සූර්යයා දොළොස් මහක් පුරාවට රාශි දොළොසක් තරණය කරලා අලුත් දොළොස් මහක ආරම්භය අලුත් අවුරුද්ද ලෙසින් හඳුන්වන්නට පුළුවන. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ප්රවිෂ්්ට වීමේ සියුම් මධ්‍ය ලක්ෂීය මොහොත ලෙස සැලකෙන්නේ 2017 අප්‍රේල් 14 වන සිකුරාදා පූර්ව භාග 2.04 ය. ඒ අනුව ශක වර්ෂ 1938 අවසන්ව 1939 ආරම්භ වෙයි. ප්රභවාදී ශෂ්ටියේ විෂ්ණු විංශතියට අයත් පීතර යුග පංචාබ්දයෙහි පළමුවන සංවත්සර භේදනාමධාරී වන්නි දේවාධිපති හෙමලම්බි නම් වර්ෂයයි. ගුරු මාතාබ්ද සම්බන්ධ විජයාදී ශෂ්ට්යාවේද ක්රමයේ දහඅටවන සාධාරණ නම් වර්ෂයයි. වර්ෂය ආරම්භයේදී මකර ලග්නය උදාව පවතින අතර ලග්නාධිපති ශනි දොළාස්වන භාවයේද උච්ච සිකුරු වික්‍රම ස්ථානයේද උච්ච රවි බන්ධුස්ථානයේද පිහිටා තිබේ. රට තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාවට නැංවෙනු ඇත. නව නීති සම්පාදනය වන බව පෙනේ. තරමක කලකෝලාහල ඇතිවීමේ අවදානමක් ද පවතී. නායයාම්, හදිසි අනතුරු ආදිය සිදුවනු ඇත. සැප්තැම්බර් 12න් පසු ගුරු තුලා රාශිගත වීමත් සමග රටේ ආර්ථිකය තරමක් යහපත් වනු ඇත. සංවර්ධනය උදාවෙයි. උද්ඝෝෂණ ක්‍රමිකව ඉවත්ව යයි. ජනතාව ආගමට දහමට සමීප වන අතර රට තුළ සාමකාමී පිරිස් බහුල වෙයි.
මේෂ – ආදායම වගේම වියදමත් තිබේ.
ධනය: මිල මුදල් ලැබිම යහපත් වෙයි. එහෙත් ඉතිරි කිරීම තරමක් අසීරු වනු ඇත. වියදම් ඉහළ යනබව පෙනේ. තැන්පත් ධනය වැය වෙයි.
රැකීරක්ෂා: රැකීරක්ෂා නිලතල උසස් වෙයි. නව වගකීම් පැවරේ. අධික කාර්ය බහුල වනු ඇත. අතහැර දමා තිබූ කටයුතු යළි ආරම්භ කළ හැක.
ගෘහ ජීවිතය: තරමක් වෙහෙස මහන්සි සහිත ගමන් බිමන් යාමට සිදුවෙයි. පදිංචිය පිළිබඳ දුෂ්කරතා පැන නගී. යහපත් මෙහෙකරුවන් ලැබේ. තරුණ අයට ආදර බන්ධන උදාවෙයි. උසස් අය ආශ්‍රයට අවස්ථා ලැබේ. ගෙදර සාමය පවත්වාගෙන යාමට තරමක් ඉවසීම අවශ්‍ය වනු ඇත. අන් අයගේ උදව්වෙන් කටයුතු සඵල වෙයි.
අධ්‍යාපනය: අධ්‍යාපන කටයුතුවලට සුළු බාධා එල්ල වෙයි. එහෙත් තරගකාරි කටයුතුවලින් ජය හිමිවෙයි.
සෞඛ්‍යය: දෙමාපියන්ගේ සෞඛ්‍ය පිරිහීම් නිසා තමාට ද මානසික පීඩා උදාකරයි. වසර අග පපුව ආශ්රිත රෝග වැලඳීමේ අවදානමක් පවතී.
සාමණේර භික්ෂූන් වහන්සේ නමකට පාවහන් යුවළක් පූජා කරන්න. සෑම මසකම තුන්වන අඟහරුවාදා බෝධි පූජා පවත්වන්න.
