ඒබරම් ඇඟපතේ අමාරුවෙන් පෙළෙනුයේ බොහෝ කලක සිටය. හිසේ ඇම්ම, කොන්දේ කැක්‌කුම, බඩ පපුවේ දැවිල්ල, හන්දිපත් රුදාව මේ ආදී නොයෙකුත් ලෙඩ නිසා ඔහු දන්න කියන හැම වෙදෙක් පස්‌සෙම ගියේය. වේලපත්කඩය බලා සෙත් ශාන්ති කළේය. යකැදුරන් ලවා බලි තොවිල් කළේය. එහෙත් මේ කරුම ලෙඩේ නම් සුව වුණේ නැත. ඔහු නිකං නිස්‌කාරණේ බිරිඳ සමඟ ද රණ්‌ඩු සරුවල් කරගත්තේ මේ වේදනාකාරී අසනීපවල ආදීනව නිසාය.
ජීවිතේ අන්තිම කාලය වනවිට මරණය සිදුවීම සඳහා කුමන හෝ ලෙඩක් සෑදෙන බව ඒබරම් අසා ඇත. එනමුදු ජීවිතය මැදියම් වයස පසු කළ පමණින් එලෙස මරණය ගැන සිතා ජීවිතාශාව අතහැර ගැනීමට ද ඒබරම් සතුටු නැත්තේය. ඔහුට වඩා වයසැති ඇතැම් පිරිස් තවමත් හොඳ නිරෝගී සුවයෙන් යුතුව එදිනෙදා කටයුතු කරගනිමින් සිටිති.
මිතුරෙකුගෙන් ලද තොරතුරක් අනුව ඒබරම් තවත් ප්‍රසිද්ධ වෙදෙකු සොයා ගියේ මේ කාලයේය. ඒබරම්ගේ අත අල්ලා නාඩි බලා මඳක් කල්පනා කළ වෙද මහතා එක දිගට කසාය සීට්‌ටු තුනක් ලිව්වේය.
"මෙහෙම ලෙඩ්ඩුද උන්නැහේ මම ගොඩදාල තියෙන්නේ. මැහිවල තියාගෙන තුන් හතර දෙනා ගෙනාව ලෙඩ්ඩු මං සති දෙකෙන් ඇවිද්දෝල තියෙනවා. බේත් සීට්‌ටුව දෙන ගමන් වෙදැදුරා තමන්ගේ කෙරුවාව ගැන ද පුංචි සඳහන් කිරීමක් කළේය. කොයි වෙදරාළ ගේ කතාව එලෙස වුවත් මේ වෙද මහතාගෙන් නම් තමන්ට යම් සහනයක් සැලසෙනු ඇතැයි ඒබරම්ට යම් විශ්වාසයක් ගොඩනැඟුණි.
එනමුදු ඔහුගේ කසාය සීට්‌ටුවට ඇතුළත් වූ ඇතැම් බෙහෙත් වර්ග සොයා ගැනීම අතිශයින්ම දුෂ්කර කාරියක් විය. එහි සඳහන් වූ එක් බෙහෙත් පැළෑටියක් ඇති හෝඩුවාවක් සොයා ඒබරම් තම පැරණි මිතුරෙකු වන අගෝරිස් වෙත යැමට කල්පනා කළේය. අගෝරිස් සැඟව ඇති අප්‍රසිද්ධ බෙහෙත් පැළෑටි ගැන දන්නා කෙනෙකි.
තමා වෙසෙන ගම්මානයේ සිට ගම් තුන හතරකට එපිටින් ඇති අගෝරිස්‌ලාගේ ගෙදරට ගොඩවැදෙනු පිණිස වැට කඩුල්ල පැන්න මුල් අවස්‌ථාවේදීම ඒ බරම්ගේ සිරුරෙන් ඔසවා සිටි මහා බරක් බිම තැබුවාක් මෙන් විශාල සහනයක් දැනෙන්නට විය. පසු ගිය කාලයේ විඳි අනන්ත අප්‍රමාණ දුක් ගැහැට එක් විටම අතුරුදන් වූ සෙයකි.
අගෝරිස් තම වැඩිහිටි මිතුරා " නමෝ බුද්ධාය" කියා ළෙංගතුකමෙන් ආචාරකොට පිළිගත්තේය. හෙතෙම බොහෝ ගුණ ධර්ම දියුණු කළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උපාසක මහතෙකි.
කිසිකෙනෙකුට දැනුවත්ව කරදරයක්, හිරිහැරයක් නොකළ අගෝරිස් සතර පෝයටම සිල් සමාදන්ව ජීවිතයේ අනියත ස්‌වභාවය නිතර මෙනෙහි කරමින් කල්ගත කළ සද්පුරුෂයෙකි. අගෝරිස්‌ට මෙලෙස දැහැමි දිවි පෙවෙතක් තුළ හික්‌මීමට මඟ හසර පෙන්වා දුන්නේ ආරන්න වාසී පින්වත් හිමිනමක් විසිනි.
