මැතිව් රිකාඩ්තුමා උගත් - බුද්ධිමත් ප්‍රංශ පවුලකට දාව උපන්නේය. එතුමාගේ මව චිත්‍ර ශිල්පිනියක් වන අතර පියා දාර්ශනිකයෙකි. පාස්‌චර් ආයතනයෙන් අනුක ජාන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසු හිමාලය වෙත නික්‌ම ගිය එතුමා පැවිදි බවට පත්විය. 50 වසරක පුහුණුවක් ඇති පැවිදි උතුමෙකු වීමට අමතරව, එතුමා ඉහළම ඉල්ලුමක් ඇති ග්‍රන්ථ කතුවරයෙකුද වේ. "ලොව සිටින ප්‍රීතිමත්ම මිනිසා" යන පදවි නාමය එතුමාට හිමිය.
'සතුට' යනු සාර්ථකත්වයේ වේෂයක් ලෙස දකින්නෙකුට මේ අපේ කතා නායකයා දෙස බැලීම වටිනවා. නමින් මැතිව් රිකාඩ්. ඉහළම අලෙවියක් ඇති පොත් රචකයෙක්. ටිබෙට් සම්ප්‍රදායේ බෞද්ධ භික්‌ෂුවක්. ස්‌නායු විද්‍යාඥයන් විසින් විවිධ පුද්ගලයන් සහභාගි කරමින් මිනිස් හැඟීම් එසේත් නැතිනම් චිත්තවේගයන් ගැන අධ්‍යයනයක් කළා. ඊට භාජනය වූ සියලු දෙනා අතරින් ඉහළම මට්‌ටමක සුබවාදී හැඟීම් ජනිත වන පුද්ගලයා ලෙස විද්‍යාඥයන් සොයා ගත්තේ මැතිව් රිකාඩ් නම් වූ මේ බෞද්ධ භික්‌ෂුවයි. එතැන් සිට දැනට ජීවත්වන්නවුන් අතරින් "ප්‍රීතිමත්ම මිනිසා" ලෙස මාධ්‍යන් මගින් එතුමාව නම් කෙරුණා. එය මිලදී ගත් දෙයක් නොවෙනවා සේම එතුමාටවත් නැවත හොල්ලන බැරි පදවියක්.
ඒ ගැන එතුමා උපහාසයෙන් මෙසේ කියනවා. මා මියගිය විට මගේ සොහොන් කොතේ සමහර විට මෙහෙම සටහනක් තිබේවි."මෙතැන නිදන්නේ ලොව ප්‍රීතිමත්ම මිනිසාය".
වුල්ෆ් සින්ගර් නම් ස්‌නායු විද්‍යාඥයකු සමග එතුමා "බියෝන්ඩ් ද සෙල්ෆ්" නමින් පොතක් රචනා කළා. එහි ප්‍රවර්ධන කටයුතු සිදු කෙරෙන අවස්‌ථාවකදී රිචඩ් ෆෙලොනි නම් වාර්තාකරුවකු එතුමාව හමු වුණා. 'බිස්‌නස් ඉන්සයිඩර්' නම් ව්‍යාපාරික පුවත් ඇතුළත් ප්‍රමුඛ වෙබ් අඩවියේ ජ්‍යෙෂ්ඨ උපාය මාර්ගික වාර්තාකරු ඔහුයි. ෆෙලොනි අපේ කතා නායකයා සමග කතාබහක යෙදුණා.
වසර 50 ක් එතුමා ජීවත් වුණේ නේපාලයේ, හිමාලයේ කඳුකර පෙදෙසක. බොහෝ විට ඒ විදුලි බල සහ නල ජල පහසුකම් නොමැති, භික්‌ෂුවකට උරුම වූ හුදකලාවක.
ටෙඩ් (TED) කියන්නෙ වටිනා අදහස් ප්‍රචාරය කිරීම සඳහා විවිධ ක්‌ෂේත්‍රයන්වල විශිෂ්ටයන් වෙනුවෙන් සැදූ ලෝක ප්‍රකට වේදිකාවක්. ඒ සඳහා මෙතුමාට දෙවරක් ආරාධනා ලැබුණා. එමෙන්ම දලයි ලාමාතුමාගේ 'ඇතුළු කවය' තුළට පිවිසෙන මාර්ගයද මෙතුමා සොයා ගත්තා. නමුත් අපේ කතා නායකයාට අනුව ඒ එකක්‌වත් සාර්ථකත්වය මනින මිනුම් දඬු නොවෙයි. ඒ සියල්ල ගැනම ෆෙලොනි නම් වාර්තාකරු සමග එතුමා මෙසේ සකච්ඡා කළා.