වෘෂභ – ව්‍යාපාරික වැඩට සුළු සුළු බාධා
ධනය: ආදායම් බදු වැනි ගැටලුකාරී තත්ත්ව උදාවිය හැක. ව්‍යාපාරික කටයුතුවලට සුළු සුළු බාධා එල්ල වෙයි. තැන්පත් ධනය ප්‍රවේශම් කරගත යුතුයි.
රැකීරක්ෂා: තමා සමග එකට වැඩ කරන අය සමග මත ගැටුම් ඇතිවීමේ අවදානමක් පවතී. අපේක්ෂිත ඉලක්ක කරා යාම අපහසුයි. එහෙත් රැකියා ස්ථාන මාරුවක් ද පෙන්වයි. සතුරු පීඩා ඇති කරයි.
ගෘහ ජීවිතය: ඥාතීන් සමග අමනාපකම් ඇතිවිය හැක. සිත පීඩාවට පත්වන බව පෙනේ. අපහාස වැනි තත්ත්වවලට මුහුණ දීමට සිදුවෙයි. නිෂ්ඵල ගමන් යෙදේ. ප්‍රේම සම්බන්ධතා රැක ගැනීමට වැඩි වෙහෙසක් දැරිය යුතු කාලයකි. වසරේ මැද භාගයෙන් පසු තරමක ප්‍රගතියක් උදා කරගත හැක. ගෙවල්, ඉඩම් ආදියෙන් ලාභ ලබාගත හැක. ගිනි බය ඇති වෙයි. විදේශ ගතවිය හැක.
අධ්‍යාපනය: අලුත් අමුතු දේ ඉගෙන ගැනීමට අවස්ථා උදාවෙයි.
සෞඛ්‍යය: රුධිර පීඩනය, ලේ උෂ්ණවීම, දියවැඩියා වැනි රෝග තත්ත්ව උදාවිය හැක.
සෑම මසකම තුන්වන සෙනසුරාදා ආබාධ සහිත අයකුට බත් පාර්සලයක්, යෝගට් එකක් දන් දෙන්න. නුග වෘක්ෂයකට පැන් වක්කර එළඟිතෙල් පහනක් දල්වන්න.
මිථුන – ව්‍යාපාරවලින් ජය
ධනය: දේපළ සම්බන්ධ ගැටලු කරදර උදාවිය හැක. නිෂ්ඵල වියදම් උදාකරයි. එහෙත් කෙසේ හෝ තම කටයුතුවලට ධනය ලැබෙන බවද පෙනේ.
රැකීරක්ෂා: ස්වයං රැකියා ආරම්භයට පෙලඹේ. තමාගේම ව්‍යාපාරවල නිරත අයට යහපත් වසරකි. ව්‍යාපාරික ස්ථාන දියුණු කරගත හැක.
ගෘහ ජීවිතය: තද ලෙස කම්පා වීමට කටයුතු යෙදේ. අන් අයගේ ගැටලුවලට මැදිහත්ව ඒවාට විසඳුම් සෙවීමට සිදුවන බව පෙනේ. තම සහකරුට හෝ සහකාරියට අසනීප වීමේ ඉඩකඩ බහුලය. කෘෂිකාර්මික කටයුතුවලින් අලාභ ඇතිවෙයි. දුරදිග නොබලා ගන්නා ඉක්මන් තීන්දු තම අවාසියට හේතුවන කාලයකි. දඩමුදල් ගෙවීමට සිදුවන වරදකට පැටලෙනු ඇත. සතුරු බාධා නිසා කටයුතු වෙනස් කිරීමට සිදුවිය හැක. තනි මතයට කටයුතු කිරීමට පෙලඹේ. ප්‍රේම සබඳතාවලට බාධා උදාවිය හැක.
අධ්‍යාපනය: විභාගවලින් හා තරගකාරී දෙයින් ජය ලැබේ. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදාවෙයි.
සෞඛ්‍යය: ශරීර ශක්තිය අඩුවේ. කොන්ද, යටිබඩ ආශ්රිත රෝග තුන්දොස් කිපීම නිසා හටගන්නා රෝග උදාවෙයි. ලේ ධාතුව දුර්වල වීමේ අවදානමක් පවතී.
