලදී. එළියේ ඇති පොල් අතු මඩුවක්‌ තුළ ගොක්‌කොළ සැරසිලි පාන් පැලවල් වහා ඉදිවිණ. අබං ගුරාද මීට මනාව සහාය දැක්‌වීය. මොනවද මොනවද ඕනෑ අසමින් ආරච්චිල වලව්ව වටා ඇවිද්දේය. රන් එතනා හා ලොකු මැණිකා මිනිය අසලින් සෙලවුණේ නැත. කෙනෙකුට ඇය මිය ගියා යෑයි සිතන්නටත් බැරිය. ඇය නිදා සිටින්නාක්‌ මෙන් පෙනිණි. ගුරුන්නාන්සේගේ අණින් ඇය වටා තිබූ පොල්තෙල් පහන් හතර ඉවත් කෙරිණ. දුම්මල සුවඳ වලව්ව පුරා පැතිරිණ.

ඉර බැස ගොස්‌ හෝරාවකට පමණ පසු ගිරිනාල යාගය නම් මෙම අපූර්ව කර්තව්‍ය සඳහා අවශ්‍ය භූමි ආරක්‍ෂා යාතිකා පටන් ගැනිණ. ගෝලයා මඩුව දෙදරවමින් බෙර වයන්නට පටන් ගත්තේය. ගුරුන්නාන්සේ මන්තර කියමින් බෙර තාලයට අඩිය තබමින් තෙල් වර්ගයක්‌ මඩුව වටා ඉසින්නට විය. මඩුවෙන් එපිට ගමේ ඇත්තෝ වට වී සිටිය අතර ඇතුළත පවුලේ උදවිය සඳහා පුටු කීපයක්‌ තබා තිබිණ. ආරක්‍ෂාව කර හමාර වුණ ගුරුන්නාන්සේ රන්මැණිකාගේ දේහය සුදු රෙද්දකින්. වසා ඇඳත් සමඟ මඩුවට ගෙන එන ලෙස දැන්විය. තරුණයෝ ඇඳත් සමඟ දේහය රැගෙන එන්නට ගත් විට රන් එතනා හඬා වැටෙන්නට වූවාය. ගුරුන්නාන්සේ රන් එතනාට සැර වුන අතර ඊටත් හයියෙන් ආරච්චිලද සැර විය. මඩුවට ගෙන දේහය වසා තිබුණු සුදු රෙද්ද ඉවත් කරන ලදී. සුදු මහත්තයකු විසින් ආරච්චිලට තෑගි දෙනු ලැබූ පීඩන ලාම්පුවේ එළිය රන් මැණිකාගේ මුහුණට හොඳින් වැටිණ. මඩුව වටා හැම තැනකම පන්දම් දල්වා තිබිණ.

ගුරුන්නාන්සේ මේ කරන්නට යන කටයුත්තේ බැරෑරුම්කම සියල්ලන්ටම පැහැදිලි කර දුනි. අනතුරුව මෙතැන සිටින සියලුම කුඩා දරුවන් හා තරුණ ගැහැනු ළමයින්ට පිටවන ලෙස දැන්වීය. මඩුව ඇතුළේ සිටි ලොකු මැණිකාද පිටත්වීමට සැරසිණ. 

මළමිනියට පණ දුන් හැටි ලබන සතියට

චිත්‍රාන් මොරකන්දෙ ගමගේ

දිවයින් ඇසුරිනි



මොළයේ පවතින භෞතික රසායනික හා විද්යුත් ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම නතර වීම පුද්ගලයකු මරණයට පත්වීම යනුවෙන් හැඳින්වේ. එහෙත් සමහර ආගමික පෙන්වාදීම්වලට අනුකූලව ශරීරය ආශ්‍රිතව පවතින්නා වූ යම් අදෘශ්‍යමාන බලවේගයක්‌ පුද්ගලයකු මරණයට පත්වීමත් සමඟම ශරීරයෙන් ඉවත්ව යතැයි කියෑවේ. මරණයට පත් වූ තරුණියක්‌ ඇය මරණයට පත්වීමට හේතු වූ භෞතික කාරණා ඇගේ ශරීරයෙන් ඉවත් කොට පිට වී ගිය අදෘශ්‍යමාන බලවේගය වන ගන්ධබ්බයාද ගෙන්වා යළි ඇයට පණ දීමට ගත් තැතක්‌ පිළිබඳව මේ කතාවෙන් කියෑවේ.