සාර්ථකත්වයට පත් පුද්ගලයන් සමග කෙරෙන ඒ සාකච්ඡා මාලාව නම් කර තිබෙන්නේ "සාර්ථකත්වය. මා එය ළඟා කරගත්තේ කෙසේද?" යනුවෙනුයි.
ෆෙලොනි : සමහර විට සාර්ථක කෙනෙක් ලෙස හඳුන්වනවාට විරුද්ධ අපේ එකම ආරාධිතයා ඔබතුමා විය හැකියි.
රිකාඩ්තුමා : සමහරවිට එහෙම නොවෙයි. මා අදහස් කළේ, එය සාර්ථකත්වය අර්ථදක්‌වන ආකාරය මත රඳා පවතින බවයි. මහා ධනවතා, මහා බලවතා, ඉතා ජනප්‍රිය පුද්ගලයා, ඉතා රූමත් පුද්ගලයා වැනි මහා දේවල් සාර්ථකත්වයද?
සාර්ථකත්වය යනු තමාගේ සමෘධිය වෙනුවෙන් කෙරෙන ප්‍රයත්නයක් බව මගේ හැඟීමයි. ඉන් අදහස් කරන්නේ ඔබේ ජීවිතයේ ගඹුරුතම අපේක්‌ෂාව ඉටුකර ගැනීම වෙන්න පුළුවන්. එලෙස යම් ආකාරයක අතුලාන්තයේ ශක්‌තිමත්බවක්, නිදහසක් සමග ජීවිතයේ විවිධ උස් පහත්වීම් සමග ගනුදෙනු කිරීමේ හැකියාව ඇති විට අඩු අනතුරුදායක බවක් ඔබට හැඟේවි. ඇත්ත වශයෙන්ම සාර්ථකත්වය කියන්නෙ අන් අයට, සමාජයට සේවය කිරීම සඳහා පරිවර්තනය වීමයි. ඉතින් අන් අය සඳහා සේවය කරන්නෙක් බවට පරිණාමය වන්න. එහි උච්ඡතම අවස්‌ථාවට ඔබට පත්විය හැකි නම් එයයි මා සාර්ථකත්වය ලෙස හඳුන්වන්නේ.
ෆෙලොනි : ප්‍රකට ලේඛකයෙකුට සහ චිත්‍ර ශිල්පිනියකට දාව 1946 වසරේදී ඔබතුමා ඉපදුණා. ඔවුන් උගත්, බුද්ධිමත් සමාජ තලයකට අයිතියි. ප්‍රකට සංගිතඥයයෙකු වන ඉගර් ස්‌ට්‍රාවින් එමෙන්ම ප්‍රකට ඡායාරූප ශිල්පියෙකු වන හෙන්රි බ්‍රෙසන් වගේ පුද්ගලයන් ඔබතුමාට හමු විය හැකි වුණා. එය මොන වගේද? අද සිටින ඔබතුමාව නිර්මාණය වීමට ඉන් බීජ රෝපණය වුණාද?
රිකාඩ්තුමා : හොඳයි, එක්‌තරා ආකාරයකින්, එයින් ඇස් ඇරීමක් වුණා. එය සිත් ඇදගන්නාසුළු වුණා. නමුත් ඒ මිනිස්‌සු දිහා බලන්න. ඔවුන් තම තමන්ගෙ ක්‌ෂේත්‍රවල අසාමාන්‍ය ප්‍රතිභාවක් ඇති කීර්තිමත් බුද්ධිමතුන්. නමුත් කෙනෙකුගේ අගය කරන මූලික මිනිස් ගුණාංග සමග ඒ දේවල්වල නිසැකවම සහසම්බන්ධයක් තිබිලා නෑ.