ශ්‍රී මහා බෝධීන් වහන්සේට පහන් 21 දල්වා අටපිරිකරක් පූජා කරන්න. (සෑම මසකම). තම උපන් දිනය අළලා අඩු ආදායම් ලාභී පවුලක දරුවකුට පොත්පත් පරිත්‍යාග කරන්න.
කටක – ආදායම ඉහළට
ධනය: වසරේ මැද භාගයෙන් පසු ආදායම් තත්ත්ව ඉහළ යයි. අලෙවි කිරීම් වැනි කටයුතුවලින් කොමිස් මුදල් හිමිවන කටයුතුවලින් ලාභ ලැබේ. ණය බරින් නිදහස් විය හැකි වසරකි.
රැකීරක්ෂා: නතර වී තිබූ ආදායම් මාර්ග යළි විවර වෙයි. කලක් අතහැර දමා තිබූ කටයුතු යළි ආරම්භ කරයි. වචන භාවිත කිරීම නොසැලකිලිිමත් බවින් ආර්ථික කටයුතුවලට පාඩු සිදුවිය හැක.
ගෘහ ජීවිතය: සතුරන්ගෙන් ජය හිමිවෙයි. තමාට තිබූ බාධා අවහිරතා දුරු කරගත හැක. පී‍්‍රතිමත් කාලයකි. අයිතිවාසිකම් බෙදාගැනීමට නොහැකිව තිබූ දෙයින් තම අයිතිය දිනාගත හැක. එක තැනක සිටීමට අකැමැති වෙයි. සමාජයේ ප්‍රසිද්ධ වෙයි. කලින් නැතිවී ගිය දේ පවා යළි ලැබෙන කාලයකි. හුදකලාව සිටි අයට සමාජ සබඳතා ගොඩනැගේ. ප්‍රේම සීනු හැඬවෙන කාලයකි. අලුත් ගොඩනැගිලි වැඩ ආරම්භ කරයි. වාහන ලාභ ද හිමියි.
අධ්‍යාපනය: අධ්‍යාපන ශක්තිය දියුණු කරයි. මතක ශක්තිය යහපත් වේ. ගැඹුරු වේ. ඉගෙනීමට වාසනාව පෑදේ.ස්ව උත්සාහයෙන් පවා යමක් ඉගෙනීමට වෙර දරයි.
සෞඛ්‍යය: හිසේ ආබාධ, සෙම් රෝග, ඇස්වල ආබාධ උදාවිය හැක. දද කුෂ්ට ආදිය ද ඇතිවිය හැක.
බෝ මළුව ඇමදීම, පිරිසිදු කිරීම කරන්න. බෝධිය නැහැවීමට ගන්නා පැන්කළ 03ක් පූජා කරන්න.
සිංහ – නව ආදායම් මාර්ග පෑදේ
ධනය: නව ආදායම් මාර්ග විවර වුවත් ලැබිම් ප්‍රමාද වන බව පෙනේ. දරුවන් වෙනුවෙන් වියදම් ඉහළ යයි.
රැකීරක්ෂා: රැකීරක්ෂා තනතුරු පිළිබඳ ගැටලු පැනනගී. විදේශ රැකියා ඉල්ලුම් කරන අයට යහපත් ප්‍රතිඵල ලැබේ. දශාව හෝ අන්තර් දශාව ගුරු නම් ආර්ථිකය උසස් කරයි.
ගෘහ ජීවිතය: නිතර මනසට බිය දනවන කාලයකි. අමනුෂ්‍ය බියද ඇතිවේ. තිබූ නම්බුව ගෞරවය අඩු විය හැකි බැවින් කල්පනාකාරී වන්න. නිතර ගමන් බිමන් ඇතිවේ. එක අරමුණක සිත තබා ගැනීම අපහසුවෙයි. විවාහ ජීවිතය තුළ මෙන්ම ප්රේ්ම සබඳතාවලට ද සුළු බාධා උදාවිය හැක. නීතියට විරුද්ධ කටයුතු කිරීමට පෙලඹීමේ ඉඩක් පවතී.
අවිවේකය උදාකරයි. තම බිරිඳගේ හෝ ස්වාමියාගේ කටයුතු දියුණුවන කාලයකි.
