ලග්න හයකට වාසි ගෙනදෙමින් ග්‍රහ ලොව රජු මිථුනයට

සූර්යයා හෙවත් හිරුට ග්‍රහ රාජ්‍යයේ රජු යෑයි කියනු ලැබේ. එය සාධාරණය. පෘථිවිවාසීන් වන අපට පමණක්‌ නොව සියළු ග්‍රහයින්ට ආලෝකය ලැබෙන්නේ හිරුගෙනි. ආකර්ශනය ලැබෙන්නේ හිරුගෙනි. දවස උදාවන්නේ හිරුගෙනි. ගස්‌ වැල් වැඩෙන්නේ හිරුගෙනි කොටින්ම කියතොත් ලෝකයේ ඇති සියලු දේ මැවෙන්නේ හිරුගේ ආලෝකයෙන හා මවගේ කිරිවලින් යෑයි ප්‍රසිද්ධ කියමනක්‌ ද තිබේ.

හිරු වසරක්‌ ඇතුළුකොට ඇති දින 365 තුළ රාශි චන්ද්‍රයේ වටයක්‌ ගමන් කරයි. ඒ රාශි 12 හරහාය. එක රාශියක හෙවත් අංශක 30 ඇතුළත මාසයක්‌ ගමන් කරයි. ඒවාට කියන්නේ සූර්ය මාස කියාය. මේෂ, වෘෂභ, මිථුන, කටක ආදී රාශිවල නම්වලින්ම මේ මාස දොළහ හැදින්වේ. අළුත් අවුරුද්දේ මේෂ රාශියට ඇතුළු වූ හිරු ජුනි 15 දා මිථුන රාශියට ඇතුල් වෙයි.

හිරු මිථුන රාශියේ, මාසයක්‌ පුරා එනම් ජූලි 16 දක්‌වා ගමන් කරනු ඇත. එයට කියන්නේ මිථුන කෝණ මාසය කියාය.

රවි හෙවත් සූර්යයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි හතරේ ගමන් කරන මාස හතරට කෝණ මාසය යෑයි කියනු ලැබේ. කොන් කර ඇති මාස යන්නෙත් කෝණ මාස යෑයි කියනු ලැබේ. කොන් කර ඇත්තේ කුමටද? විවාහ මංගල උත්සව හා ගෙවල් සෑදීමේ කටයුතු සඳහාය. එනම් ගෘහ නිර්මාණ නැකත් හා මංගල නැකත්වලට මේ මාසය සුදුසු නොවේ.

කෝණේ කන මගුල් තුලා කාටත් සකි පල නොදේවි

පානේ තෙල් ඇතත් තිරය එළිය නොදී අඳුර දේවි

යන කවි පද දෙක අනාවරණය කරන්නේ පහණක තෙල් ඇතත් එළිය නොලැබෙන්නාක්‌ මෙන් කෝණ මාසයේ ගනු ලබන විවාහ නැකත්වල බලය දුර්වල බවය. මුල්ගල් තැබීම, ගෙවැදීම ආදී නැකත් ද මේ මාසය තුළ යොදා ගැනීම නුසුදුසුය.

එහෙත් ජුනි 16 ත් 25 ත් අතර කාලය තුළ රවි සමඟ බුධ ද ගමන් කරන බැවින් මේ කාලය ශාෂ්ත්‍රීය කටයුතු හා විද්‍යාරම්භ නැකැත් අකුරු කියවීමේ නැකැත් යොදාගත හැකිවේ. තවද හිරුට එක පැත්තක බුද හා සිකුරුද ගමන් කරන බැවින් සැලකිය යුතු වර්ෂාපතනයක්‌ ද මෙම දිනවල ලැබෙනවා ඇත.

රවි බුධ ලංකා කේන්ද්‍රයේ විද්‍යාස්‌ථානයේ ගමන් කරන බැවින් අධ්‍යාපන අංශවල ප්‍රගතියට කරුණු සැලසෙනවා ඇත. දක්‍ෂ ශිෂ්‍යයන්, නිවේදකයන්, නීතිවේදීන්, බුද්ධිමතුන් ගැන අසන්නට ලැබේ. පින්වත් දරුවන් බිහිවෙන දින කිහිපයක්‌ ද වේ.

රවි මිථුන රාශි ගත වීම ඔබට බලපෑම් කරන්නේ විවිධ ආකාරයටය. එය උපන් ලග්න අනුව පරික්‍ෂා කළ යුතු අතර ඒ පලාපල දැනටමත් රවි ගේ දශා අන්තර් දශා ගත කරන අයට විශේෂ බලපෑමක්‌ ඇති කරයි. රවි මාරුව උපන් ලග්නය අනුව බලපාන්නේ කෙසේදැයි බලමු.

මේෂ

මේෂ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ තුන්වැන්නට රවි මාරුවීම සුබපළදායකයි. උත්සාහයේ තරමට ප්‍රථිපල ලැබේ. අසල්වාසීන් සමඟ තිබූ අමනාපකම් දුරුවේ. ලිපි ලේඛන පිළිබඳ කටයුතුවලට සුබයි. සහෝදර සබඳතා අළුත් වේ. දරුවන්ගේ දියුණුවට කටයුතු කෙරේ.