දාර්ශනිකයන්, උයන්පල්ලන්, සංගිතඥයන්, විද්‍යාඥයන් සියයක් බැගින් ගත්තොත් ඒ අතරින් වඩා යහපත් මිනිසුන් අඩු - වැඩි ප්‍රමාණවලින්, ඒ ඒ කොටස් අතර එක සමානව විසිරී ඇති බව සොයා ගන්න ඔබට පුළුවන්. ඉන් සමහරුන් යහපත් නෑ වගේම සමහරුන් අප්‍රියජනක මිනිසුන්. විශේෂඥතාවයන් ඇති මිනිසුන් වූ නිසාම ඔවුන් ආදර්ශමත් චරිත ඇත්තන්ද? නෑ කියන එක තමයි උත්තරය. එහෙනම් ආදර්ශමත් චරිත වන්නේ කවුරුන්ද කියා ඔබට හිතෙන්න පුළුවන්? එමෙන්ම ඔවුන්ගෙ දැනුම, ඔවුන්ගෙ කුසලතාව, ඔවුන්ගේ ප්‍රඥාව අතර ගැලපීමක් ඇති මාර්ගයක සිටියේ කවුරුන්ද කියාත් ඔබට හිතෙන්න පුළුවන්.
ස්‌ත්‍රී - පුරුෂ ප්‍රඥාවන්ත උතුමන් මට හමු වුණා. ඔවුන්ගේ විශාල වෙනසක් තිබුණා. ඔවුන්ගේ ඉගැන්වීම් සහ ජීවිත අතර මෙන්ම ඔවුන් නියෝජනය කරන දහම අතර අංග සම්පූර්ණ ගැලපීමක් තිබුණා. ප්‍රඥාව, කරුණාව වගේ දෙවල්. හැම මොහොතකම ඔවුන්ගෙන් ඒ දේවල් මූර්තිමත් වුණා. ඔබට කියන්න පුළුවන්, "අපොයි, මේ ඉන්නෙ උතුම් ආධ්‍යාත්මික නායකයෙක්. මොනතරම් කරුණාවන්තද? වහා කලබල වෙනවද? තරහ ගන්නවද? ඊර්ෂ්‍යාවන්තද?" කියා. ඒත් එය සාර්ථක නෑ.
ෆෙලොනි : යොවුන් වියේදී පැසුනු දැක්‌මක් තිබුණු බවක් පෙනෙන ඔබතුමාගේ සාර්ථකත්වය සහ එහි අර්ථය ගැන වූ අදහස් මොන වගේද? මොන වගේ දරුවෙක් විදිහටද, ඔබතුමා වැඩුණේ?
රිකාඩ්තුමා : මූලිකව මාත් අනෙක් ළමයි වගේ තමයි. ගොඩාක් දේවල් ගැන මා උනන්දු වුණා. කුරුල්ලන් නැරඹීම, තාරකා විද්‍යාව, සාගර චාරිකා, හිම මත ලිස්‌සා යැම, සංගීතය වගේ. සම්භාව්‍ය සංගීතය බෙහෙවින් මා වාදනය කළා. ඔව් ඉතින්, මට අලංකාර යොවුන් වියක් තිබුණා. ඒ වයසේදී තමා ජීවිතය මොන වගේ නොවිය යුතුද කියලා දැනෙන්නේ.
ඒ කියන්නෙ එපාවීමක්, අර්ථ ශුන්‍ය බවක් දැනෙන්නෙ. වටිනා කිසිවක් ඉටු නොවන බවට බවට පරාජිත හැඟීමක් දැනෙන්නේ. නමුත් එය ජයගත හැකි මගක් දැන ගත හැකි වුණේ නෑ.
ෆෙලොනි : ඔබතුමා බුදුදහමට පළමුවෙන්ම නිරාවරණය වෙන්නේ කොයි විදිහටද? බුදුදහම ඔබතුමාට දුන් පිළිතුරු මොනවද?