අධ්‍යාපනය: උත්සාහයෙන් ඉගෙන ගන්නා දෙයට වැඩි කැමැත්තක් දක්වයි. විභාග කටයුතුවලට වැඩි කැපවීමක් අවශ්‍යයි. තරගකාරී කටයුතුවලින් ජය ලැබේ.
සෞඛ්‍යය: දෑස ආශ්රිත මෙන්ම මුහුණ ආශ්රිත රෝගයක් උදාවිය හැක. කෑම නොදිරවීමේ ආබාධද ඇතිකරයි.
දුර්ගා මෑණියන්ට පලතුරු පූජාවක් තබන්න. කතරගම දෙවියන්ට මසකට වරක් ඊතණ මාලයක් හෝ රතු මාලයක් පලඳවන්න.
කන්‍යා – ආදායම් ඉහළට
ධනය: ආදායම් තත්ත්වය ඉහළ යයි. දේපළවලින් ලැබෙන ආදායම් අඩුවිය හැක. තම ව්‍යාපාර ආරම්භයට සිත් පහළ වෙයි. අනවශ්‍ය වියදම් පාලනය කරගත යුතු කාලයකි.
රැකීරක්ෂා: රැකියාවෙන් අස්වීමට හෝ විවේක ගැනීමට සිතෙන කාලයකි. තනතුර මාරුවීමට ඉඩ ඇත. විදේශත වීමේ හැකියාව පවතී. වෘත්තීයමය සතුරු බාධක උදාවිය හැක.
ගෘහ ජීවිතය: තම දේපළවලට අන්‍ය උරුමකරුවන් ඉදිරිපත් විය හැක. දේපළ පිළිබඳ ප්‍රශ්න ඇතිවේ. වංචාකාරයන්ට හසුවීමට ඉඩ ඇත. ස්වාභාවික ආපදාවලින් පාඩු සිදුවිය හැක. තම නිවාස, යානවාහන නිතර අබලන් වනු ඇත. තම ඥාතීන්ට වඩා පිටස්තර අය සමග කටයුතු බහුල වේ. ආදර සබඳතා ශක්තිමත් කරයි. විවාහ බාධා දුරුවෙයි. රහස් සතුරන්ගෙන් ප්‍රවේශම් වන්න. හොඳ නම හා ප්‍රසිද්ධිය රැක ගැනීමට කල්පනාකාරී විය යුතුයි.
අධ්‍යාපනය: විභාග කටයුතු ආදිය පිළිබඳව පැවති උනන්දුව අඩුවන බව පෙනේ. ධාරණ ශක්තිය ද පහළ බසී. අධ්‍යාපන රටාවේද වෙනසක් ඇතිකරයි.
සෞඛ්‍යය: අත්පාවල ආබාධ ඇතිවෙයි. ලේ ධාතුව සම්බන්ධ රෝග පීඩා ද උදාකරයි.
ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ නමකට අටපිරිකරක්, පාවහන් යුවළක් පූජා කරන්න. මසකට වරක් කුඩා දරුවන්ට කිරි ආහාර දන් දෙන්න.
තුලා – මානසික සහනය
ධනය: අනාගත බලාපොරොත්තු උදෙසා මුදල් අයෝජනයට පෙලඹෙයි. තැන්පත් ධනය පහළ බසී. අලංකාර දේ මිලට ගැනීමට මුදල් වියදම් කරයි.
රැකීරක්ෂා: රැකීරක්ෂා කටයුතුවල වෙනසක් සිදුවිය හැක. දුර බැහැර වෘත්තීන්වල නිරතව සිටින අයට මාරුවීම් හිමිවෙයි. වැටුප්/වේතන වැඩිවෙයි. මානසික සැහැල්ලුව ඉහළ යයි.
ගෘහ ජීවිතය : මිත්‍රයන් සමග අමනාපකම් ඇතිවීමට ඉඩ ඇත. ඥාතීන්ගෙන් කරදර ඇතිවෙයි. තමාට වඩා උගත් උසස් අය ආශ්‍රයට ඉඩකඩ හිමිවෙයි. සියුම් සතුරු කරදර උදාවෙයි. ප්‍රේම සබඳතාවලට යහපත් වෙයි. විවාහ බාධා දුරුවී යයි. මංගල යෝග උදාවෙයි. දරුපල හිමිවීමේ ඉඩකඩ පවතී. නිර්මාණශීලී අයට සැප්තැම්බර් මාසයෙන් පසු යහපත් වෙයි. ප්‍රිය සම්භාෂණවලට නිතර ඇරයුම් ලැබේ.