"හරි පුදුම වැඩේ කියන්නේ අගෝරිස් ඔහේගේ වත්තට පය තිබ්බා විතරයි මගේ ඇඟපතේ අමාරුව කොහෙන් ගියා ද නැති වුණා නොවැ. ඒක තමයි මම් මේ දැනුත් කල්පනා කරන්නේ. මොකක්‌ද මේ වෙනස කියලා මට හිතා ගන්න බෑ."
අගෝරිස් ඒබරම් ගේ ලෙඩ දුක් ගැන විමසා බැලුවේය.
"අපි හොඳ බෞද්ධයො නේ ඒබරම් අයියේ. ලෙඩක් දුකක් හැදුනම බෙහෙත් ගන්න ඕනෑ තමයි. ඒත් අපි අදහන බුදු දහම තමයි පළමුවෙන්ම විශ්වාස කරන්න ඕනෑ. තමුසෙත් මං වාගෙ තිසරණ සහිත පංචශීලයේ පිහිටලා දිවි හිමියෙන් සිල් පද ආරක්‍ෂා කළොත් හුඟාක් කරදරවලින් පිහිටක් පිළිසරණක් ලබා ගන්න බැරිවෙන එකක් නෑ."
අගෝරිස්‌ගේ යෝජනාව ඒබරම් හිතට ගත්තේය. තව දුරටත් ආගම දහම, බෙහෙත් පැළෑටි සහ තවත් නොයෙකුත් කරුණු කාරණා විමසා දැනගත් ඒබරම් අගෝරිස්‌ගෙන් සමුගෙන ආපසු ගෙදර යැමට පිටත් විය.
පුදුමයකි අගෝරිස්‌ගේ වැට කඩුල්ලට එහායින් කෝපයෙන් රවාගත් දෑසින් යුතුව තමන් දෙස බලා සිටින යක්‌ෂයෙකුගේ රුවක් ඒබරම්ට දැකගත හැකි විය. යක්‍ෂයා තමා එන තුරු රැක සිටින බව වහා ඒබරම්ට තේරුම් ගියේය.
"මොනවා කරනවද ඒබරම්........ මං මෙතෙන්ට වෙලා කොච්චර නම් බලාන හිටියද උඹ එනකං..... ඉක්‌මනට ඔය වැට කඩුල්ල පැනලා වරෙංකෝ පාරට...."
"නෑ මම වැට කඩුල්ල පනින්නේ නෑ දැන් උඹ ඔතන්ට වෙලා මං එනකං බලාගෙන ඉන්නේ ඇයි?"
"මට ආයෙත් උඹේ ඇඟට ඇතුල් වෙන්න ඕනෑ."
"මං එන්නේ නෑ. උඹට ඕනෑ නම් මෙතෙන්ට වරෙං" ඒබරම් කීවේ අගෝරිස්‌ලාගේ වත්තේ සිටය.
"අපොයි. මට ඔය වත්තට එන්න වරම් නෑ....... ඔය ගෙදර ඉන්නේ බුදුන්, දහම්, සඟුන් සරණ ගිය උපාසක පිරිසක්..."
"එහෙනම් මමත් අද ඉඳලා තෙරුවන් සරණ යනවා." යෑයි පැවසු ඒබරම් නැවතත් අගෝරිස්‌ගේ නිවසට ගොස් ඔහුගෙන් උතුම් තිසරණය සහිත පංච ශීලය ලබා ගත්තේය. එසැණින් අර යක්‍ෂයා කඩුල්ල ළඟින් විසි වී ගියේය. යක්‍ෂයාට නැවතත් ඒබරම් ගේ සිරුර තුළට ඇතුල් වීමට නොහැකි වූයේ ඒබරම් මුළු හිතින්ම තිසරණ සරණ ගිය නිසාය. ඉන්පසු ඒබරම්ගේ පෙර තිබූ රෝග පීඩා බොහොමයක් දුරු වී ගියේය.
ආදි කාලයේ අපගේ මුතුන් මිත්තන් බොහෝ පිහිට රැකවරණය ලබා ගත්තේ තිසරණය මුල්කොටගෙනය. එකල ඔවුන් මීට නම් පට බැඳ තිබුණේ "බුද්ධ මන්තරේ" යනුවෙන්ය.
සත්‍ය කතාවක් ඇසුරෙනි...
සුමතිපාල ජෝතිපාල
දිවයින ඇසුරිණි
Post a Comment