රිකාඩ්තුමා : නාඹර යොවුන් වියේදි "ආධ්‍යාත්මය" කියන දේ ගැන මගේ ඉමහත් උනන්දුවක් තිබුණා. වාර්තාම වැඩසටහන්වලින් ශේ්‍රෂ්ඨ ගුරු උතුමන් මං නිකමට වගේ දැකලා තිබුණා. ඒවාට මං ස්‌තුතිවන්ත වෙනවා. නමුත් මං 1967 දී සංචාරය කරන විට මට ඔවුන් හමුවුණා. "හරියට හරි, මිනිස් ගුණාංග ප්‍රශස්‌ත තලයකට නංවා ගැනීම සහ නිදහස් වීම ගැන ජීවමාන උදාහරණ සපයන මහා ප්‍රඥාසම්පන්න, බොහෝ කරුණාවන්ත කාන්තාවන් සහ පුරුෂයන් මේ තමයි" කියල වහාම මට අවබෝධ වුණා. "මේ තමයි මං දන්නා ගුරු උතුමන්, මේ තමයි ඒ මිනිස්‌සු. මොවුන්ගේ මාර්ගෝපදේශය ඇතිව වඩා යහපත් මිනිසෙකු බවට පත්වීමේ මාර්ගයේ ඔවුන් සමග මට යා හැකියි" කියලා මට හැඟීමක් ඇති වුණා.
ෆෙලොනි : බුදුදහම වැළඳ ගැනීමෙන් බොහෝ දුරට ඒ කාලයේ ඔබතුමා විවෘත වෙලා තිබුණු දර්ශනයට එරෙහි කැරලි ගැසීමක් වුණාද?
රිකාඩ්තුමා : "පැරීසියේ ජීවිතය, පාස්‌චර් ආයතනය (ප්‍රකට විද්‍යඥ ලුවී පාස්‌චර් නමින් පිහිටවා ඇති උසස් අධ්‍යාපනික ආයතනය) හැරදමා ඔබ ගියා" කියලා මිනිස්‌සු කිව්වට, එය කැරලි ගැසීමක් කියලා මට කවදාවත් හැඟුනේ නෑ. මං දැන්ටත් බොහෝ දුරට කරන දෙයක් තමයි හිමාල කඳු අතර සක්‌මන් කරන එක. මිටියාවතක් පසු කරමින් සක්‌මන් කරන විට දුර්ගයක් හමුවෙනවා. ඒ දුර්ගය නැගගත් විට එහි මුදුනේ තැන තැන ඇති විල් මැදි කරගත් වනාන්තරයකින් සැරසුණු මනරම් මිටියාවතක් දර්ශනය වනවා. එසැනින් කදිම ප්‍රබෝධමත් භාවයක් ඇතිවෙනවා. මා පසුකරගෙන ආ මිටියාවත ප්‍රතික්‌ෂේප කරනවා කියලා එතනදි මට හිතෙන්නෙ නෑ. එය අතහැර දමනවා කියා හිතෙන්නෙ නෑ. ඒවායෙත් යම් වටිනා ගුණාංග තිබෙනවා.
සරලව කියනවා නම් එය ජීවිතයේ අලුත් කලාපයක්, අලුත් බිමක්. තව දුරටත් කියනවා නම් එපාවීම්, අත්හැරීම්, ප්‍රතික්‌ෂේප කිරීම් වැනි පසුගාමී අදහස් නැති උෙද්‍යාaගිමත් හැඟීමක් ඇති නව සොයා ගැනීමක්.
ෆෙලොනි : හිමාලය වෙත නික්‌ම යැමට පෙර ඔබතුමාගේ ඉගෙනීම් කටයුතු සම්පූර්ණ කර අවසන් කිරීමට ඔබතුමා තීරණය කරනවා. නික්‌ම යැමට ප්‍රථම ඔබතුමාගේ හිතේ යම් දෙගිඩියාවක් තිබුණද?
රිකාඩ්තුමා : නෑ. මං හිතන්නෙ යම් කාල සටහනක් තිබුණා. මං හිතනවා මං ඉක්‌මන් වුණා නම් දෙමව්පියන් මා වෙනුවෙන් වුණු මහන්සිය, උත්සාහය අවුල් වෙනවා. මට උගන්වන්න තරම් ඒගොල්ල ගොඩක් ධනවත්ව හිටියේ නෑ. මං එසේ කළා නම් එය කඩාකප්පල් කිරීමක් වගේ දෙයක්.