අධ්‍යාපනය: ඉගෙන ගත් දෙය අත්හදා බැලීමට අවස්ථාව උදාවෙයි. ධාරණ ශක්තිය යහපත් නොවනු ඇත. නව අධ්‍යාපනික මිතුරන් ලැබේ.
සෞඛ්‍යය: ශරීරය කෙට්ටු කරයි. කොන්ද තුණටිය, පපුව ආශ්රිත රෝග උදාවිය හැක.
විහාරස්ථානවල ජල කරාමවලට අලුත් පෙරහන් කඩ පූජා කරන්න. නිවසේ නිරිත දිග කුරුල්ලන් උදෙසා ධාන්‍ය වර්ග තබන්න.
වෘශ්චික – විදේශ සංචාර
ධනය: ආදායම් තත්ත්වය පහළ බසී. වියදම් අධික වෙයි. තැන්පත් ධනය වැය වෙයි. නිෂ්ඵල ධන හානි සිදුවිය හැක.
රැකීරක්ෂා: රැකියා පිළිබඳව වරින්වර කරදර මතුකරයි. වෘත්තීය වෙනස් වීමේ ඉඩකඩක් පේනනුම් කරයි. වෘත්තීමය දුර බැහැර ගමන් යෙදේ. වෘත්තීයමය ගිවිසුම්වලින් පාඩු සිදුවිය හැක.
ගෘහ ජීවිතය: සිතට බය හා තිගැස්ම ඇතිවේ. ඥාතීන් සමග අවුල් සාදාගනී. අවලාද, අපහාස ඇතිවීම ඉඩ ඇත. නීතිමය ගැටලු උදාවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. විදේශ සංචාරවල නිරතවීමට අවස්ථා උදාවේ. මෙහෙකරුවන්ගෙන් ද යම් යම් පීඩා උදාවිය හැක. උගත් අයගෙන් තමාට ආධාර ලබාගත හැක. පවුලේ ළඟම කාන්තාවකට සුළු පීඩා උදාවේ. සිතට සාංකා ඇතිවේ. ඉවසීමේ ශක්තිය අඩුවේ. අනවශ්‍ය ප්‍රේම සබඳතාවලින් ගෞරවයට හානි සිදුකර ගනී.
අධ්‍යාපනය: අලුත් දේ ඉගෙනීමට ආශා කරයි. එහෙත් කරන විභාගවලදී සුළු සුළු බාධා එල්ල වෙයි. මතක ශක්තිය තරමක් අඩුවන බව පෙනේ. කලාකාමී දේ ඉගෙනීම යහපත්වේ.
සෞඛ්‍යය: හදිසි අනතුරු උණ රෝග, ආහාර නොදිරවීමේ රෝග උදාවේ.
මාස 03 කට වරක් කුරුලු ජෝඩුවක් නිදහස් කරන්න. පූජා භූමියක පොල් පැළයක් සිටුවා හැකි පරිදි සාත්තු කරන්න.
ධනු – උසස් අධ්‍යාපනයේ නියැළෙන අයට යහපත්
ධනය: අලුත් ධන මාර්ග විවර නොවේ. පවතින ආදායම් මාර්ග අපහසුවෙන් පවත්වාගෙන යා හැක. දේපළ හානි සිදුවිය හැක. වියදම් ඉහළ යයි.
රැකීරක්ෂා: නිතර ඇවිදීම් සහිත වෘත්තිකයන්ට ඉතා යහපත් කාලයකි. රැකියා මාරු කිරීමට දරන උත්සාහ ව්‍යර්ථ කරයි. ව්‍යාපාරික කටයුතුවලට කරදර බාධා ඇතිවෙයි.
ගෘහ ජීවිතය: පවුලේ ඥාතීන් සමග ආරවුල් ඇතිවිය හැකිය. බලාපොරොත්තු රහිත කරදරවල පැටලේ. තම වටිනා ද්‍රව්‍ය අස්ථාන ගත විය හැක. මතක ශක්තිය දුර්වල වීම නිසා තමාගෙන් යමක් ඉල්ලාගෙන යන අය එය නැවත ලබා නොදෙයි. සබඳකම් කැඩී බිඳී යාහැක. දුරදිග නොබලා සිදුකරන කතාවලින් බාධා කරදර ඇතිකර ගනී.