වෘෂභ

ධනස්‌ථානයට රවි මාරුවීම මිශ්‍රපලදායකයි. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථකවේ. නමුත් පවුලේ වියදම් ඉහළ යන බව පෙනේ. තැන්පත් මුදලක්‌ පවා වැය වීමට ඉඩ තිබේ. කතාව නිසා උසස්‌ කෙනෙකු අමනාපවීමට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වෙන්න.

මිථුන

වයස පිරුනු මිථුන හිමි දූ දරුවන්ට අකුරු කියවීමට සුබයි. උත්සාහය ධෛර්යය ඉහලයයි. පවුලේ දියුණුවට කරන කටයුතු ගැන වැඩිපුර අවධානය යොමු වේ. හිසේ ඌෂ්ණාධික රෝග තත්ත්වයන් ගෙන් ප්‍රවේශම් වෙන්න. අධ්‍යාපන කටයුතු සාර්ථකයි.

කටක

විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට අවස්‌ථා උදාවේ. නමුත් නීතිමය අංශවල බාධා, ගැටළු ඇතිවීමට ඉඩ තිබේ. බාල සහෝදරයකුට අපලයි. ලිපි ලේඛනවලට අත්සන් කරන විට දුරදිග බලා කටයුතු කරන්න.

සිංහ

සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ එකොළොස්‌වැන්නට රවි මාරුවීම සුබදායකයි. තනතුරේ හෝ තත්ත්වයේ උසස්‌ වීම් ලැබීමට ඉඩ ඇත. උත්සාහය ධෛර්යය ඉහල යයි. උසස්‌ අයගේ හෝ නීතිමය අංශවල උදව් ලැබේ. උසස්‌ මිතුරන් හඳුනා ගැනීමට අවස්‌ථාව උදාවේ.

කන්‍යා

කන්‍යා ලග්න හිමියන්ගේ දහවැන්නට රවි මාරුවීම ඉතා සුබයි. රැකියා හා ව්‍යාපාර අංශවල විශේෂ සුබපල ලැබේ. රැකියා ලාභ ලැබෙන කාලයකි. විදේශ රැකියා බලාපොරොත්තු සාර්ථක වේ. උත්සාහය වැඩි වේ. පසුගිය දිනවල පැවැති ගැටලුවලට විසඳුම් ලැබේ.

තුලා

රවි නවවැන්නට මාරුවීම මිශ්‍රපලදායකයි. පසුගිය මාසයේ තිබු බොහෝ ප්‍රශ්න විස¹ගත හැකිවේ. අසනීපවලින් සුවය ලැබේ. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විදේශ අධ්‍යාපනයක්‌ ලැබීමට තිබු බලාපොරොත්තුවක්‌ ඉටුකර ගත හැකි වේ. ආගම දහමට හිත යොමුවේ.

වෘශ්චික

රවි ඔබේ කේන්ද්‍රයේ අටවැන්නට මාරුවීම තරමක්‌ අසුබයි. ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත්වීම අවශ්‍ය වේ. ඌෂ්නාධික රෝග විශේෂයි. රැකියා හෝ ව්‍යාපාර අංශයක උසස්‌ කෙනෙකු අමනාප වීමට ඉඩ තිබේ. පියාට තරමක්‌ අපලයි. අදාල ශාන්තිකර්ම කරන්න.

ධනු

ධනු ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හත්වැන්නට රවි මාරුවීම මිශ්‍රපලදායකයි. මේ අතර සෙනසුරු ලග්නයේ ද ගමන් කරන නිසා සිත් තැවුල් අඹු සැමි බේද විවාහ බාධා ඇති වීමට ඉඩ තිබේ. හවුල් ව්‍යාපාර වලදී ප්‍රවේසම් වන්න. හවුල් කරුවන් අමනාප වීමට ද ඉඩ තිබේ.

මකර

මකර ලග්න හිමියන් ගේ රවි හයවැන්නට මාරුවීම සුබදායකයි. සතුරන්ගෙන් හා තරඟකරුවන්ගෙන් ජය ලැබිය හැකිවේ. බලාපොරොත්තුවෙන් සිටි ණය මුදලක්‌ ලැබේ. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ. බොහෝ දේ සාර්ථක කර ගත හැකිවේ.

කුම්භ

පස්‌වැන්නට රවි මාරුවීම සිදුවේ. පෙම්වතුන්ට සුබයි. අවිවාහක අයට මංගල යෝග යෙදේ ආයෝජනවලින් ලාබ ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. උදරාබාධවලින් ප්‍රවේශම් වන්න.

මීන

මීන ලග්න හිමියන්ගේ හතරවැන්නට රවි මාරුවීම සිදුවේ. පදිංචිය හෝ ඉඩමක්‌ පිළිබඳ ප්‍රශ්ණ ඇති වීමට ඉඩ තිබේ. නොසන්සුන් කම හා කේන්තිය පාලනය කරගන්න. ඌෂ්ණාධික රෝග හෘදයාබාධ වැනි රෝග ඇති අය සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න.

වැඩි විස්‌තර සදහා 0771234313

 කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්

දිවයින ඇසුරිණි



රවි මිථුන රාශි ගත වීම ඔබට බලපෑම් කරන්නේ විවිධ ආකාරයටය. එය උපන් ලග්න අනුව පරික්‍ෂා කළ යුතු අතර ඒ පලාපල දැනටමත් රවි ගේ දශා අන්තර් දශා ගත කරන අයට විශේෂ බලපෑමක්‌ ඇති කරයි. රවි මාරුව උපන් ලග්නය අනුව බලපාන්නේ කෙසේදැයි බලමු.