තීන්දුව පැහැදිළිවම මුහුකුරා යන්න එයින් මට කාලය ලැබුණා. මට කිසිම දෙගිඩියාවක් තිබුණෙ නෑ. පලතුරු ගැටයක් ඉදෙනකල් ගහක රැඳී ඉන්නෙ දෙගිඩියාවෙන්, වගේ දෙයක් ඔබ කියන්නේ. නමුත් කාරණේ මේකයි, පලතුර නෙලාගන්න නම් ඇදලා අත්ත කඩන්න ඕනේ නෑ. එය හොඳට ඉදිලා නම් නිකන් ඇල්ලුවත් ඇති, එය අතට වැටෙනවා. වයස අවුරුදු 26 දී මට නික්‌මන කරන්න හැකි වුණා. එතැන් සිට ඒ ශේ්‍රෂ්ඨ ගුරු උතුමන් සමග පුරා අවුරුදු 50 ක් කල් ගත කරන්න ලැබුණා. මං ඉතාමත් වාසනාවන්තයි කියා මට හැඟෙනවා. මං කියන්නෙ, ඒ කිසි දෙයක් මට වෙනස් කරන්න ඕනෙ වුණේ නෑ කියලා. ඒ හැම වෙලාවකම මට කරන්න හැකි වූ දේවල් ගැන, මං මට සුබපතනවා.
නිවස වෙත පුණරාගමනය සහ පියා සමග පොතක් රචනා කිරීමෙන් කීර්තියට පත්වීම........
ෆෙලොනි : ඒ විදිහට ජීවිතේ නව යොවුන් වියේ ඉතිරි අවුරුදු කීපයම ඒ ගුරුවරුන් ගෙන් ඉගෙනීමට ඔබතුමාට හැකි වුණා. ඊ ළඟට වයස අවුරුදු 30 දී ඔබතුමා පැවිද්දට පත් වුණා. එහෙම පිටින්ම වෙනස් ජීවිත රටාවක් ඇතිව නැවත ප්‍රංශය වෙත ආ ඔබතුමා මුහුණ දුන් අත්දැකීම් කොයි වගේද?
රිකාඩ්තුමා : ඒක සංස්‌කෘතික වෙනස්‌කම නිසා වුනු තිගැස්‌මක් කියලා මං කියන්නෙ නෑ, ඒත් දේවල් වෙනස් වෙලා තිබුණා. ඉතා උස ගොඩනැඟිලි පැරීසියෙ හිටගෙන සිටියා. ගුවන් විදුලි ආයතනයකට මං ගිය වෙලාවක් මට මතකයි. එය ප්‍රධාන ගුවන් විදුලි ආයතනවලින් එකක්. මං කිව්වා "ආව්, ඔයගොල්ල දැන් එෆ්. එම්. (FM) වෙලා නේද? කියලා. ඉතින් "මේ හාදය එන්නෙ මේ කොහෙ ඉඳන්ද?" කියනවා වගේ බැල්මක් දාලා "අපි එෆ්. එම්. (FM) වෙලා දැන් අවුරුදු 10 වෙනවා"කියලා කිව්වා.
ෆෙලොනි : "පැවිද්දා සහ දාර්ශනිකයා" නම් පොත ලියවෙන්නෙ පියාගේ සහ ඔබතුමාගේ එකතුවෙන්. එහි තිබෙන්නෙ, බෞද්ධ සංකල්ප තුළින් ලෝකය වෙනස් පැත්තකින් දකින්නෙ කොහොමද කියන එක ගැන ඔබතුමා සහ ඔබතුමාගෙ පියා අතර ඇති වූ සාකච්ඡාවක්. ඒ අත්දැකීම මොන වගේද?
රිකාඩ්තුමා : ඔහු ආවේ දස දිනකට. ඉතින් අප නිකේතනයක හිටියෙ. මාතෘකා ලැයිස්‌තුවක් අප හදා ගත්තා. ඉන් පසුව අපේ සාකච්ඡාව පටිගත කළා. ඒ දවස් දහය ගෙවුනෙ ඉතාම මනහර ලෙසයි. වෙන කිසිවෙක් අප සමග හිටියෙ නෑ. අප කැලේ සක්‌මන් කරන ගමන් පටිගත කළා.