මෙහෙකරුවන්ගෙන් කරදර ඇතිවේ. වැඩකට නැති දෙයකට මුදල් වියදම් කිරීමට සිදුවෙයි. ප්‍රේම සබඳතාවලට බාධා එල්ල වෙයි.
අධ්‍යාපනය: උසස් අධ්‍යාපනයේ නිරත අයට ඉතා යහපත් වෙයි. අධ්‍යාපන කටයුතු උදෙසා නිවසින් බැහැරව සිටීමටද සිදුවෙයි. විදේශගත අධ්යාපනවලට ද යහපත් වෙයි.
සෞඛ්‍යය: හිසේ බරගතිය, හිස ආශ්රිත ආබාධ, හදිසි අනතුරු, ගින්නෙන් හා ජලයෙන් වන විපත් උදාවිය හැක.
සෑම මසකම තුන්වන සෙනසුරාදා නුග වෘක්ෂයට එළඟිතෙල් පහන් 03 ක් දල්වන්න. බලු කපුටු දාන දෙන්න.
මකර – උනන්දුවෙන් ධන මාර්ග හසුරුවන්න
ධනය: ආදායම් මාර්ග වැසීයයි. ආර්ථික කටයුතු පිළිබඳ උදාසීන ගති ඇතිකරයි. උනන්දුවෙන් හා කල්පනාවෙන් ධන මාර්ග හැසිරවිය යුතු කාලයකි.
රැකීරක්ෂා: වෙළෙඳ ව්‍යාපාරවල නිරත අය ඉතා ප්‍රවේශමෙන් තීන්දු තීරණ ගතයුතු කාලයකි. වෘත්තීයමය අභියෝග ජයගැනීම තරමක් අසීරු වනු ඇත. ස්ථානමාරු හෝ රැකියා මාරුව එතරම් සුදුසු නොවේ.
ගෘහ ජීවිතය: අනවශ්‍ය ගැටලු තමා කරා ළඟා කරගනී. තත්ත්වයෙන් පහළ වැටෙයි. ගන්නා තීන්දු තීරණ තම පරාජයටම හේතුවිය හැක. කෘෂිකාර්මික කටයුතුවලටද එතරම් යෝග්‍ය නොවේ. ස්වභාවික ව්යසනවලටද ලක්විය හැක. තම සුරතල් සතුන්ගෙන් පවා පීඩා අත්වීමට ඉඩ ඇත. සොර සතුරු පීඩාද, ගුප්ත දෝෂද උදාවිය හැක. රථ වාහන ගමන් යහපත් නොවේ. ප්‍රේම සබඳතා පවත්වාගෙන යා හැක. තදබල කනගාටු නීතිමය ගැටලු ආදිය ද උදාවිය හැක.
අධ්‍යාපනය: උසස් විභාගවලට පෙනී සිටින අප කල්පනාකාරී වන්න. විවිධ භාෂා ඉගෙන ගැනීමට හැකිවෙයි. විදේශගත අධ්‍යාපනවල නිරතවීමට අවස්ථා උදාවෙයි.
සෞඛ්‍යය: නිතර රෝග පීඩා වැලඳේ. ඇස්. දත්, පාද ආශ්රිත රෝග උදාකරයි. මානසික ව්‍යාකූලතාද ඇතිකරයි.
ගවයෙක් නිදහස් කරගැනීමේ පින්කම්වලට සහාය දෙන්න. සෑම මසකම තුන්වන සෙනසුරාදා, නිල්පාට කොඩි 4ක් බෝධිය හතර කොනේ එල්ලා බෝධි පූජා තබන්න.
කුම්භ – අලුත් ව්‍යාපාර පටන් ගැනීමට හොඳයි
ධනය: ධන ලාභ ලැබේ. ණය ගනුදෙනුවලින් වාසි අත්වේ. ලාභ බලාපොරොත්තුව කරන කටයුතු දියුණු කරයි. තැන්පත් ධනය ඉහළ යයි.