බටහිර ලෝකයේ බුදුදහම මේ තරම් ජනප්‍රිය වුණේ ඇයි කියන කාරණේ දාර්ශනිකයෙක් ලෙස ඔහු මතු කළ ප්‍රධාන සාධකය වුණා. ඔහුගෙ දෘෂ්ටිකෝණය ඔබට තේරෙනවනේ. ග්‍රීක දාර්ශනිකයන්ට අරමුණු තුනක් තියෙනවා. මට දැනගන්න පුළුවන් මොකක්‌ද? පුරවරයක් ආණ්‌ඩු කරන්නේ කොහොමද? සහ මගේ ජීවිතය ගත කරන්නේ කොහොමද? ඉතින් ඔහු ඇහුවා "මට දැනගන්න පුළුවන් මොකක්‌ද? කියන විද්‍යාවෙන් බොහෝ විට පිළිතුරු ලැබෙන ප්‍රශ්නය. ඊළඟට" මං කොහොමද පුරවරයක් ආණ්‌ඩු කරන්නෙ?"
ප්‍රජාතන්ත්‍රවාදය කියල ඇත්ත වශයෙන්ම පුරුද්දක් විදිහට අප දන්නවනේ. නමුත් අනෙක් දේවල් එක්‌ක තාම සංසන්දනය කර බලනවා. ඊට වඩා හොඳම ක්‍රමයක් තියෙනවාද කියලා. ඊළඟට "මගේ ජීවිතය ගත කරන්නෙ කොහොමද?" බොහෝ බටහිර දාර්ශනිකයන් ඒ සඳහා දීල තියෙන පිළිතුරු පියා දන්නවා. ඒ වගේම යහපත් මිනිහෙක් වෙන්නෙ කොහොමද කියන එක ගැන කිසිම දෙයක් නොකී ඔවුන් මහා දාර්ශනික ක්‍රමවේදයන් කන්දරාවක් ගොඩනඟන්න පටන් ගත් බවත් දන්නවා. අපේ නවීන ලෝකයට බුදුදහමින් උත්තර සපයා තිබෙන බවට විවෘත මනසක් පිළිබඳ සංඥාවක් ඇති පියාට අන්තර්ඥානයක්, දැක්‌මක් තිබුණා.
ඇත්තටම අපේ සාකච්ඡාව තුළින් ඔහුට ඒක තදින්ම ඒත්තු ගියා. ඒ වගේම බුදුදහමේ අනෙක් පැත්තේ තිබෙන සිහි නුවණේ ස්‌වභාවය වගේ දේවල් ඔහු ගත්තෙ නෑ. ඔහුට අනුව ඒක බුදුදහමේ ගනුදෙනුවක්. නමුත් ජීවත්වීමේ ක්‍රමවේදය ලෙස, ජීවත්වීමේ කලාවක් ලෙස ඔහු ඒ පැත්ත ඉතා ධනාත්මකව දැක්‌කා. ඉතින් එය මට ආශ්චර්යජනක වුණා. බුදු දහමේ යමක් තිබෙන බවත්, ඔහුගේ ජීවිත අවසාන කාලයේදී ඔහුට ඒ දැකීම ප්‍රයෝජනවත් වුණා කියන එකත්, මං හිතන්නෙ ඔහු මියයන්න කලින් කෙනෙකුට කිව්වා.
ෆෙලොනි : ඉතින් ඔබතුමා සහ පියා අතර වුණු එකම අපූරු අත්දැකීම මේක නෙවෙයිනේ. කොහොම වුණත් ඒ පොත ප්‍රංශයේ වැඩියෙන්ම අලෙවි වන පොත බවට පත් වුණා. ඉතින්, එය ඔබතුමාගෙ ජීවිතය වෙනස් කළා.
රිකාඩ්තුමා : ඔව්.. සමහර වෙලාවට මං විහිළුවට කිව්වා "මුළුමනින්ම අලුත් අවස්‌ථාවක පටන් ගැන්මක් වගේම මගේ කරදරවල පටන් ගැන්මත් ඒක" කියලා. මාසෙකට ඩොලර් 50 ක් වගේ අල්ප මුදල් ප්‍රමාණයකින් මං ඉතාම විවේකී ජීවිතයක් ගත කළේ. නමුත් පුංචි අසපුවක පරිපූර්ණව යසට හිටියා, විදුලි බලය නැතුව, තාප උඳුන් නැතිව, නල ජලය නැතුව. ඒත් කිසිම අපහසුවක් තිබුණා කියලා නම් මට මතකයක් නෑ. මගේ ජීවිතේ ඒ අවුරුදු හත ඒ තරම්ම සුන්දර කාලයක්. නමුත් නිසැකවම එය විශාල වශයෙන් වෙනස් වුණා. පියා සහ මං කළ දෙයින් පසු මග තොටේදී අනෙක් අයට හඳුනාගත හැකි කෙනෙක් බවට දවසින් දවස මාව පත් වුණා. මං දන්නෑ, රූපවාහිනි නාලිකා 15 ක විතර පෙනී සිටින්න වුණා.
ඒකෙන් පෙනෙන තවත් දෙයක් තමා, මිනිසුන් "සාර්ථකත්වය" කියන දේ අර්ථ දක්‌වන්නේ කොයිතරම් කෘතීම විදිහකටද කියන එක. ඔබ ගැන බලන්න. එක සතියකින් ඔබ ඔය තත්ත්වයට පත් වුණේ නෑ. මාත් ඒ වගේ තමයි. කිසිවෙක් මා ගැන කිසි ලෙසකින් සැලකිලිමත් වුණේ නෑ. මොකද, එක රැයකින් පිම්බිලා ආව කියලා රූපවානියේ, ගුවන්විදුලියෙ පෙනී සිටියා කියලා අධි තක්‌සේරුවක් ඇති කර ගන්න ඕනෙ නෑ. ඉතින් මං හිතන්නෙ ඒක හොඳ පාඩමක්. මං හැම වෙලාවෙම ඇත්ත ඇති සැටියෙන් දැක්‌කා.
ඒ වගේම මේ තත්ත්වය සුබවාදීව භාවිතා කරන්නෙ කොහොමද කියන එක මං හිතුවා. කාරණා දෙකක් තිබෙනවා. ඉන් පලවෙනි එක තමයි, මාව ඉතාම ප්‍රිය කරන අය සමග අදහස් බෙදා හදා ගන්න එක. මං හිතනවා බෞද්ධ දර්ශනයෙ තිබෙන අපූර්ව අදහස් ගොන්න මිනිස් ප්‍රජාවට යොමු කරන්න පුළුවන් වෙයි.
දෙවැනි එක තමයි, පොත්වල වැඩ එක්‌කම මෙහෙ යම්කිසි දේවල් ටිකක් කරන්න පටන් ගන්න එක. මා වෙත යම් යම් සම්පත් ගලාගෙන එනවා. ඉතින් මං හිතුවා, හොඳයි, මූලික වශයෙන් මට නම් ඒවා ඕනෙ නෑ. මට කියලා ඉඩමක් නෑ. ගෙයක් නෑ. කාර් එකක් නෑ. ඉතින් ඇයි ඒ සම්පත්වලින් ප්‍රයෝජනවත් දෙයක් කරන්නෙ නැත්තෙ කියලා. අපට සම්බන්ධ වුණු පරාර්ථකාමීන් සමග "කරුණා ෂෙචන්" කියනා සංවිධානය නිර්මාණය කරන්න අප තීරණය කළා. දැන් අප ඉන්දියාවේ, නේපාලයේ, ටිබෙටයේ නැගෙනහිර පැත්තෙ ලක්‌ෂ තුනක් (300,000) පමණ වූ මිනිසුන්ගේ සෞඛය, සමාජ සේවා සහ අධ්‍යාපනය වෙනුවෙන් උදව් කරනවා.
ඉතින් ඒක හරිම අපූරුයි. ඒත් එක්‌කම ඒකෙන් ජීවිතේට කලබලකාරී බවක් ලැබිලා තිබෙනවා. අවුරුද්දකට විදේශ ගමන් 80 ක් විතර යෙදෙනවා. 1997 ඉඳලා 2017 වෙනකොට දැන් අවුරුදු 20 ක්. මේක වෙන්න ඇති ඒ වැඩේට කාලය. හරියට මං පාස්‌චර් ආයතනයෙන් අයින් වෙලා අත්හරින්නෙ නැතුව ගවේශණය කළා වගේ. කොහොම වුණත් පසුගිය අවුරුදු කීපයේ අලුත් මගක් අනාවරණය කර ගත්තා.
ලබන සතියට...
සුජීව ක්‍රිෂාන්ත ගමගේ
දිවයින ඇසුරිනි
Post a Comment