රැකීරක්ෂා: තම තත්ත්වය, තනතුරු උසස් වෙයි. අලුත් වගකීම්වලට බැඳීමට සිදුවේ. සමාජ තත්ත්වයද උසස් වනු ඇත. අලුත් වෙළෙඳ ව්‍යාපාර ආරම්භ කිරීමට ද යහපත් කාලයකි.
ගෘහ ජීවිතය: තම අදහසට අනුව වැඩකටයුතු සිදුවන බව පෙනේ. තම බලය ඉහළ යයි. භූමි ලාභ හිමිවෙයි. ඉදිකිරීම් ක්ෂේත්රවල කටයුතුවලින් දීප්තිමත් බව උදාකරගත හැක. ආගමික භක්තිය මෙන්ම දේව භක්තියද ඉහළ යයි. කෘෂි ආර්ථිකය තුළින් ද දියුණුව උදාකරගත හැක. විවාහ කටයුතු ස්ථිරවෙයි. ස්වයංපෝෂිත වේ. අලුත් අලුත් දේ මිලදී ගැනීමට හැකියාව උදාවෙයි. තම නම ප්‍රසිද්ධ වන කාලයකි.
අධ්‍යාපනය: තරග විභාගවලින් ජය ලැබේ. අලුත් උසස් අධ්‍යාපනික කටයුතුවලට බැඳීමට සිදුවෙයි. උගත් දෙයින් වාසි අත්වේ.
සෞඛ්‍යය: ශරීර සෞඛ්‍ය යහපත් වෙයි. රාහු මහ දශා, අතුරු දශා, ගත කරන අය මූත්‍ර අසනීප, වකුගඩු අසනීප ඇති කරයි.
සිල්ගත් උවැසි උවැසියන්ට ධර්ම පත්‍රිකා බෙදාදෙන්න. නිතර උක්හකුරු, සූකිරි පූජා කරන්න.
මීන – දේපළ ලාභ
ධනය: වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවලින් ලාභ ලබන කාලයකි. මිල මුදල් හා ධන තත්ත්වය උසස් වෙයි. දේපළ පිළිබඳ ලාභද ලැබේ.
රැකියා: රැකීරක්ෂා දියුණුව ඇතිකරයි. නව වගකීම් දැරීමට සිදුවේ. මානව සම්පත් කළමනාකරණ වැනි කටයුතු දියුණු කරයි. විදේශ ගතවීමට ද අවස්ථා පවතී.
ගෘහ ජීවිතය: ගෙදරදොර වාසනාවන්ත කාලයක් වෙයි. විවාහ කටයුතු සඵල කරයි. දරු ශිෂ්‍ය ලාභද හිමිය. වාහන මිලදී ගැනීමටද යහපත් වන බව පෙනේ. අනුමානයට කරන කටයුතුවලින් දීප්තිමත් බව උදාකරගත හැක. උත්සවවලට නිතර සහභාගිවීමට සිදුවෙයි. තමා උගත් දෙයින් නම ප්‍රසිද්ධ වන ලෙස කටයුතු කිරීමට හැකිවෙයි. උසස් ලෙස ජීවිතය ගෙනයාමට හැක. ණය තුරුස්වලින්ද නිදහස් වෙයි. උසස් අය සමග ආශ්‍රය ඇතිවෙයි. නඩුහබ ආදියෙන් පවා නිදහස් වෙයි.
අධ්‍යාපනය: ආගමික ඥානය වර්ධනය වෙයි. අලුත් විෂයයන් හා භාෂාවන් ඉගෙනීම හැක. වෛද්‍ය, ඉංජිනේරු අංශවල අධ්‍යාපන කටයුතුවල නිරත අයටද යහපත් වේ.
සෞඛ්‍යය: බෝවන රෝගවලින් ප්‍රවේශම් වියයුතුයි. පාද කොන්ද ආශ්රිත රෝග තත්ත්ව ඇතිකරයි.
ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේ නමකට ඖෂධ පූජාවන් සිදුකරන්න. සෑම බ්‍රහස්පතින්දා දිනකම බෝධියක් අබිියස පස්තෙල් පහනක් දල්වන්න.
තලවතුගොඩ කැලුම් ගුණතිලක
kelum.astro@gmail.com
- රිවිර
Post a Comment